vol 7




සදාහරිත කලාපය - 7

ඇතුළත.........................


  • කන්නැලිය කන්‍යා ලියක් සේ නො කෙලෙසා රැක ගනිමු 
  • වරද නැත වැරැදි කළ කිසිවකුත් නැත සියඹලන්ගමුවෙ මහ ඇත් රජුත් නැත
  • ගේ කුරුල්ලන් වඳ කරීමේ වරද මදුරු දඟරවලට පවරමු ද
  • ආහාර සුරක්‍ෂිතතාව හා ස්වෛරීත්වය බිලිගත් රටක තවත් ආහාර දිනයක්
  • ගේ කුරුල්ලන් වඳ කරීමේ වරද මදුරු දඟරවලට පවරමු ද
  • ඌවේ නිදහස් ජල උරුමයේ මළගමට සියල්ලෝ ම පැමිණෙත් වා
  • දිවි පෙවෙත අපහසු ව කෙමෙන් වඳ වී මියෙන අපේ ඔසු පැළ මහිම
  • සිරි රහල් මහ කිවිඳු විසු  බිම අසිරිමත් ඉපැරැුණි ම නා  දුම
  • ප‍්‍රතිකාරයේ පළමු පියවර හිත සැහැල්ලූ කිරීමය
  • තිරසර බව සඳහා ප‍්‍රඥාව
  • නගරය නම් රඟබිමෙහි ජවනිකා කිහිපයක්
  • සෞරග‍්‍රහ සාමාජිකයන් ගේ ක‍්‍රියා පිළිවෙළ හා ගති සොබා
  • යෝධවැව අභය භූමියේ අක්කර 75 ක වනාන්තරයක් එළි පෙහෙළි කැරේ
  • නමින් බිය ගෙන දෙතත් කිසිත් අවැඩක් නොමැති යක් කටුස්සා


.............................................................................................................................................................................................................................................


ගේ කුරුල්ලන් වඳ කිරීමේ වරද මදුරු දඟරවලට පවරමු ද




මෙරට සැම කෙනෙකුට ම වාගේ හුරු පුරුදු, බොහෝ දෙනකු ගේ ළැදියාවට පාත‍්‍ර වී ඇති එහෙත් මිනිස් වාසස්ථානවලට ඇලූම් කරන ගේ කුරුල්ලා මේ වන විට ප‍්‍රදේශ ගණනාවක ම සංඛ්‍යාවෙන් හා ව්‍යාප්තියෙන් අඩු වී තිබීම බොහෝ අයට කුතුහලයට හා කනස්සල්ලට හේතුවක් ව තිබේ. ගේ කුරුල්ලන් තම නිවසේ වාසය කිරීම නිසා වාසනාව හා සෞභාග්‍යය උදා වන බවට ඇති විශ්වාසය නිසා, ඔවුන් නැති වී යෑම යම් අහිතකර හා අවාසනාවන්ත බවක පෙර නිමිත්තක් සේ ඇතැම්හු සලකති. තවත් අය සැක කරන්නේ පරිසරයේ ඇති යම් කිසි හානිකර තත්ත්වයක් හේතුවෙන් මේ අඩුවීම සිදුවීමෙන් යම් අන්තරායයක පෙර නිමිත්තක් මෙමඟින් පෙන්නුම් කරන බව ය. 

ලොව පුරා පුළුල් ව්‍යාප්තියකින් යුතු හේ කුරුල්ලා House Sparrow (Passer domesticus) උප - විශේෂ හතකින් ආසියාව, අප‍්‍රිකාව හා යුරෝපයේ ස්වභාවික ව හමුවන්නෙකි. ශ‍්‍රී ලංකාවේ හා ඉන්දියාවේ හමුවන්නේ Indian House Sparrow  ලෙස හඳුන්වනු ලබන(Passer domesticus indicus උප විශේෂයට අයත් පක්ෂීහු ය. ප‍්‍රධාන වශයෙන් ධාන්‍ය ආහාරයට ගන්නා පක්ෂියකු වන ගේ කුරුල්ලාට මිනිසුන් ඉවතලන ආහාර ද්‍රව්‍ය, ශාක කොටස්, කෘමීන් හා පණුවන් වැනි කුඩා සතුන් වැනි ඉතා පුළුල් පරාසයක් මත යැපිය හැකි සර්ව භක්ෂක භෝජන රටාවක් ඇත. නිවාස හා ගොඩනැඟිලිවල තිබෙන සිදුරු හා වෙනත් කුඩා ඉඩකඩක් වුව ද තම කැදලි තැනීම සඳහා යොදා ගැනීමට ගේ කුරුල්ලා සමත් ය. එහෙත් ඉඳහිට හෝ ගොඩනැඟිලි රහිත ස්ථානයක දී ඔවුන් ගස් මත ගෝලාකාර කැදැල්ලක් තනා එහි බිත්තර දමයි. වරකට බිත්තර 3 - 5 දක්වා දමන අතර ඒවා සති දෙකක දී පමණ බිඳී පැටවු බිහි වෙති. පැටවුන් ගේ ආහාරය මුළුමනින් ම සමන්විත වන්නේ කෘමීන් ඇතුළු වෙනත් කුඩා සතුන් ගෙනි. දවස පුරා ආහාර ගන්නා පැටවුන් තවත් සති තුනකින් පමණ පියඹා යෑමට සමත් ය. එක් ගේ කුරුලූ යුවළත් වසරක් තුළ 5 - 6 වතාවක් බිත්තර දැමීම සිදු කරමින් වසර පුරා ප‍්‍රජනනයේ නිතර වෙති. 

ගේ කුරුල්ලන් නිවෙස් තුළ හමුවීම හා කැඳලි තැනීම නිසා ඔවුන් පිළිබඳ ව නිරීක්ෂණයන් වැඩි ආයාසයකින් තොර ව සිදු කළ හැකි වේ. එසේ වුව ද සුලභතාව හා නිතර දැකීම නිසා ඔවුන් පිළිබඳ ව බොහෝ පක්ෂි නිරීක්ෂකයන් පවා දක්වන්නේ අඩු උනන්දුවකි. ගේ කුරුල්ලන් ගේ අඩු වී යෑම මවිසින් මුල් වරට නිරීක්ෂණය කැරුණේ 1976 වසරේ අම්පාරේ අප පදිංචි ව සිටි නිවසෙනි. එහි සිටි ගේ කුරුල්ලන් සුපුරුදු පරිදි බිත්තර දැමීම සිදු කළ ද, කූඩුවල පැටවුන් බිහි වී සිටිනු දක්නට නොහැකි විය. මෙහි දී ඇතැම් ස්ථානවල සිටි පක්ෂින් සිදු කළේ බිහි නො වී පවතින බිත්තර සහිත කැදැල්ල බිමට ඇද දමා යළි එතැන නව කැදැල්ලක් තැනීම යි. වඩාත් ඉඩකඩ සහිත තැන්වල දී ඒ බිත්තර වැසී යන සේ නව ශාක ද්‍රව්‍ය අතුරා ඒ මත යළි බිත්තර දමා තිබිණි. එහෙත් කාලයක දී, එනම් ඊළඟ වසරවල දී මේ කැදලි එකිනෙක අත්හැර දැමීමක් සිදු විය. ඒවා ඉවතට ගෙන පරීක්ෂා කිරීමේ දී පැටවුන් බිහි නො වී, එනම් නොබිඳී පවතින බිත්තර දක්නට ලැබිණි. 1980 පමණ වන විට ප‍්‍රදේශ ගණනාවක ම මේ අඩුවීම දක්නට හැකි විය. 

මේ වන විට ගේ කුරුල්ලන් ගේ අඩු වී යෑම මවිසින් පක්ෂීන් නිරික්ෂණය කරන ලද දිස්ත‍්‍රික්ක 18 ක ම දක්නට ලැබිණි. ඒවා නම් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, අම්පාර, බදුල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුරය වේ. මේ සෑම ප‍්‍රදේශයක ම ගේ කුරුල්ලන් ගේ අඩු වීමේ ක‍්‍රමය එක හා සමාන ය. එනම් ඔවුන් ප‍්‍රධාන වශයෙන් වඳ වී යන්නේ නේවාසික ප‍්‍රදේශවලිනි. මේ සෑම දිස්ත‍්‍රික්කයක ම කඩසාප්පු සහ කාර්යාල සහ නගර මධ්‍යයන්හි ගේ කුරුල්ලන් ගේ හොඳ ගහනයන් නොනැසී පැවතීම විශේෂත්වයකි. කොළඹ, මහනුවර, ගාල්ල හා මාතර වැනි නගරයන්හි ඉතා ජනාකීර්ණ වාණිජ ප‍්‍රදේශවල හොඳ ගහන ඝනත්වයක් සහිත ගේ කුරුල්ලන් ඒ නගරවල ප‍්‍රධාන වශයෙන් නේවාසික ප‍්‍රදේශවල සුළු වශයෙන් හමුවනු හෝ මුළුමනින් තැනි වී ගොස් තිබේ. 

මෙරට බොහෝ ප‍්‍රදේශවලින් මෙලෙස ගේ කුරුල්ලන් නැති වී යෑමට හේතුව පිළිබඳ ව විවිධ අදහස් හා උපකල්පන ඉදිරිපත් වී තිබේ. ඇතැමුන් සිතා සිටින්නේ මෙය කිසියම් නොදන්නා රෝගයක් නිසා සිදු වූවක් බව යි. එසේ නම්, ඒ නගරවල විශාල ගහනයක් හා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඇතැම් වතු නිවාසවල ද හොඳ ගහනයක් පවතින්නේ කෙසේ ද යන්න ගැටලූවකි. පසුගිය කාලය පුරා මා කළ නිරීක්ෂණ හා විමසීම්වල දී අනාවරණය වුණ රටාව නම් ගේ කුරුල්ලන් ගේ අඩුවීම ප‍්‍රධාන අවධි දෙකක දී සිදු වී තිබීම යි. අම්පාර, කොළඹ හා කළුතර වැනි දිස්ත‍්‍රික්ක කීපයක මෙය 1970 දශකය අග භාගයේ මුලින් නිරීක්ෂණය විය. එහෙත්, බොහෝ ප‍්‍රදේශවල මේ අඩුවීම 1990 දශකය මැද භාගයේ පමණ සිට කැපී පෙනෙන ලෙස සිදු විය. නිදසුනක් ලෙස හම්බන්තොට හා බදුල්ල දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශවල මේ අඩුවීම නිරීක්ෂණය වූයේ 1996 පමණ සිට ය.

ගේ කුරුල්ලන් අඩු වී යෑමට තවත් හේතුවක් විය හැක්කේ බෝගවලට යොදන කෘෂි රසායනිකවල බලපෑම් බවට ද සැක කළ හැකි ය. එහෙත් මේ බොහෝ ප‍්‍රදේශවල ගේ කුරුල්ලන් වැඩිපුර හමුවන්නේ බෝග වගා කර ඇති ස්ථාන අවට නො ව එවැනි බෝග නොමැති නිවෙස් ආශ‍්‍රිත ව ය. තව ද, මොනරාගල, බදුල්ල, නුවරඑළිය හා හම්බන්තොට වැනි 1990 දශකය මැද භාගයේ ගේ කුරුල්ලන් අඩු වීම සිදු වුණ දිස්ත‍්‍රික්කවල කෘෂිරසායන භාවිතය විශාල වශයෙන් සිදු වූයේ මීට බොහෝ කලකට පෙර සිට ය. එහෙත් ඒ ප‍්‍රදේශවලින් ගේ කුරුල්ලන් අඩුවීම හා කෘෂි රසායනික භාවිතයේ වෙනස්කමක් සිදු වීමක් වැනි හබයක් හෝ නොතිබීම ඒ අඩුවීම හා කෘෂි රසායන අතර ඍජු සම්බන්ධයක් නැති බවට සාධකයකි. 

දිගාමඩුල්ල (අම්පාර) දිස්ත‍්‍රික්කයේ තුළ ගේ කුරුල්ලන් ගේ අඩුවීමට හේතුව මැලේරියා වාහක මදුරු වර්ධනයට යොදන මැලතියන් බවට මතයක් එකල (එනම් 1970 දශකය අග) විය. මේ පිළිබඳ ව කළ සොයා බැලිමේ දී පෙනී ගියේ ගේ කුරුල්ලන් ගේ අඩුවීම හා ඒ ප‍්‍රදේශයේ මැලතියන් භාවිතය අතර සහසම්බන්ධයක් ඇති බව යි. එමෙන් ම මේ කාලය තුළ දී ම බස්නාහිර පළාතේ කොළඹ හා කළුතර යන දිස්ත‍්‍රික්කවල බරවා මර්දනය සඳහා ද තෝරාගත් ප‍්‍රදේශවල ගෘහාශ‍්‍රිත ව මැලතියන් භාවිත විණි. ඒ ප‍්‍රදේශවල ද මේ ගේ කුරුල්ලන් අඩුවීම මෙලෙසින් ම දක්නට ලැබිණි. තව ද, ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල අවට ප‍්‍රදේශවල මේ කෘමිනාශක යෙදීම සිදු වී නොතිබීම ඒ ප‍්‍රදේශවල ගේ කුරුල්ලන් ගේ පැවැත්ම සඳහා හේතු වුණු බවට ද අනුමාන කළ හැකි ය. කෙසේ නමුත් මේ සහසම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයට යොමු වුණේ පසු කාලයක දී බැවින් මේ පිළිබඳ ව වැඩිමනක් තොරතුරු අනාවරණය කරගත නොහැකි විය. 

එනමුත් 1990 දශකයේ දී ගේ කුරුල්ලන් විශාල ලෙස අඩු වුණ ප‍්‍රදේශවල ගෘහාශ‍්‍රිත රසායනික ද්‍රව්‍ය භාවිතය පිළබඳ කළ විමැසුම්වල දී පෙනී ගියේ මේ ප‍්‍රදේශවල ගේ කුරුල්ලන් ගේ අඩු වීමට යම් කලකට පෙර සිට (එනම් වසර 1 - 2 පෙර සිට) ගෘහාශ‍්‍රිත ව මදුරු දඟර භාවිතයේ සැලකිය යුතු ඉහළ යෑමක් තිබෙන බව යි. මදුරු දඟර දල්වනුයේ රාත‍්‍රී කාලයට බැවින් ඒ නිවෙස්වල සිටින ගේ කුරුල්ලෝ ද එහි දුමට අනිවාර්යයෙන් ගොදුරු වෙති. තව ද එමඟින් මිය යන මදුරුවන් ඇතුළු අනිකුත් කුඩා කෘමීන් ගේ සිරුරු මොවුන් විසින් ආහාරයට ගැනීමට විශාල ඉඩකඩක් පවතී. මදුරු දඟරවල ඇති සක‍්‍රීය සංඝටකයන් පරීක්ෂා කිරීමේ දී ඒ සියල්ල කෘත‍්‍රිම පයිරිත්‍රොයිඩ(Synthetic Pyrethroids)  බව පෙනී යයි. මේවා පක්ෂීන් ගේ ප‍්‍රජනන පද්ධතියේ ක‍්‍රියාකාරීත්වයට අහිතකර බලපෑමක් සිදු කිරීමට සමත් වන බවට තොරතුරු ප‍්‍රකාශයට පත් ව තිබුණේ 1980 දශකය පමණ ඈතක සිට ය. තව ද නගර මධ්‍යයේ ඇති කාර්යාල හා වාණිජ ප‍්‍රදේශයන්හි රාත‍්‍රියේ පදිංචිකරුවන් අඩු බැවින් හෝ නොමැති බැවින් මදුරු දඟරවල දුමට එහි සිටින ගේ කුරුල්ලන් ලක් වීමක් නොමැති තරම් ය. මේ නිසා දෙවැනි වටයේ (එනම් 1990 දශකයේ) ගේ කුරුල්ලන් ගේ අඩු වී යෑම සහ මදුරු දඟර භාවිතයේ ඉහළ යෑම අතර සහ-සම්බන්ධතාවයක් ඇති බව පෙනී යන කරුණකි. 

ගේ කුරුල්ලන් ගේ මේ දුලබ වීමේ හේතුව, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත පසුගිය වර සංශෝධනය මඟින් (2009 අංක 22 දරන සංශෝධන පනත) ආරක්ෂිත පක්ෂියකු බවට පත් කර තිබේ. මේ නිසා ඒ පනතේ 31 වගන්තිය අනුව ගේ කුරුල්ලකුට හානි කිරීම, මරණයට පත් කිරීම මෙන් ම බිත්තරවලට හා කැදලිවලට හානි කිරීම හෝ ඒවා විනාශ කිරීම වරදක් වේ. මේ මඟින් චේතාන්විත ව ගේ කුරුල්ලන්ට හානි කිරීමේ ඉඩකඩ අහුරා තිබේ. එහෙත් කලක් තිස්සේ මොවුන් අඩු වී යෑමේ හා නැති වී යෑමේ තත්ත්වය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැත. නිදසුනක් ලෙස පසුගිය කාලයේ නිරීක්ෂණ මඟින් පෙන්නුම් කැරෙන හේතූන් ඔස්සේ හෝ කිසියම් පර්යේෂණයක් සිදු කර නොමැත. එ සේ ම නිවෙස් තුළ මදුරු දඟර භාවිතය ද පසුගිය කාලයේ ඇති වූ ඩෙංගු උවදුර සමඟ තවදුරටත් වැඩිවීමක් මිස කිසිසේත් අඩුවන බවක් පෙනෙන්නට නැත. මේ තත්ත්වය යටතේ මෙරට ගේ කුරුල්ලා ගේ අනාගතය තවදුරටත් අවිනිශ්චිත බව පැහැදිලිව ම පෙනෙන්නට තිබේ.

නීතීඥ ජගත් ගුණවර්ධන


.............................................................................................................................................................................................................................................



වරද නැත වැරැදි කළ කිසිවතුත් නැත
සියඹලන්ගමුවේ මහ ඇත් රජුත් නැත !

මිගලෑව වසමේ ගණන්ගමුව උඩුනුවරගම ශ‍්‍රී ජය සුමනාරාම විහාරස්ථානයට අයත් ඉඩම, අක්කර පහකින් පමණ සමන්විත මහවැලි ව්‍යාපාරයට අයත් භූමියකි. මේ විහාරස්ථානයේ නැවතීම සඳහා මා පැමිණෙන විට පන්සල් වත්ත පිටුපස කොටස මානා පඳුරුවලින් ගන ව වැසී තිබිණ. අපේ පන්සලේ විහාරාධිපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමිපාණන් වහන්සේ විසින් පෞද්ගලික වියදමින් රෝපණය කරනු ලැබූ නව වර්ගයේ අඹ ගස් විශාල ප‍්‍රමාණයකින් වැසිගත් මේ පෙදෙස ඉහළින් පෙනෙන්නේ අඹ ගස් මුදුන් ය. පහළින් භූමිය වසාගත් මානා පඳුරු ය. මේ නිසා මහා වනාන්තරයක් ලෙස මේ බිම්කඩ දිස් වේ. අලින්ට සැඟ වී සිටිය හැකි නිදහස් ප‍්‍රදේශයක් හැටියට මේ භූමිය හැඳින්විය හැකි ය. මේ පෙදෙසට යාබද කාමර දෙකකින් සමන්විත ගොඩනැඟිල්ලකුත් දුරින් පිහිටි ධර්ම ශාලාවක් හැරුණු විට මේ මුළු පෙදෙස ම පාළු ස්වභාවයක් ඉසිලී ය.

වසරේ නිකිණි කාලය උදා වන විට ආසන්න ව පිහිටි උස්ගල, සියඹලන්ගමුව වැවේ ජල මට්ටම පහළ බැසීම ස්වාභාවික ය. එවිට ප‍්‍රදේශයේ සංචාරය කරන අලි ඇතුන් ගනන්ගමුව ප‍්‍රදේශයට පැමිණීම නිතර ව සිදු වෙයි. ගනන්ගමුව (උඩුනුවරගම) පදවිගම, මීගලෑව, අන්දරවැව, කන්නෝරු, පාඩි පංචාව, ලස්සනගම, සියඹලන්ගමුව ආදී වූ ආසන්න ප‍්‍රදේශ පමණක් නො ව ඇහැටුවැව, දිවුල්ගනේ, ගල්ගමුව (මීඔය), ගිරිබාව, මැදගම, ඉකිරිවැව, නීරාවිය ආදී දුර බැහැර ප‍්‍රදේශ ද මේ අලින් ගේ සංචාරක භූමිභාග හැටියට හඳුන්වා දිය හැකි ය.

අලින්ට මෙන් ම වෙනත් වන සතුනට නිදහසේ ජීවත් වීමට ඉඩක් නො තබා ආණ්ඩුව ද මිනිසුන් ද උන් ගේ භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට තරම් කෲර වී ඇති බව කවුරුත් දනිති. ඉන් නොනැවතී උන් ගේ සුපුරුදු ගමන් මාර්ග අවහිර වන සේ විදුලි රැහැන් ඇද මාර්ග බාධක ද පනවා ඇත. එනිසා අහිංසක වන සතුන්ට උන් ගේ කියා නිදහස් බිමක් වනයක් නොමැත. එහෙත් කුසගින්න කාටත් පොදු ධර්මතාවක් නිසා අලින් ද ඇතුන් ද කුසගිනි නිවා ගැනීමට රාත‍්‍රී කාලයේ දී ආහාර සොයා යෑම අරුමයක් නො වේ.

වනාන්තරයේ සුදුසු ආහාර නොමැති බැවින් අසල ගම් දනවු ආක‍්‍රමණය කිරීමට අලි පෙලැඹෙති. අලියා ගමට එන්නේ මිනිසා සමඟ ආරවුලක් පිණිස නො වේ. කුසගිනි නිවා ගැනීමට ආහාර සඳහා සුදුසු යමක් සොයා ගැනීමට ය. ආහාර සොයා කුසගින්නේ ගම් වදින අලියා ගොවින් ගේ වගාවන්ට - ගෙවතුවලට කඩා වැදීම පුදුම සහගත ක‍්‍රියාවක් නො වේ.

වී සුවඳ, දහයියා සුවඳ, කුරක්කන් සුවඳ ඉතා හොඳින් හඳුනන අලියා එබඳු ආහාර භෝග භුක්ති විඳීමට ගිජුකමක් දක්වයි. එබැවින් නිවෙස්වල ගබඩා කර ඇති ආහාර ද්‍රව්‍ය පමණක් නො ව දියලූණු මුට්ටිය පවා උදුරා ගෙන කන අවස්ථාවන්හි දී මිනිසුන් කෙතෙක් ඝෝෂා කළත් අලියා ගණන් නො ගනී. උගේ එක ම බලාපොරොත්තුව ආහාරය පමණි. එවිට මිනිසකු අලියා ගේ ළඟින් ගමන් කළත් අලියා මිනිසාට පහර දීමට උත්සහ නො කරයි. එහෙත් අලියා ගේ කටයුත්තට මිනිසා බාධා කරන්නේ නම් එයට එරෙහි ව සටන් වැදීමට ද අලියා සූදානම් බව අපි දනිමු. මේ හේතුව නිසා නිවැසියන් අලින් ගේ ප‍්‍රහාරයට ගොදුරු වන අවස්ථා ඇත. කෙසේ හෝ වේවා අලියා ගේ ඉඩම්වල අයිතිවාසිකම් කියන්නට ඉදිරිපත් වූ මිනිසා අලියාට ජයග‍්‍රහණය ලබා දීම සදාචාරාත්මක ය. එසේ නොමැති නම් අලියා ගේ ඉඩම් අතහැර මිනිසා පසු බැසිය යුතු ය. මිනිසාට ජීවත් වීම සඳහා  ඕනෑ තරම් ඉඩකඩම් රටෙහි වෙයි.

සියඹලන්ගමුව වැවට අයිතිවාසිකම් කීමට මේ අලි රංචුවේ කොටසක් වෙන් වී සිටියහ. ඒ රංචුවේ ඇතුන් දෙදෙනකු සහ අලින්, ඇතින්නියන් සහ පැටවුන් ද සිටිනා බව අපි දැක ඇත්තෙමු. මේ අලි රංචුවට නායකත්වය දුන්නේ ඇත් රාජයෙකි. ඔහු පසු කල ”සියඹලන්ගමුවේ ඇතා” යන නමින් ප‍්‍රසිද්ධ විය. මේ ඇතාට සහයෝගය පිණිස රංචුවේ සිටි අනෙක් කුඩා දළ සහිත ඇතා වෙන් වී සිටියේ ය. දළ සහිත ඇත් රාජයකු රංචුවේ සිටී නම් ඒ ඇතා ආරක්ෂා කර ගැනීමට මුළු අලි රංචුව ම වගකීමෙන් බැඳී සිටීම ස්වාභාවික ක‍්‍රියාවක් බැවින් ඉහත සඳහන් සියඹලන්ගමුවේ ඇතා ආරක්ෂා කර ගැනීම සඳහා රංචුවේ තවත් තරුණ අලින් දෙදෙනකු වෙන් වී සිටි ආකාරය අපි සියැසින් දැක ඇත්තෙමු.

සවස හතර පමණ වන විට මේ අලි රංචුව සියඹලන්ගමුව වැවේ ජල ක‍්‍රීඩා කර, සුපුරුදු පරිදි රාත‍්‍රිය උදා වන විට ආහාර සොයා සංචාරය ආරම්භ කරති. එහෙත් ගෙවතුවලට ඇතුළු වන විට දී සෑම ගෙවත්තක දී ම එළවනු ලැබේ. දීර්ඝ කාලයක් මෙසේ අලි වෙඩි දමා බියගන්වා ගෙවතුවලින් අලි එළවීම නිසා කල්යත් ම ප‍්‍රධාන මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමට අලි පුරුදු වූහ. විශේෂයෙන් මහවැලි ව්‍යාපාරයේ ඉඩම් අක්කර භාගයක ඉඩකඩෙහි ළඟ ළඟ පොකුරු නිවාස ඇති නිසාත්, ඒවායේ මිනිසුන් පදිංචි වී සිටීමත් හේතුකොට ගෙන ඉතා රහසිගත ව ගෙවතුවලට ඇතුළු වී සොරා කෑමට අලින් පුරුදු වී ඇත. චාරිත‍්‍රයක් හැටියට හෙමින් කටයුතු කිරීමට අලියාට නොහැකි ය. අලින් පොල් ගස්, අඹ ගස්, කෙසෙල් ගස් කඩන විට ඒ ශබ්දයට අවදි වන මිනිසා විශාල හඬක් නිකුත් කරන අලි වෙඩි පත්තු කරමින් අලින් තම ඉඩමෙන් පළවා හරින විට ඔවුහු ඊළඟ ඉඩමට ගමන් කරති. දිගින් දිගට ම ළඟ ළඟ ඉඩම් ගෙවතු වල අලි වෙඩි පත්තු කිරීම නිසා අලින් විසින් තෝරා ගනු ලබන්නේ තමන්ට නිසි පරිදි නිදහසේ සිටීමට හැකි භූමියකි. ඒ අනුව සියඹලන්ගමුව වැවේ අලි රංචුව නිදහසේ කටයුතු කිරීමට සුදුසු භූමියක් ලෙස තෝරාගනු ලබන්නේ ගනන්ගමුව ශ‍්‍රී ජයසුමනාරාම විහාර භූමිය යි. ගනන්ගමුව පන්සල් වත්තට නිතර අලි ඇතුළු වෙති.

සොබාදහම අගය කරන බුද්ධිමත්, කාරුණික භික්ෂුන් වහන්සේ නමක් වන ශ‍්‍රී ජයසුමනාරාමාධිපති මැදගම ත‍්‍රිපිටක ධර්මායතන පිරිවෙන් අධිපති පූජ්‍ය මාහැවේ විමලරතන හිමිපාණනෝ මේ ඉඩමෙන් අලින් එළවීමට කැමැත්තක් නො දක්වති. ඒ පිළිබඳ ව අදහස් විමසීමේ දී උන්වහන්සේ කියා සිටින්නේ ‘අලියා නැමැති වනාන්තර ගත සතා ද, සොබාදහමේ උරුමයක් බව යි. උන්ට අද ජීවත් වීමට ඉඩකඩක් නොමැති බැවින් උන් ගේ පාඩුවේ තියෙන දෙයක් කාලා ගියා වේ.’ කියා උන්වහන්සේ නිශ්ශබ්දව සිටිති. එහෙත් මාන පඳුරු පමණක් නො ව සිටුවා ඇති පොල් පැල, කෙසෙල් පැල සහ අඹ ගසුත් උන් ගේ ඉලක්කයට හසු වේ. එහෙත් පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ නිශ්ශබ්දව බලා සිටිති.

එක් අවස්ථාවක දී වල් අලි රංචුව පන්සල් වත්තට ඇතුළු වී විශාල හානියක් කරන අවස්ථාවේ දී මැදගම පිරිවෙනේ රැුඳී සිටි පණ්ඩිත හාමුදුරුවන්ට මම දුරකතනයෙන් අමතා පන්සල් වත්ත අලි විනාශ කරන බව දැනුම්දුන් අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ ‘එවුන් නිදහසේ කාලා ගියාවේ.  ඕනේ නම් ඔය පොල් ගහක් දෙකක් කලා යයි. කලබල කරන්න එපා කාලා යයි.’ එහෙත් අලි කළ විනාශය දුටු ගමේ දායක මහත්වරු වෙඩි දමා බිය කර අලින් එළවා දැමූහ. පසු දා බලන විට මාන ගාල සම්පූර්ණයෙන් විනාශ කොට තිබිණි. පොල් ගස් දහයකට වඩා කඩා දමා එතැනින් නොනැවතී අඹ ගස් සහ කෙසෙල් ගස් විශාල ප‍්‍රමාණයක් විනාශ කර තිබිණි. එහෙත් ඒ දර්ශනයෙන් පණ්ඩිත හාමුදුරුවෝ කම්පා නොවුණි.
පන්සල් වත්තට ඇතුළු වන අලින් අතර සිටි විශාල ම සද්ධන්තයා තමයි පසු කලෙක දී සියඹලන්ගමුවේ ඇතා යනුවෙන් ප‍්‍රසිද්ධ වූයේ. මේ සතා සියඹලන්ගමුවේ ඇතා යනුවෙන් මිය ගියාට පසු ප‍්‍රසිද්ධියේ හඳුනා ගත්තා මිසක සියඹලන්ගමුවේ ඇතා යනුවෙන් හඳුන්වන වගක් අපි දැන නොසිටියෙමු. එහෙත් අලි රංචුවේ සිටි අපි හඳුනා ගෙන සිටි සද්ධන්ත ඇත් රාජයා ඉතා අහිංසක සතෙකි. එ සේ ම ඉතා බුද්ධිමත් ආරක්ෂාකාරී ඇතෙකි. අඩි හතරකට වඩා දිගින් යුත් දල සහිත මේ ඇතා පැහැදිලි ව දකින විට ඉතා ගැඹුරු තේජාන්විත භාවයක් පෙන්නුම් කෙළේ ය. විදුලි පන්දම් එළිය එල්ල වන විට ආපසු හැරී මුහුණ සඟවා ගෙන ඉවත් වීම මේ සතා ගේ ස්වභාවයකි. නමුත් මේ හස්තිරාජයා සමඟ ගමන් කළ අනික් ඇතා තරමක දඟයෙකි. දරුණු ගති පෙන්වන්නේ ය. කෙසේ නමුත් අපට නම් දරුණු ගති පෙන්නුම් කර නැත. මේ අලි රංචුව සමඟ ගමන් කරන අනෙක් අලින් අතර මුහුණේ කබර සහිත විශාල අලියෙක් සිටියේ ය. විදුලි පන්දම් එළිය වැටෙන විට ඒ එළිය කපා ගෙන ඉදිරියට එන ස්වභාවයක් තිබූ මේ අලියා දරුණු ය. ඇතෙකු ගේ ආරක්ෂාවට සිටින අලියකු ගේ පැවැත්ම එබඳු ය.

සවස ඉර බැස යන විට ආහාර සොයා පිටත් වන අලින්ට සෑම ඉසව්වකින් ම වෙඩි දැමේ. එනිසා බොහෝ වෙලාවට උන් ඉන්නේ කුසගින්නේ ය. එවිට ඔවුහු දරුණු වෙති. නිදහසේ ආහාර ලබා ගන්නට අවස්ථාවක් නැත. අලූයම් කාලයේ ඔවුන් ආපසු පිටත් විය යුතු යි. කුසගින්න අධික වීමත්, ආපසු ගමන් කිරීමට කාලය එළැඹෙන නිසාත් තෝරා බේරා ගැනීමකින් තොර ව ඔවුහු අහුවෙන  ඕනෑම දෙයක් කා දමති. ළඟ ඇති ගස් පෙරළා කඩා දමති. එ සේ ම ආපසු ගමනේ දී මුණ ගැසෙන  ඕනෑම බාධකයක් පෙරළා ගෙන යෑමට ඔවුන් උත්සාහ කරති. වෙනදාට නොකන සීනි කෙසෙල් පඳුරු ද ගලවා ගෙන කති. පාන්දර කාලයේ සියලූ බාධක බිඳ ගෙන සියඹලන්ගමුවේ වැවේ උන් ගේ තිප්පොලට ගමන් කළ යුතු ය. ඒ වෙලාවට බාධා නොකර නිදහසේ ගමන් කිරීමට මිනිසුන් ඔවුනට ඉඩදිය යුතු ය. සමහර විට උන් ගමන් කරන්නේ කා ගේ හෝ වගා බිමක් මතිනි. එහෙත් වගාවන් කා දමා විනාශ කිරීමට අලි උත්සාහ නො කරති. අනවශ්‍ය ලෙස බාධා කරන මිනිසුන්ට උන් පහර දුන් අවස්ථා අනන්තවත් ඇත. එහෙත් මඟ රැුක හෝ එළව එළවා පහර දීම ඔවුන් බලාපොරොත්තු නොවෙති. එබදු මොහොතක මේ අලින් දරුණු වන්නේ ඔවුන්ට හිරිහැර කළොත් පමණි.

අලි රංචුව මොන ප‍්‍රදේශයේ සංචාරය කළත් සියඹලන්ගමුවේ ඇතා මිනිසුන්ට හානි කිරීමට උත්සාහ ගත්තේ නැත. එනමුත් ඒ සමඟ ම ගමන් කරන අනෙක් ඇතා තරමක් දරුණු නිසා යම් යම් බලහත්කාරකම් හා අපරාධ සිදු කිරීමට උත්සාහගත් අවස්ථා ඇත. ඊටත් වඩා භයානක මොවුන් ගේ ආරක්ෂාවට නිතර ම ළඟින් ගමන් කරන අලින් දෙදෙනා ය. මේ දෙදෙනා නිතර ගමන් කරන්නේ ඇත් රාජයාට දෙපැත්තෙන් තරමක් දුරිනි. ඇතැම් විට මේ ඇත් රාජයා වත්තකට ඇතුළු වූ විට අලින් දෙදෙන සිටින්නේ දෙපැත්තේ වතුවල ය. එසේ වූවත් තමන් ගේ වත්තට අලින් ඇතුළු වී ඇති නිසා අඳුරේ අලි එළවීමට මිනිසා උත්සාහ කිරීමේ දී දෙපැත්තෙන් වූ ආරක්ෂක අලින් දෙදෙනාට ගොදුරු වන අවස්ථා ඇත. මේ තත්ත්වය දන්නා මිනිසා බොහෝ විට ඈත මෑත සෝදිසි කර කල්පනාවෙන් අලි එළැවීමට පුරුදු වී ඇත.

මේ අලින් ගේ ක‍්‍රියාකාරකම්වල දී කවර අලියා විසින් කොතැනක හෝ අපරාධයක් සිදු කළත් ඒ අපරාධය බැර වූයේ සියඹලන්ගමුවේ ඇතාට ය. ඊට හේතුව ඔහු කැපී පෙනෙන කණ්ඩායම් නායකා බැවිනි.

අලින් ඇවිදින් ගියාට පසු උන් ගේ අඩි නිරීක්ෂණය කිරීමේ දී හමු වන දිගැටි හැඩයේ අඩි දැක මිනිස්සු ඇතකු පැමිණි බව තීරණය කරති. ඇතා ගේ අඩි අලියා ගේ අඩිය මෙන් (පා සළකුණ) රවුමට පිහිටා නැත. මදක් දිග ය. අප හඳුනා ගෙන සිටි සියඹලන්ගමුවේ ඇතා යැයි සම්මත ඇත් රාජයා බොහෝ විට මිනිසුන් සමීපයට නොපැමිණියේ ය. මිනිසුන් දුටු විට ලැජ්ජාවෙන් මෙන් ඉවත් ව ගියේ ය. අහම්බෙන් මුණ ගැසුණු විට දී සමහර විට දරුණු ක‍්‍රියාවකටත් ඉඩ තිබූ නමුත් ඒ නොකර බැරි විටෙක දී ය. මේ ඇතා ඉතා අහිංසක, තැන්පත් ගති ඇති මිනිසුන් ගෙන් තරමක් ඈත් වී ජීවත් වීමට කැමැති සතෙක් බව නැවත සිහිපත් කරමි.

එහෙත් මිනිසුන් ගේ වැරැදි හේතුවෙන් මේ සතා කිපුණු අවස්ථා තිබිණි. ඒ ඔහු ගේ ගමන් මඟට බාධා හා හිරිහැර කළ අවස්ථාවන්හි දී ය. සමහර අලි ඇතුන් මෙන් මඟ රැක සිට පහර දීමේ හා ගෙවල් කඩා දැමීමේ අකටයුතුවලට මේ ඇතා සම්බන්ධ නො වූ බව කිය යුතු ය.

අලි මිනිස් සහජීවනය බිඳ වැටීම මේ ප‍්‍රදේශය පුරා සිදු වෙද්දී මිනිස්සු අදාළ ආයතනවලට රපෝර්තු කරති. එවිට රංචුවේ නායක ඇත් රාජයා වෙනත් ප‍්‍රදේශයකට මාරු කිරීමට එකී වගකිව යුතු නිලධාරීන් කටයුතු කළ හ. ඒ අනුව 2010 වසරේ දී දිනෙක ගල්ගමුවේ වැටකොලූවා ගම ආසන්නයේ දී මේ ඇතා අත් අඩංගුවට ගෙන ඇත. මොහු ලොරි රථයකට පටවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ දී තරමක මුරන්ඩු වියරු තත්ත්වයකට පත් වී ඇත. ඒ අලියකු ගේ ස්වභාවය යි. තව ද මොහු රංචුවේ නායක ඇත් රාජයා ද වූයේ ය.

අතපය සහ හොඬවැල රැහැන් දමා හිර කර බැඳ තිබීමේ දී ඇතාට නිදහසේ ක‍්‍රියා කිරීමට තත්ත්වයක් නො වී ය. එහෙත් මදක් පය එසැවීමට ඉඩකඩ තිබී ඇත. මෙයින් ප‍්‍රයෝජනය ගත් ඇතා තරහව පිරිමහ ගැනීම සඳහා පාදයක් ඔසවා වැරෙන් කිහිප වාරයක ම ලොරියේ තට්ටුවට ඇන ඇත. එහි දී ලොරියේ තට්ටුව හිල් වී කඩා ගෙන ගියේ අලියා ගේ පහර දීමේ වේගයට වඩා ලොරි තට්ටුවේ තිබූ දුබල බව නිස යි. ලොරියේ තට්ටුව කැඞී යෑමේ දී උගේ පාදයක් ලොරියෙන් පහතට එල්ලා කඩා වැටීම ඇතාට දරුණු ඛේදවාචකයක් ගෙන ඒමට මුල් විය. යම් අයෙක් මේ සිද්ධිය ඇසින් දුටු නමුත් ලොරියට පටවා ඇත්තේ ඇතෙකු බැවින් ළං වීමට බිය වූහ.

අදාළ නිලධාරීන් නැවත වතාවක් බොහෝ දුර ගමන් කොට සියඹලන්ගමුවේ වැවට ඇතා ගෙන ගොස් ඇත. පාදය හිර වූ ඇතා නැඟිට ගැනීමේ අපහසුතාව නිසා ලොරියේ වැතිරී සිටියේ ය. තව ද මේ වන විට ඇතා කායික සහ මානසික වශයෙන් පිරිහී සිටියේ ය. ඇතා ලොරියෙන් ඉවත් කිරීම ද සුලූ පටු කාර්යයක් නො වී ය.
අවසන සිදු වූයේ මහා ඛේදවාචකයකි. ඔවුන් නොසිතූ පරිදි මේ සද්ධන්තයා සියඹලන්ගමුවේ පමණක් නො ව ප‍්‍රදේශයේ ම ඔද තෙද පෑ හැමදෙන ගේ දසුනට ප‍්‍රීතියක් ගෙන දුන් ශ‍්‍රී ලංකාවේ ජාතික වස්තුවක් වූ ආසියාවේ විශාලතමයා වූ සියඹලන්ගමුවේ ඇත් රාජයා ලොරි තට්ටුව මත අවසන් හුස්ම හෙළීමයි.

ඇතා මළ බවට ආරංචිය ප‍්‍රදේශය පුරා ම පැතිර ගියේ නිමේශයකිනි. මහත් සමූහයක් ඇතා බලන්නට පැමිණිය. ශෝකය පල කළ හ. පින්තූර ගත්හ. පුවත්පත් මෙන් විවිධ මාධ්‍ය මේ පුවත ප‍්‍රචාරය කෙළේ ය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් විණි. ඇතා ගේ හිස කොටස ගෙන ගියේ දළ යුගල ගැනීම පිණිස ය.

ඇතා ගේ අවශේෂ කොටස් වළ දැමිණි. එතැනට එදා රාත‍්‍රියේ විශාල අලි රංචුවක් එක් වූහ. හඬ නගා ශෝකය ප‍්‍රකාශ කළ හ. වළ වටේ ම ඇවිද්දහ. රැුඳී සිටියහ. යාය හතර පන්සල් වත්තට ඇතුළු වී ඔවුහු හාමුදුරුවන්ට ඇහෙන්නට මෙන් මහා හයියෙන් විලාප දුන්හ. සමහර විට දුර පළාත්වල අනෙක් අලින් එක් වෙන්නට ඇත. ඊට පසු පන්සල් වත්ත ඉදිරිපිට සහ අවට වතුවලට ඇතුළු වූ අලි රචුව කෝපය ප‍්‍රකාශ කළහ. මහ විසල් පොල් ගස් එහෙම පිටින් පෙරළ දැමූහ. ගෙවල් කඩන්නට උත්සාහ කළහ. ගමේ මිනිසුන් නිවාස අඩස්සියට ගත්තාක් මෙන් ය. අලි රැල මහා කලබල ඇති කළ ද පසු දින ඉර උදාවන්ට පෙරාතු ව සිරිත් පරිදි ආපසු ගමන් කළහ.

දින ගණනාවක් සියඹලන්ගමුවේ යාය හතරේ පන්සල් වත්තට දිනපතා සවසට අලින් පැමිණිය හ. මුළු ප‍්‍රදේශයේ ම අලින් ගේ ඇදිරි නීතිය ය. රාත‍්‍රිය කිසිවෙක් ගෙයින් එළියට නොබැස්සහ.

මේ අතරේ සියඹලන්ගමුව යාය හතරේ වැව ළඟ පන්සලේ හාමුදුරුවෝ මේ සතුන් මිනිසාට කියන්නේ කුමක් දැ යි කල්පනා කළහ. හාමුදුරුවෝ වහා ම ක‍්‍රියාත්මක වූහ. හතර පේරුවේ දායකයන් රැස් කොට ඇතා මිය ගොස් හත් දවසේ පින්කම කිරීමට කටයුතු කළහ.

රාත‍්‍රියේ අනිත්‍ය ප‍්‍රතිසංයුක්ත ධර්ම දේශනාවක් කොට පසු දින අටපිරිකර සහිත මහා සාංගික දානයක් පිරිමසා මිය ගිය ඇත් රාජයාට පැන් වඩා පින් අනුමෝදන් කැරිණි. එදින සිට ප‍්‍රදේශයේ අලින් ගෙන් සිදු වූ ව්‍යසනය සමාප්ත විය. එහෙත් ඉදිරිය ගැන කිය හැක්කේ කාට ද?

කෙසේ හෝ ඇත් රජ මිය ගියේ ය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු විණි. මිනිසුන් මෙන් ම බලධාරීහු ද නොයෙක් දේ කීමට ඉදිරිපත් වූහ. අවසන වනජීවී දෙපාර්තමේන්තුව වරදක් කොට නැතත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ද වරදක් කර නැතත ලොරිය අයිතිකරුවන් ගේ ද වරදක් නැතත එහෙත් ඇත් රජු මිය යෑමට හේතු වූ කරුණ සලකන කළ වරදක් දැක්ක හැකි ය. ඒ වරද අප යළිත් විමසිය යුත්තේ අනාගතයේ මෙවන් ඛේදවාචකයක් සිදු නොවනු පිණිස ය.          

සියඹලන්ගමුවේ ජිනරතන හිමි

.............................................................................................................................................................................................................................................




ඌවේ නිදහස් ජල උරුමයේ මළගමට 
සියල්ලෝ ම පැමිණෙත් වා  
හම්බන්තොට සංවර්ධන ආශ්චර්යයට පණ පොවන 
උමාඔය බහුකාර්යය ව්‍යාපෘතියේ සුල මුල

ලෝකයේ සමහර රටවල නිදහස් ජල අයිතිය වෙනුවෙන් සටන් පැවැතිය ද ලංකාවේ අපට ඒ පිළිබඳ ව හොඳ අත්දැකීමක් ලැබුණේ මාවිල්ආරු සොරොව්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වසා දමනු ලැබීමත් සමඟ ය. එය යුද්ධයකින් නිමා විය. එහෙත් දැන් නොනවතින ජල අරගලයක් ඇති කිරීමට ලක් රජය විසින් ම ක‍්‍රියා මාර්ග ගනිමින් සිටියි. ඒ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හුදු දේශපාලන උවමනාවන් මත පදනම් ව ක‍්‍රියාත්මක කිරීම මඟිනි.

මහවැලි ගෙඟ් අතු ගංගාවක් වන උමාඔය, මහවැලි ව්‍යාපාරය යටතේ ඉදි කළ රන්ටැඹේ ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂකය යි. මෙහි ජලය, ලූණුගම්වෙහෙර ජලාශය වෙත ගෙන ගොස් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය ජලය සැපැයීම උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදු වේ. මෙමඟින් උමාඔයේ ජලය කිරිඳිඔයට ගලායෑමට සැලැස්වීම හේතු කොට ගෙන උමාඔය ද්‍රෝණියේ ජීවත්වන ජනතාව ගේ ජල අයිතිය සහමුලින් ම අහිමි වී යයි.

මෙහි පළමු සැලැසුම සකස් වූයේ 1991 වසරේ දී ය. එය සකස් කැරුණේ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යංශය විසිනි. ඒ වාර්තාව මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ, ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීමත්, ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික දුර්වලතාත් හේතුවෙන් ප‍්‍රතික්ෂේප කැරිණ. එහෙත් ඉරාන රජයේ මැදිහත් වීමෙන් ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපාදන යටතේ මේ ව්‍යාපෘතිය නැවත වරක් ක‍්‍රියාත්මක කිරීමට දෙරටෙහි වත්මන් ආණ්ඩු අතර එකගතාවක් ඇති විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2008 අපේ‍්‍රල් මස 29 වන දින පෙ.ව. 10.00 ට යෙදුණු සුබ මොහොතින් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැල්ලවාය, අලිකොටආර දී මුල්ගල තැබිණි. එවකට අග‍්‍රාමාත්‍ය ව සිටි රත්නසිරි වික‍්‍රමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්‍ය මීර් රසාමි මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් මුල්ගල තැබීමේ කටයුතු සිදු කැරිණි. ඒ වූකලි උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ ව ප‍්‍රමාණවත් ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් හෝ නොමැති ව හුදු දේශපාලන වුවමනාවන් මත පදනම් ව සිදු කළ මුල් ගල තැබීමකි. මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන ඉරාන අපනයන සංවර්ධන බැංකුව, ව්‍යාපෘතියේ ශක්‍යතාව පිළිබඳ ව හෝ පාරිසරික බලපෑම් පිළිබඳ ව හෝ ජනතාව ගේ නිදහස් ජල අයිතිය පිළිබඳ ව හෝ අවධානය යොමු නොකර මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම විශේෂ සිදුවීමක් විය.

මුල්ගල තැබීමෙන් අනතුරු ව 2008 ජුලි මස 20 වන දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පූර්ව ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස් විණි. එය සිදු කැරුණේ Mahab Ghodss Consulting Engineering company නම් ආයතනය මඟිනි. ඉන් අනතුරු ව 2010 නොවැම්බර් මස දී උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ වෙළුම් තුනකින් සමන්විත අවසාන පරිසර බලපෑම් ඇගැයීම් වර්තාව ව්‍යාපෘති යෝජක ආයතනය වන වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය මඟින් සකස් කැරිණි. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව අනුමත කිරීමේ අනුයෝජිත ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ක‍්‍රියා කළ අතර, ඒ වාර්තාව 2010 දෙසැම්බර් මස 27 වන දා සිට රජයේ වැඩකරන දින 30 ක කාලයක් ලිඛිත මහජන අදහස් සඳහා විවෘත ව තැබිණ. ඒ කාලය තුළ ලිඛිත විරෝධතා විශාල ප‍්‍රමාණයක් මධ්‍යම පරිසර අධිකාරය වෙත පරිසර සංවිධාන, ගොවි සංවිධාන, ප‍්‍රජා සංවිධාන හා ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් වන විශාල පිරිසක් විසින් යොමු කරන ලදි. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු නොකර ඉතා ම දුර්වල මට්ටමක පැවති ව්‍යාපෘති වාර්තාව සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අපේ‍්‍රල් මස 12 වන දා කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන ලදී. මේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය ලබා දීමටත් ප‍්‍රථමයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබිණි. මේ ව්‍යාපෘතියේ දී පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවට අනුමැතිය ලබා ගැනීම යනු හුදු ලේඛනයකට පමණක් සීමා වූ කටයුත්තක් විය. එවැනි වැරදි පූර්වාදර්ශ රාජ්‍ය ආයතනයක් විසින් ම ලබා දීම පාරිසරික නීති උල්ලංඝනයට සමාජය පෙළැඹවීමක් වැනි ය.

මෙවන් වූ දැවැන්ත ව්‍යාපෘතියක් සඳහා සකස් කළ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව ඉතා ම දුර්වල වාර්තාවක් වීම කනගාටුවට කරුණකි. පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක මූලික ප‍්‍රධාන අංගයක් වන ප‍්‍රමාණවත් විකල්ප අධ්‍යයනය මේ වාර්තාවේ අඩංගුව නොමැත. ජාතික පාරිසරික පනතට අනුව පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවක තිබිය යුතු මූලික ප‍්‍රධාන අංගයක් ලෙස විකල්ප අධ්‍යයනය සැලැකේ. මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ සිදු කර ඇත්තේ අතීතයේ සාකච්ඡුා කළ උමාඔයේ ජලය දකුණු කලාපයට හරවා යැවීම පිළිබඳ යෝජිත ව්‍යාපෘති වාර්තා කිහිපයක දත්ත පාදක කර වර්තමානයේ යෝජිත ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීම පමණි. එය පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ පවතින ප‍්‍රධාන අඩුපාඩුවකි.

ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස ක‍්‍රියාත්මක වන ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සූදානමින් සිටී. ඒ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 76,316 කි. ඉන් ලංකා රජය දරන වියදම රුපියල් මිලියන 24,600 කි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842 ක් වැය වේ. ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව ලබා දෙන අතර ඉතිරි 15% ක මුදල ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැරිය යුතු වේ. මීට අමතර ව ඉඩම් අත්පත් කර ගැනීම, ජනතාව නැවත පදිංචි කිරීම, පරිසර සංරක්ෂණය, වාරිමාර්ග ප‍්‍රතිසංස්කරණය, ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශනය සඳහා වැයවන රුපියල් මිලියන 15,475 ක මුදල ලංකා රජයෙන් දැරිය යුතු ව ඇත.

මෙවන් අති විශාල මුදලක් ලංකා රජය විසින් කෙසේ දරනු ලැබේ ද යන්න අපට ඇති ගැටලූවකි. ඒ සඳහා අවශ්‍ය මුදල් වැඩකරන ජනතාව ගේ සේවක අර්ථසාධක අරමුදලින් ලබා ගැනීමට උත්සහ දැරේ. ඊට එරෙහි ව සිවිල් ජනතාව ක‍්‍රියාත්මක විය යුත්තේ මන්ද? ඒ අන් කිසිවක් නිසා නො ව ගොවි ජනතාව ගේ නිදහස් ජල අයිතිය අහිමි කරමින් පාරිසරික, භූ විද්‍යාත්මක, සමාජීය හා කෘෂිකාර්මික හානි රැසක් ජනිත කරන ව්‍යාපෘතියක් සඳහා මේ මුදල් භාවිත කිරීමට පිඹුරු පත් සකසන නිසා ය. අති විශාල මුදලක් වැය කරමින් උමාඔය ජල ද්‍රෝණියේ ජීවත්වන ජනතාව ගේ ජල අයිතිය අහිමි කරමින් රටේ ජනතාව උකසට තබා හම්බන්තොට දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපොළ, හම්බන්තොට කර්මාන්තපුරය, හම්බන්තොට වරාය සහ හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ජලය සැපැයීමට මේ ව්‍යාපෘතියෙන් නියමිත නිසා ය.

උමාඔය ව්‍යාපෘතියට යට කරන වගා බිම්
පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල ද්‍රෝණිය වර්ග කිලෝමීටර 720 ක් පමණ වේ. ඉන් 65% ක් ඌව පළාතටත් 35% ක් මධ්‍යම පළාතටත් අයත් ය. යෝජිත ව්‍යාපෘතියට ඉහළින් උමාඔයේ ජල පෝෂක ප‍්‍රදේශය වර්ග කිලෝමීටර 350 ක් පමණ වේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන 145 ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත.  යෝජිත වේලිවලට පහළින් උමාඔයේ ජලය ලබාගෙන සිදු කරන කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වාරි ව්‍යාපෘති හා ජල විදුලි ව්‍යාපෘති ගණනාවක් පවතී. රන්ටැඹේ ජලාශයට ජලය සැපැයීම හා බත්මැඩිල්ල ව්‍යාපාරයට ජලය සැපැයීම උමාඔයේ පහළ ප‍්‍රදේශයේ සිදුවන මහා පරිමාණ වාරි ව්‍යාපෘති වේ. මහවැලි ව්‍යාපාරය සැලැසුම් කිරීමේ දී උමාඔයේ ජලය රන්ටැඹේ ජලාශයට ලබාගෙන එමඟින් විශාල ප‍්‍රද්ශයකට වාරි ජලය සැපැයීම සිදු වේ. යෝජිත උමාඔය හැරැවීම් ව්‍යාපෘතිය හේතුවෙන් මේ වාරි ව්‍යාපෘතීන්ට දැඩි ජල අර්බුධ ඇති වේ.
මහවැලි ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ ප‍්‍රදේශ සඳහා වාරි ජලය සපයන ප‍්‍රධාන ජල ප‍්‍රභවයක් වන උමාඔය වෙනත් බහුකාර්යය ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමෙන් සිදු වන්නේ මහවැලි ව්‍යාපාරය යටතේ වාරි ජලය සපයන ප‍්‍රදේශවල ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. තව ද මහවැලි ව්‍යාපාරය සඳහා යෙදැවූ අති විශාල ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිලාභ ලබා දෙන වගා බිම්වල ඵලදායීතාව පහළ හෙළීම යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත. ඒ වගා බිම්වල ඵලදායීතාව ඇති කිරීමට අවශ්‍ය ප‍්‍රමාණවත් වාරි ජලය සැපැයීම සඳහා වෙනත් විකල්පවලට යොමු වීමට අමතර ප‍්‍රාග්ධනයක් යෙදැවීමට ද මේ ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවනු ඇත.

උමාඔය ද්‍රෝණියට වර්ෂා ඍතුව එළැඹෙන කාලය හා දකුණු කලාපයේ වර්ෂා ඍතුව එළැඹෙන කාලය එකිනෙකට සමපාත වේ. එනම් ඊසාන දිග මෝසම් මඟින් මේ ප‍්‍රදේශ දෙකට ම වර්ෂාව ලැබේ. එබැවින් දකුණු කලාපයේ ජලය ගබඩා කර තබන ජලාශ හා වැව්, ඊසාන දිග මෝසම් වර්ෂාව පවතින කාලයට පිරී යන අතර ව්‍යාපෘතියේ යෝජිත පරිදි උමාඔයේ අතිරික්ත ජලය ගබඩා කිරීමට දකුණු කලාපයේ මේ ජලාශවලට හා වැව්වලට හැකියාවක් නො පවතී. එවන් තත්ත්වයක් ඇසුරේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ඵලදායීතාවයෙන් තොර බව ඉතා පැහැදිලි කරුණකි.

මෙය කොටස් දෙකකින් සමන්විත ව්‍යාපෘතියකි. පළමු කොටස ජල විදුලිය නිපදවීම හා දෙවන කොටස වාරි ජලය සැපැයීම යි. ඒ සඳහා ජලාශ, භූගත උමං, ඇළ මාර්ග ගණනාවක් ඉදි වේ. ව්‍යාපෘතියේ ආරම්භය උමාඔයේ ජල හැරැවුම් ජලාශ දෙක යි. උමාඔයේ ප‍්‍රධාන අතු ගංගාවක් වන පුහුල්පොළ ඔයේ, පුහුල්පොළ ජලාශය ඉදි වේ. එතැන් සිට විශ්කම්භය 3.5  m ක් වන හා දිග 3.9  Km  ක් වන උමඟක් ඔස්සේ මහතැටිල්ල ඔයේ ඉදි කැරෙන මහතැටිල්ල ජලාශය වෙත ජලය ගෙන එනු ඇත. එතැන් සිට දිග 15.15 Km ක් වන හා විශ්කම්භය 4.3 m ක් වන උමඟක් තූළින් අලිකොටආර භූගත ජලවිදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යේ.

එහි දී නිපැයෙන විදුලිය කි.වො. 132  අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඔස්සේ බදුල්ල දක්වා ගෙන යන අතර, ඒ සඳහා 27 Km දිග අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඉදි කැරේ. විදුලිය නිපදවීමෙන් අනතුරු ව 3.33  Km  ක් දිග හා විශ්කම්භය 4.1 m ක් වන උමඟක් මඟින්, කිරිඳිඔයේ අතු ගංඟාවක් වන අලිකොටආර දක්වා ජලය රැුගෙන ඒමට නියමිත ය. අලිකොටආරේ ජල පාලන ජලාශයක් ඉදිවන අතර, එහි ජලය කිරිඳිඔය දක්වා ගෙන යනු ඇත. අලිකොටආර ජල පාලන ජලාශයේ සිට 26.8 Km ක් දිග අලිකොටආර දකුණු ඉවුරු ඇළෙන් අලූතින් ඉදි කැරෙන කුඩාඔය ජලාශය දක්වා ජලය රැගෙන යෑමට ද එහි දකුණු ඉවුරු ඇළෙන් බොහෝ ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයීමට ද නියමිත ය.
කිරිඳිඔයේ අලූතින් ඉදිවන හඳපානාගල අමුණේ වම් ඉවුරු ඇළෙන් හඳපානාගල වැව දක්වා ජලය හරවා යවන අතර, දකුණු ඉවුරු ඇළෙන් බොහෝ ප‍්‍රදේශයකට වාරි ජලය සැපැයේ.

උමාඔය ව්‍යාපෘතියෙන් ජලය අහිමි වන බත්මැඩිල්ල ව්‍යාපාරය 
ව්‍යාපෘතිය යටතේ සංවර්ධනයවන නව භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 4,500 කි. දැනට පවත්නා ඉඩම් හෙක්ටයාර 1,500 ක් පමණ ව්‍යාපෘතිය යටතේ තවදුරටත් සංවර්ධනය කැරේ. යෝජිත ව්‍යාපෘතිය යටතේ බදුල්ල, මොණරාගල හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුනෙහි බොහෝ සංවර්ධන කටයුතු සිදු කැරේ. ජලාශ, වේලි, උමං මාර්ග, ප‍්‍රවේශ මාර්ග, නව ඇළ මාර්ග, භූගත විදුලි බලාගාර, නැවත පදිංචි කරන ප‍්‍රදේශ, නව වගා බිම්, අධි බලැති විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග, වැඩබිම්, කාර්යාල සංකීර්ණ, කම්කරු කඳවුරු බිම්, ඉදිකිරීම් අමුද්‍රව්‍ය ලබා ගන්නා ප‍්‍රදේශ, ගබඩා අංගණ හා භූගත හා මතුපිට කැණීම්වල දී ඉවත් කරන පාෂාණ රැඳැවුම් බිම් ප‍්‍රදේශ ව්‍යාපෘතියට ඇතුළත් වේ. මේ ආකාරයට උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු විශාල භූමි ප‍්‍රදේශයක ව්‍යාප්ත ව පවතී.

උමාඔයේ ජලය හරවා යැවීම සඳහා ඉදිවන ජලාශ දෙකෙන් පුහුල්පොළ ජලාශය ඉදිවන්නේ වැලිමඩ නගරයට පහළින්, වැලිමඩ - බදුල්ල මාර්ගයේ 104 කිලෝමීටර කණුව අසල දී ය. වේල්ලේ උස මීටර 45 කි. දිග මීටර 210 කි. පළල මීටර හයකි. ජලශයේ ධාරිතාව හෙක්ටයාර 18.5 කි. මේ හේතුවෙන් වැලිමඩ හා ඌවපරණගම ප‍්‍රාදේශික ලේකම් කොට්ඨාස දෙකට අයත් නිවාස 98 ක් සහ පවුල් 128 කට අයත් කෘෂිකාර්මික බිම් යට වෙයි. ජලාශයේ දකුණු ඉවුරේ දිවිකොටවර හා පුහුල්පොළ ගම්මානවල ජනතාව, වම් ඉවුරේ ඉහළ කොටවර හා පහළ කොටවර ගම්මානවල ජනතාව, වැලිමඩ නගරය ආශ‍්‍රිත ජනතාව මේ ජලාශය හේතුවෙන් අවතැන් වෙති. තව ද වැලිමඩ - බදුල්ල මාර්ගයේ කිලෝමීටර තුනක ප‍්‍රදේශයක් ජලාශයට යට වන අතර, ඉහළ හා පහළ කොටවර ගම්මානවල පිවිසුම් මාර්ග ද ජලාශයට යට වේ.

දෙවන ජලාශය වන ඩයරබා ජලාශය ඉදිවන්නේ ඇටම්පිටිය ප‍්‍රදේශයේ දී ය. වේල්ලේ උස මීටර 50 කි. දිග මීටර 142 කි. පළල මීටර 6 කි. ජලාශයේ ධාරිතාව හෙක්ටයාර 15.6 කි. ඩයරබා ජලාශයට පවුල් 69 ක කෘෂිකාර්මික බිම් යට වෙයි.

ජලාශ දෙකට ගොදුරු වන ප‍්‍රදේශයේ වී, එළවළු හා අර්තාපල් වගාව ප‍්‍රධාන වශයෙන් සිදු කැරේ. ජලාශ දෙකට යට වීමෙන් රටට අහිමි වන වී අස්වැන්න වාර්ෂික ව මෙටි‍්‍රක් ටොන් 153 කි. අහිමි වන ආදායම රුපියල් මිලියන 4.6 කි. අහිමි වන එළවළු හා අර්තාපල් නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 135 කි. ඒ අනුව අහිමි වන ආදායම රුපියල් මිලියන 6 ක් පමණ වේ. මේ වාරි ව්‍යාපෘතියත් සමග ම රටට අහිමි වන සම්පත් ය.

එපමණක් නොව මේ ජලාශ දෙක හේතුවෙන් අවතැන් වන ජනතාවට නිසි නැවත පදිංචියක් ලැබේ ද යන්න ගැටලූ සහිත ය. පුහුල්පොළ ජලාශය හේතුවෙන් අවතැන් කරන ජනතාව ඌව පරණගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරගොල්ල ප‍්‍රදේශයේ හෙක්ටයාර 25 ක සහ ඩයරබා ජලාශය හේතුවෙන් අවතැන් කරන ජනතාව ඩයරබා වත්තේ කැටකෑල්ල ප‍්‍රදේශයේ හෙක්ටයාර 25 ක පදිංචි කිරීමට යෝජිත ව ඇත. එහෙත් නැවත පදිංචි කැරෙන ප‍්‍රදේශ වී ගොවිතැන සහ එළවළු හා අර්තාපල් වගාවන්ට යෝග්‍ය නොවන අතර, වාරි ජලය, පානීය ජලය, මාර්ග පහසුකම් හා අනෙක් යටිතල පහසුකම් ඉතා අවම මට්ටමක පවතී. මේ නිසා නැවත පදිංචි කිරීම් කටයුතු ඉතා ගැටලූ සහගත මට්ටමක පවතින අතර, එය අවතැන් වන ජනතාව ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

නැවත පදිංචි කිරීම් කටයුතු සිදු විය යුතු වන්නේ ”ස්වේච්ඡුාවෙන් නොවන නැවත පදිංචි කිරීම් පිළිබඳ  ජාතික ප‍්‍රතිපත්තියට” (National Involuntary Resettlement Policy - NIRP)  අනුව ය. නැවත පදිංචි කිරීමේ දී සමාජ ආර්ථික බලපෑම් අවම කිරීම පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කළ යුතු ව ඇත. සංශෝධිත 1950 අංක 9 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව වර්තමාන දේපල වටිනාකම අනුව වන්දි ලබා දීම සිදු විය යුතු අතර, ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් කරවන ජනතාව ගේ ජන දිවිය යථා තත්ත්වයට පත්වන තුරු ඔවුනට යැපුම් මාර්ග සකසාදීම සිදුවිය යුතු ය. නමුත් මේ ව්‍යාපෘතියේ මූලික අවස්ථාවේ සිට ම අදාළ රාජ්‍ය අංශ රටේ සමස්ත ජනතාව මුලා කරමින් මේ සැලැසුම් සකස් කළ තත්ත්වයක අවතැන් කරන ජනතාවට යුක්තිය ඉටු කරයි ද යන්න ගැටළු සහගතය.

භූ ගත විදුලි බලාගාරය වැල්ලවාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරුගම ග‍්‍රාම නිලධාරි වසමේ ගල්බොක්ක ග‍්‍රාමයේ ඉදි කැරේ. මේ නිසා අවතැන් කරන පවුල් ගණන 14 කි. මීට අමතර ව මේ ප‍්‍රදේශයේ කෘෂිකාර්මික බිම් විශාල ප‍්‍රමාණයක් ඉවත් කිරීමට සිදු වේ. එහෙත් මේ පිළිබඳ තොරතුරු අවතැන් වන ජනතාව ගෙන් වසන් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එය පරිසර බලපෑම් ඇගයීම් වාර්ථාවේ ද සඳහන් කර නොමැත.

උමා ඔය යෝජිත ජලාශවලට යටවන ප‍්‍රදේශයේ එළ ගවයන් හා මී ගවයන් ඇතුළත් සත්ත්ව පාලන කටයුතු සිදු කැරේ. එහෙත් මේ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාවේ ඒ පිළිබඳ ව පුළුල් අවධානයට ලක් කිරීමක් සිදු කර නොමැත. යෝජිත ව්‍යාපෘතිය හේතුවෙන් ඇණ හිටින සත්ත්ව පාලන කටයුතු සඳහා විකල්ප තෘණ භූමි ලබාදීමට හැකියාවක් නොමැති බව මේ වාර්තාවේ දක්වා තිබේ. එය සත්ත්ව පාලනයේ නිරත ජනතාව ගේ ආදායම් මාර්ග අහිමි කර ඔවුන් අවතැන්කර ඔවුන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

උමාඔය ව්‍යාපෘතියෙන් අවතැන් වන ජනතාව
යෝජිත උමාඔය ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවන්නන්ට කිරිඳිඔයේ ජල ද්‍රෝණියේ, අලිකොටආර ජලාශය, කුඩාඔය ජලාශය, හඳපානාගල වැව යටතේ අලූතින් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කර ලබාදීමට යෝජිත ව ඇත. මෙමඟින් සිදුවන හානිකර බලපෑම් කිහිපයකි. ඉන් ප‍්‍රධාන වන්නේ කිරිදිඔයේ ජල පෝෂක වනාන්තර තව තවත් අහිමි වීමෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජලාශය රොන් මඩින් පිරීයෑමේ සීග‍්‍රතාව තවදුරටත් වැඩි වීම ය. මීට අමතර ව සංවර්ධනය කිරීමට යෝජිත කෘෂි බිම් ප‍්‍රදේශ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය ආශ‍්‍රිත ව හා අලි ගැවසුම් වනාන්තරයන්හි පිහිටා තිබේ. මේ අලින් ගේ වාසස්ථාන අහිමි වීමෙන් අලි-මිනිස් සහජීවනය බිද වැටීමෙන් දෙපාර්ශ්වයට ම උග‍්‍ර ගැටලූවලට මුහුණ දීම මේ ව්‍යාපෘතියත් සම`ග ම සිදු විය හැකි ය.

උමාඔයේ යෝජිත ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි ප‍්‍රදේශ උග‍්‍ර පාංශු ඛාදනයට ලක්වන බිම් ප‍්‍රදේශ වෙයි. මීට අමතර ව මේ ව්‍යාපෘතිය හේතුවෙන් කිරිඳිඔය ද්‍රෝණියේ බොහෝ වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ඉඩම් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මේ හේතුවෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වය ද ඉතා අධික වේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ යෝජිත සමස්ත ව්‍යාපෘතිය යටතේ අලූතෙන් ඇති කරන ජලාශ හා ලූණුගම්වෙහෙර ජලාශය ශීග‍්‍රයෙන් රොන්මඬින් පිරීයන තත්ත්වයට පත් වීම ය. මෙමඟින් අවසානයේ සිදුවන්නේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ නොලැබෙන තත්වයකට පත් වීම යි.

ව්‍යාපෘතිය යටතේ ඉදිවන උමං හේතුවෙන් කඳුකරයට සිදුවිය හැකි බලපෑම ඉතා අධික ය. ව්‍යාපෘතියෙන් වෙන් වෙන් වශයෙන් භූගත උමං 7 ක් ඉදි වේ. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උමඟ, ඩයරබා ජලාශයේ සිට භූගත විදුලි බලාගාරය දක්වා ජලය ගෙන එන කිලෝමීටර 15.15 ක් දිග උමඟ, මේ උමග තුළ සකස් වන භූගත ජල හැරැවුම් ටැංකි දක්වා පිවිසීමට ස්ථාන තුනකින් සකස්වන සම්පූර්ණ දිග කිලෝමීටර 2.24 ක් වන උමං ත‍්‍රිත්වය, භූගත ජල විදුලි බලාගාරය දක්වා පිවිසීමට හා අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මතු පිටට ගෙන ඒම සඳහා සකස් වන කිලෝමීටර 1.44 ක් දිග උමඟ සහ බලාගාරයේ සිට අලිකොටආර දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.33 ක් දිග උමඟ වශයෙනි. ඉදි වන සම්පූර්ණ උමංවල දිග කිලෝමීටර 26 කි. මේ උමං කැණීමෙන් ඉවත්වන පාෂාණ ප‍්‍රමාණය කියුබික් මීටර 440,000 සිට 1,110,000 අතර වේ.

මේ ව්‍යාපෘතියේ වැඩි කොටසක් කි‍්‍රයාත්මක වන්නේ උස් කදුකරයේ ය. උස් කදුකරයේ භූගත කැණීම්වල දී ඇතිවන කම්පන හේතුවෙන් පාංශු ස්තර අස්ථාවර වීම, භූගත ජල උල්පත් වෙනස් වීම හා ජල මාර්ගවලට බලපෑම් ඇති වීම සිදුවිය හැකි ප‍්‍රධාන බලපෑම් ය. මෙය ඉතා හානිකර ලෙස බලපානුයේ යෝජිත ව්‍යාපෘතියේ බොහෝ භූගත කැණීම් සිදු කැරෙන ප‍්‍රදේශ උග‍්‍ර නායයෑම් තර්ජනයට ලක් වූ කලාප වන නිසා ය. මේ හේතුවෙන් නායයෑම් තර්ජන උග‍්‍රවීම, පාංශු ඛාදනය උග‍්‍රවීම, ජල දේහයන් රොන් මඩින් පිරි යෑම, භූ ගත ජල මට්ටම පහළ බැසීම වැනි හානිකර තත්ත්වයන් බොහොමයක් භූ ගත උමං සකස් කරනු ලබන කලාපය පුරා ම ඇති විය හැකි ය.

භූගත විදුලි බලාගාරයෙන්  ජනනය කරන විදුලිබල ප‍්‍රමාණය මෙගා වොට් 120 කි. වාර්ෂික ව ගිගාවොට් පැය 231 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිත ව ඇත. බලාගාරයේ උත්පාදනය කරන විදුලිය බදුල්ල දක්වා කිලෝමීටර 27 ක දුරක් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඔස්සේ පරිවහනය කැරේ. එහි දී විශාල වනාන්තර ප‍්‍රමාණයක් රාවණා ඇල්ල අභයභූමියෙන් ඉවත් කිරීමට සිදු වේ. එපමණක් නොව රාවණාඇල්ල අභය භූමිය දෙකඩ වීම ද මේ ව්‍යාපෘතියෙන් සිදු වේ. එය එහි ජෛව විවිධත්ව හායනයට ප‍්‍රභල ලෙස බලපෑ හැකි ය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වාරි ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කැරෙන බොහෝ ප‍්‍රදේශ, ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර බිම් ප‍්‍රදේශ වෙයි. මේ ප‍්‍රදේශවල සත්ත්ව පාලනය (එළ ගවයන් හා මී ගවයන්) බහුල ව සිදු වේ. මේ බිම් ප‍්‍රදේශ සංවර්ධනය වීමත් සමඟ ම සත්ත්ව පාලනය සඳහා ඇති බිම් ප‍්‍රදේශ සීමා සහිත වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සත්ත්ව පාලන කටයුතු රක්ෂිත වනාන්තර වෙතට යොමු වීම තවදුරටත් වැඩි වීම යි. මේ වන විට උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයන්ට ඇති ප‍්‍රධාන තර්ජනය එළ හරකුන් හා මී හරකුන් අනවසරයෙන් වනෝද්‍යාන තුළට තණ කැවීම සඳහා යොමු කිරීම යි. මේ තත්ත්ය මෙකී සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම තවදුරටත් උග‍්‍ර විය හැකි බව මහත්  ඕනෑකමින් අවධාරණය කරමු.

මේ සමස්තය පිළිබඳව අවබෝධයකින් තොරව උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් හානිපූරණය කළ නොහැකි දැවැන්ත හානිකර තත්ත්වයන් බොහොමයක් ඇති විය හැකි ය. එය හානියකින් පමණක් නතර නොවන්නේ මේ ව්‍යාපෘතිය බිලියන ගණනක මහා ධනස්කන්ඳයක් නිකරුනේ විනාශ කර දමන කිසිදු පළ ප‍්‍රයෝජනයක් නොමැති හුදු ව්‍යාපෘතියකින් පමණක් අවසන් වන නිසා ය. එපමණක් නොව අනාගත හා වත්මන් පරපුර ණයකරුවන් බවට පත්වීම පමණක් රටට අවසානයේ ඉතිරි වනු ඇත. මේ පිළිබඳව බුද්ධිමත්ව සිතා බලා විනාශයන් බොහොමයකට හේතු සාධක විය හැකි උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන මෙන් අප රටේ අනාගතය ගැන සිතන වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිමු.

No comments:

Post a Comment