vol 9



සදාහරිත කලාපය - 9

ඇතුළත.........................

  • විකාරරූපී වෘක්ෂයක සෞන්දර්යය
  • ගසකින් අසමි අල්පේච්ඡ මනුෂ්‍යත්වයේ ස්වරය
  • හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ කුණු මින්නේරිය යෝජිත රක්ෂිතයේ
  • පාට වර්ණ කොහි ගියා ද හල්මල් දණ්ඩියනේ
  • දුම්බානා කඳු මඬුලූ කරා
  • ශී‍්‍ර ලංකාව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බැහැර ලන කසළ ගොඩක් ද
  • ධරණීතලයේ හිතසුව සදන පාරිසරික හිතවතා
  • කලාඔය නිම්නයේ වාරි විස්මය
  • සමනළුන් බත්කූරන් ඇවිත් යළි පියාසැරියෙහි යෙදෙන ලෝකයක්
  • ගහවැල පුබුදා මල් පල ලන්නයි ග‍්‍රහයනි විද්‍යුත් චුම්බන දෙන්නයි
  • සුපිරි හෝටලයකට යට වන කරුකපනේ කඩොලාන වනාන්තරය
  • අඩු වන මඩු ගසේ සුලමුල
  • අන්තරායයේ මුවදොර හිඳ දැයට මෙහෙකරන බෙල්ලන්විල - අත්තිඩිය අභය භූමිය
  • සිංහරාජ මවු ඇකයට ළං වෙන්න වටා පිහිටි වනපෙත් හට ඉඩ දෙන්න
  • උලමා
  • තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන් ගේ මහ සමුළුව
  • ලෝක තෙත්බිම් දිනය...



.................................................................................................................................................................




සිංහරාජ මවු ඇකයට ළං වෙන්න 
වටා පිහිටි වනපෙත් හට ඉඩ දෙන්න !

තෙත් කලාපයේ කට්ටි කිරීමට තවමත් හසු නො වී පවත්නා විසල් වනාන්තර ඇත්තේ අල්පයකැ යි ඔබ මේ වන විටත් දැන සිටිති යි මම සිතමි. මේ කි‍්‍රයාවලියට හේතු වූයේ යටත් විජිත යුගයේ ආර්ථික බෝග වශයෙන් කෝපි, තේ, රබර්, එනසාල් වගාවන් සඳහා තෙත් වනාන්තර බොහොමයක් එළි පෙහෙළි කිරීම යි. එ සේ ම පසුකාලීන ව සීග‍්‍ර ව ජනාවාස ගොඩනැඟීමේ ප‍්‍රතිඵලයක් ලෙස ද තෙත් කලාපයේ වනාන්තර කුට්ටිකරණය වීම සිදු විණි. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් තෙත් වනාන්තරවලින් වැසී ඇත්තේ 2.14‍%ක ඉතා ම සුළු බිම් ප‍්‍රමාණයක් පමණකි. එය වර්ග කිලෝමීටර් 1415 ක් තරම් කුඩා බිම් කඩකට සීමා වී ඇත. එසේ වුව ද ලංකාවේ ජීවීන් ගෙන් අති බහුතරයක ගේ නිවහන වන්නේ තෙත් කලාපය යි. එහෙත් තෙත් වනාන්තර ලෙස පවතින බිම් ප‍්‍රමාණයෙන් ආරක්ෂිත ප‍්‍රදේශ බවට වර්තමානය වන විට පත් කර ඇත්තේ 68% ක භූමියකි. ඉතිරි තෙත් වනාන්තර සියල්ල ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොම්ෂන් සභාව සතු ව හෝ පෞද්ගලික හිමිකරුවන් සතු ව හෝ වැවිලි සංස්ථාව සතු ව හෝ පවතී. මේ වනාන්තර ඉඩම්, ඉඩම් නියමානුකූල කිරීමේ ක‍්‍රමවේදය යටතේ ආරක්ෂා කිරීම හෝ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අභය භූමි වබට පත් කර හෝ ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කාර්ය භාරයකි. 

එසේ වුව ද සිංහරාජය වැනි මහා වනාන්තර පද්ධති ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලාංකේය ජාතියක් වශයෙන් අපට නොහැකි වී ඇත. 1988 ඔක්තෝම්බර් 21 වන දින අංක 528/14 දරන ගැසට් නිවේදනය මඟින් සිංහරාජ අඩවියේ හෙක්ටයාර 11187 ක භූමි ප‍්‍රමාණයක් 1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනතට අනුව ජාතික උරුම වන භූමියක් ලෙස ප‍්‍රකාශයට පත් කැරිණි. එතැන් සිට වසර 22 ක් ඉක්ම ගොස් ඇතත් ඒ වටා ඇති ඉතිරි වනාන්තර සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට ඈඳීමට මේ වන විටත් නොහැකි වූ තත්ත්වයක අපි පසු වෙමු. 

එහෙත් ඒ සඳහා වරින් වර රුපියල් මිලියන ගණන් වැයකරමින් සැලැසුම් පමණක් සකස් කැරේ. එසේ සැකැසූ සැලැසුම් අතුරෙන් 2004 වසරේ දී ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් සැකැසූ සැලැසුම රටේ අනාගතය ගැන සිතා ගත් ඉතා හොද තීරණයකි. ඒ සැලැසුමට අනුව 2004 ජූලි 22 වන දින අංක PS/CS/26/2004 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශය මඟින් ඉල්ලා සිටින ලද්දේ සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට යා ව හෝ ඉන් කිලෝමීටර භාගයක දුර ප‍්‍රමාණය ඇතුළත පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සියලූ වනාන්තර ඉඩම්, 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරණ නීතියේ 22 (1) ඊ සහ 44 (ඒ) වගන්ති ප‍්‍රකාර ව අගය ශුන්‍ය කර වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස යි. එ සේ නිර්දේශ ලැබුණමුත් ඊට අදාළ ලිපිගොණු පරිසර අමාත්‍යාංශයේ පරිසර කළමනාකරණ අංශයේ වසර හතක කාලයක් තිස්සේ ගොඩගසා තිබේ. මේ කැබිනට් පත‍්‍රිකාව අනුව හෙක්ටයාර 2508.4 ක නොයිඳුල් වනාන්තර ඉඩම් ප‍්‍රමාණයක් සිංහරාජයට අලූතෙන් එක්කිරීමට නියමිත ව තිබේ. එහෙත් ලියකියවිලි හුවමාරුවට පමණක් මේ කි‍්‍රයාවලිය සීමා වී ඇත්තේ ය.

මේ අතරතුර ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පී. පුංචිහේවා මහතා 2011 ජුනි මස 02 වන දින අංක 15/4/22/ඇඹි/පොදු දරන ලිපිය මඟින් වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත දැනුම් දී ඇත්තේ, පවරා ගැනීමට යෝජිත ව ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වනාන්තර සිංහරාජ අඩවිය සංරක්ෂණය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලෙස ය. තව ද ඒ සඳහා ඉඩම් අත්පත් කිරීමේ වන්දිය වෙනුවෙන් මේ කොමිෂන් සභාව හිමිකම් ඉදිරිපත් කරන බව ද ඒ ලිපියේ වැඩි දුරටත් දක්වා තිබේ.

සිංහරාජයේ ඇති වටිනාකම සඳහන් කරමින් ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තමන් සතු වනාන්තර බිම් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවරීම සඳහා අත්පත් කිරීමේ වන්දි ඉල්ලා සිටීම කණගාටුවට කරුණකි. මේ සැරැසෙන්නේ වෙළෙඳාමක් කිරීමට ද නැත හොත් අප රට සතු මහාර්ඝ සම්පතක් සුරැකීමට ද යන්න ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තේරුම් ගත යුතු ය.

සිංහරාජ අඩවියේ ඉළුබකන්ද සිට සූරියකන්ද දක්වා සැකැසීම ඇරැඹූ මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් සිදු වූ හානි වාර්තා කිරීමට පත් කළ කමිටු වාර්තාවේ ද නිර්දේශ යටතේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ පවරා ගැනීමට යෝජිත ව ඇති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වනාන්තර ඉඩම්, කඩිනමින් සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතයට පැවැරීම සිදු කළ යුතු බව ය.


එසේ තිබිය දීත් මේ වන තුරු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය ඊට අදාළ කි‍්‍රයාමාර්ග කඩිනමින් ගන්නා බවක් පෙනෙන්නට නැත. මේ නිසා සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය  වටා පිහිටි අනාරක්ෂිත වනාන්තර බිම් කඩිනමින් විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් තිබේ. මෙය කිසිදු අයුරකින් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත් ව තිබීම අතිශය අන්තරාදායක ය. 

මේ නිසා ඒ වනාන්තර කඩිනමින් සිංහරාජයට ඈදීම පමණක් නො ව සිංහරාජය වටා පිහිටි අනෙක් සුවිශේෂී වනාන්තර සඳහා නිසි නෛතික රැකවරණ ලබා දී සිංහරාජය හා සම්බන්ධ කිරීමට සැලැසුම් සකස් කිරීම ද කඩිනමින් සිදු කළ යුතු ය. මොරපිටිය - රූනකන්ද යෝජිත රක්ෂිතය, දෙල්ගොඩ යෝජිත රක්ෂිතය, පනාගල යෝජිත රක්ෂිතය, වරතැල්ගොඩ යෝජිත රක්ෂිතය හා තිබ්බොටුවාව යෝජිත රක්ෂිතය යන වනාන්තර පහක් සිංහරාජය හා සම්බන්ධ ව පවතී. ජෛව විවිධත්වයේ පැවැත්ම තහවුරු කිරීම සඳහා මේ යෝජිත රක්ෂිත සියල්ල ම සිංහරාජයට සම්බන්ධ කර සමස්ත සිංහරාජ අඩවිය ම ආරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් කළ යුතු ය. එ සේ නොවනතාක් කල් සිංහරාජයේ ජෛව ප‍්‍රජාව ගේ රැකවරණය තහවුරු කළ නොහැකි වනු ඇත. 

පෙර කී සංරක්ෂණ ක‍්‍රියාමාර්ගයනට පිවිසීමෙන් අනතුරු ව සිංහරාජ අඩවිය වටා සැතැපුමක හෝ කිලෝමීටරයක පමණ පේ‍්‍රරක කලාපයක් පරිසර ආරක්ෂණ කලාපයක් ලෙස ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශයට පත් කළ යුතු ය. අධික ජීවී විවිධත්වයක් සාන්ද්‍රගත වී අති, ලංකාවට ආවේණික දුර්ලභ ජීවීන් අතිබහුතරයක් ජීවත් වන සිංහරාජ අඩවිය වටා මෙවන් පේ‍්‍රරක කලාපයක් ස්ථාපිත නොකළ හොත් ඒ වටා සිදු වන අවිධිමත් සංවර්ධන කි‍්‍රයාමාර්ග හේතුවෙන් වනයේ අති දුර්ලභ ජෛව ප‍්‍රජාවට බලපෑම් එල්ල වීම පාලනය කළ නොහැකි ය. ඒ සඳහා නිවැරැදි ප‍්‍රතිපත්තිගත තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය කඩිනමින් යොමු වනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. 

සිංහරාජ ජාතික උරුම වන රක්ෂිතය මායිමේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් පවරා ගැනීමට යෝජිත වනාන්තර බිම් ප‍්‍රමාණය
රත්නපුර දිස්ත‍්‍රික්කය
මුරකැළේ වත්ත - 50.4 ha
ෆැබ් වත්ත         - 181.3 ha
ඉළුබකන්ද වත්ත - 567 ha
මෝර්නිග්සයිඞ් වත්ත - 55.4 ha
කැන්ටර් වත්ත - 130 ha
ගේස් වත්ත - 137.5 ha
ගොන්හෙළ වත්ත - 137.9 ha
ඇබරොස් වත්ත         - 35.4 ha
බැක්වෙයා වත්ත         - 109.9 ha
කෝදුරුගල වත්ත - 99 ha
දඹහේන වත්ත - 8.6 ha
මාතර දිස්ත‍්‍රික්කය
එන්සල් වත්ත - 436 ha
කුරුලග වත්ත - 188 ha
බෙවර්ලි වත්ත - 28 ha
හේමගිරි වත්ත - 40 ha
ගාල්ල දිස්ත‍්‍රික්කය
හෝමදොළ වත්ත - 304 ha


සජීව චාමිකර











..................................................................................................................................................................



විකාරරූපී වෘක්ෂයක සෞන්දර්යය



අප‍්‍රිකාවේ තෲගා වනාන්තරයේ අපූර්ව රූස්ස ගස් රාශියකි. ඒ ”බයෝබැබ්”Baobab  ගස් ය. සැබැවින් ම මේ ගසෙහි මවුබිම වනුයේ අප‍්‍රිකා මහද්වීපය යි. අප‍්‍රිකා බන්ටු ගෝත‍්‍රිකයන් ගේ ”බුහු-බැබ්” යන බන්ටු වචනයෙන් බිදී සැකැසුණු මේ ගසේ උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඇඩම්සෝනියා ඩිජිටේටා ^Adamsonia digitata) ය.  Adams කොටස එක් වී ඇත්තේ එනමින් යුතු ජෛව විද්‍යාඥයාට උපහාර පිණිස වන අතර, ෘසටසඑ යනු ඇඟිලි සඳහා ජර්මන් භාෂාවේ යෙදෙන වචනයකි. සැබැවින් ම ගස දිග හරින ලද ඇඟිලි සහිත අල්ලක් වැනි ය. 


මේ ගස බොම්බකාසේ (Bombacaceae)  ශාක කුලයට අයත් වේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් මේ ගස හැඳින්වීමට Baobab, Cala Bash, Monkey bread tree යන නම් භාවිත වේ. Monkey bread tree ලෙසින් යොදා ඇත්තේ වදුරන් මේ ගසේ ගෙඩි කෑමට ඉතා ප‍්‍රියකරන නිසා ය. 


මුල් ඉහළට විහිදී ගිය, අතු පහළට ඇදුණු සදාකාලික ගසක් පිළිබඳ හින්දු ග‍්‍රන්ථයක් වන ”භගවත් ගීතාවේ” ද සඳහන් වී තිබේ. එකී ලක්ෂණ හා සමාන වන ගස වනුයේ මේ අප සඳහන් කරනා බයෝබැබ් ශාකය යි. මේ ගසට හිමි අපූරු පෙනුම නිසා ම අප‍්‍රිකා බන්ටු ගෝත‍්‍ර අතර, විශේෂ ජනකතා නිර්මාණය වී තිබේ. ඔවුනට අනුව මෙය ”යක්ෂයා ගේ ගසයි”. 


වනාන්තරයේ ජීවත් වන සෑම සියලූ දෙනට ම දෙවියන් විසින් සිටු වීම සඳහා විවිධ ගස් වර්ග දෙන ලදි. හයිනා නම් හිරිකිත සත්ත්වයාට සිටවීම සඳහා යක්ෂයා දුන් ගස හයිනා විසින් සිටුවනු ලැබ ඇත්තේ ගසේ මුල් ඉහළට සිටින්නට ය. ඒ බයෝබැබ් ගසේ උපත යි. 


ඒ නිසා ම මේ ගස “Up side down tree”  ලෙසින් ද හැඳින් වේ. එ සේ ම උදර කොටස බෝතල් හැඩයෙන් නිර්මාණය වී පවතින නිසා එයට Bottle tree යනුවෙන් ද ව්‍යවහාර කැරේ.    
  
මේ ලක්ෂණවලට සමාන රුවකින් යුත් ගස් අප රටේ ද තිබේ. පත‍්‍ර සියල්ල හැළී ගිය විට එවැනි පෙනුමක් දිස් වේ. මේ ගස් පිහිටා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ වයඹ දිග ශුෂ්ක කලාපයේ ය. මන්නාරමේ සිට පේසාලේ හරහා තලෙයිමන්නාරමට ගමන් කරන A14  මාර්ගයේ මේ ගස් අදත් දක්නට ඉතිරි ව තිබේ. 

ප‍්‍රධාන මාර්ගයට ඉතා ම ආසන්නයේ, මඳක් ඇතුළට වන්නට පිහිටි ”මන්නාරම් බයෝබැබ් ගස” මධ්‍යයේ විශාල කුහරයක් ද සහිත ව අපූර්වාකාරයෙන් දක්නට ලැබේ. ඩෙල්ෆ් දූපතේ ද, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ද, කලා වැව නිම්නයේ ගෙඟ් වාඩිය නම් ගම්මානයේ ද මේ විශාල ගස් ඉතිරි ව තිබෙන බව කියැ වේ. 


මන්නාරම් දූපතේ ”පල්ලිමුනායි දූපතේ” අවුරුදු 800 කට වඩා වයසින් පැරැුණි යැයි විශ්වාස කරන බයෝබැබ් ගසක් තිබේ. අපේ රටට මේ ගස් පැමිණියේ අතීතයේ වෙළෙඳාම සඳහා පැමිණි අරාබි වෙළෙඳුන් ගෙන් බැව් විශ්වාස කැරේ. එමෙන් ම ඉන්දියාවේ ද, ටැන්සානියාවේ ද මෙවැනි විශාල බයෝබැබ් ගස් ඉතිරි ව තිබේ. 


සමහර ප‍්‍රදේශවල ජනයා මේ ගස ”අලි ගස” ලෙසට ද හඳුන්වති. එ සේ හඳුන්වන්නට ඇත්තේ අලියකු ගේ පිට වැනි ඝන පොත්තකින් ඒ ගස ආවරණය වී තිබෙන නිසා විය හැකි ය. තව ද මේ ගස් වර්ගයට ඇත්තේ අපූර්ව පෙනුමකි. ගසේ උසට නොගැළපෙන පරිදි කඳ ප‍්‍රදේශය මහත් ය. තුරු වියන මීටර 50 - 60 ක් පමණ ප‍්‍රමාණයක් වන සේ විහිදේ. අතු විශාල ය. ගසේ උස උපරිමය මීටර විස්සක් විසිපහක් පමණ වේ. 


මේ ගසට ම ආවේණික අපූරු භයංකර ස්වරූපය ඇති වන්නේ පත‍්‍ර වියළී හැළී ගිය පසු ව ය. එවිට ගස බිමට ඇන මුල් උඩට එසැ වී ඇති ආකාරයකින් දර්ශනය වේ. මෙය මාස හයක පමණ කාලයක් කොළ නොමැති වියළි ගසක් ආකාරයෙන් පවතින්නේ ය. ”කොළ හැළී ගිය අලි ගසක් තරම් විරූපී ගසක් තවත් ලොව දක්නට නැතැයි” Aristocrats of the trees  ලියූ අර්නස්ට් එම්. විල්සන් සඳහන් කර තිබෙන්නේ ද මෙ නිසා ම විය හැකි ය. 



අප‍්‍රිකා සංචාරයක යෙදුණු සුප‍්‍රකට දේශ ගවේශකයකු වූ ”ලිවින්ස්ටන්” ”අලි ගස ලෝකයේ අටවන පුදුමය” ලෙස සඳහන් කරයි. මේ ගසේ පත‍්‍ර තද කොළ පැහැති ය. ඒවා වකුගඩු රෝගීන් සඳහා ඖෂධයක් ලෙසින් ද යොදා ගැනේ. ආහාර රසකාරකයක් ලෙසින් ද මේ කොළ අඹරා කුඩු කර යොදා ගත හැකි ය. 


ඔක්තෝබර් මාසයේ දී පමණ මේ බයෝබැබ් ගස්වල මල් හටගැනීම පටන් ගනී. ඒ මල් සුදු පැහැති ය. ගස මෙන් ම මල් ද විශාලත්වයෙන් වැඩි අතර, මල් පිපෙන්නේ රාත‍්‍රියේ දී ය. මල් පොහාට්ටුව ගෝලාකාර හැඩයක් ගන්නා අතර පැයක් පමණ සුළු කාලයක දී පොහොට්ටුව මලක් බවට පත් වේ. රැුයේ පිපෙන මල උදෑසන වන විට පර වී යයි. පිපෙනා අතරතුරේ දී මලෙන් මිහිරි සුවඳක් හමන අතර පරවුණු විට දුගඳ හමයි. 


අලි ගසේ ගෙඩි මිනිසාට ඉතා ප‍්‍රයෝජනවත් ය. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ ගෙඩිවලට ”වඳුරු දෙල්” Monkey Bread  යැයි කියති. ගෙඩියේ ස්වරූපය විශාල පුහුල් ගෙඩියක් වැනි ය. දෙසැම්බර් මාසයේ දී පමණ ගෙඩි හටගැනීමට පටන් ගනී. අප‍්‍රිකා වැසියෝ මේ ගෙඩි පානයක් ආකාරයෙන් රසවත් ව සකසා ආහාරයට ගනිති. එ සේ ම ඔවුහු මේ විශාල බයෝබැබ් ගසේ කඳ හාරා කුහර සාදා, ඒවා නිවෙස් ලෙස පාවිච්චියට ගනිති. සමහරු මේ ගසේ ඉහළින් හාරා ජල ටැංකි ලෙස සාදා ගනිති. එ සේ ම ගසේ පොත්තෙන් කෙඳි රැුගෙන එමඟින් කඹ සෑදීම, මාළු දැල් සෑදීම, ගෝනි සෑදීම ආදිය සිදු කරති. ගසේ මතුපිට පොත්ත දළ පිළියක් ලෙසින් ද සකසා භාවිතයට ගන්නා අතර ම, හම් පදම් කිරීම සඳහා ද යුෂ යොදා ගනිති. 


බයෝබැබ් ගස විනාශ කිරීම ඉතා අපහසු කාර්යයකි. එ සේ වන්නේ  ඕනෑ ම අන්තරායකට ඔරොත්තුදීමේ හැකියාව මේ ගසට ඇති බැවිනි. කඳ සිදුරු කිරීමෙන් හෝ පොතු ආවරණය ඉවත් කිරීමෙන් කිසිදා ගස මැරිය නොහැකි ය. එ සේ ම මේ සුවිශේෂී ගසට ගින්නෙන්, ගංවතුරෙන්, කුණාටු ආදියෙන් ද පීඩාවක් කළ නොහැකි ය. ඒ සියල්ලට ම මුහුණ දීමේ ශක්තිය ගසට ස්වභාව ධර්මයෙන් ම උරුමකර දී තිබේ. ගසට හිමි තවත් විශේෂත්වයක් නම් එහි මුල්වලට ජලය සොයා පොළොවේ මීටර සිය ගණන් දුරට වුවත් ගමන් කිරීමේ හැකියාව තිබීම යි. දැඩි නියං කාලයන්හි දී ආහාර සහ ජලය සොයා යන අලි ඇතුනට ආහාරයක් වන්නේ අලි ගසේ සවිමත් පොත්ත යි. 


මේ බයෝබැබ් ගස්වල වයස නිශ්චිත ව පැවැසීමට ශාක විද්‍යාඥයන් සමත් වන අතර, මේ ගස ඔවුන් ලෝකයේ දුර්ලභ විශේෂ ශාකයක් ලෙස හඳුනා ගෙන තිබේ. ශ‍්‍රී ලංකාවේ ද මේ ගස් දුර්ලභ වන නිසා ම ආරක්ෂිත ශාකයක් ලෙසින් නම් කර තිබේ. එනිසා ම ”යක්ෂ ගසක්” වුවත්, ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන ”බයෝබැබ් ශාකය” මතු පරම්පරාව ගේ දැකීම සහ දැනුම සඳහා වර්තමාන පරම්පරාව විසින් රැකදෙනු ලැබිය යුතු ව තිබේ. 


මධුරි ද සේරම්



..................................................................................................................................................................





ලෝක තෙත්බිම් දිනය

වර්ෂ 1971 පෙබරවාරි මස දෙවන දින රැම්සාර් සම්මුතිය අත්සන් තැබීම සිහිපත් කරමින් 1997 වසරේ සිට සෑම වසරක ම පෙබරවාරි දෙවන දා ලෝක තෙත්බිම් දිනය සැමැරේ. රැම්සාර් ලෝක සම්මුතියේ ආරම්භය වසර 41 ක් ඈතට දිව ගිය ද මෙවර සැමැරෙන්නේ 16 වන වතාවට ය. මෙය දැනට ක‍්‍රියාත්මක ව පවතින පැරැණිතම නූතන අන්තර්ජාතික එකඟතාව යි. 1960 දශකයේ මුල් භාගයේ දී යුරෝපයේ තෙත්බිම් ශීඝ‍්‍ර වශයෙන් අඩු වී යෑමත් ඒ අනුව ජලාශ‍්‍රිත පක්ෂීන් වඳ වී යෑමත් නිසා තෙත්බිම් සම්බන්ධ අන්තර්ජාතික සමුළුවක අවශ්‍යතාව පැන නැඟිණි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1971 පෙබරවාරි දෙවන දින ජාතීන් දහ අටක ගේ සහභාගීත්වයෙන් මේ සම්මුතියට අත්සන් තැබිණු අතර 1975 වසරේ සිට රැම්සාර් සම්මුතිය බලාත්මක විය. 

ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අන්තර්ජාතික සහයෝගීතා මඟින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම ද නැණවත් ව භාවිත කිරීම රැම්සාර් සම්මුතියේ පරමාර්ථය වේ. තව ද, තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පරිසර පද්ධති කෙරෙහි හිතකර ප‍්‍රවේශයක් දරමින් තෙත්බිම්වල පරිසර විද්‍යාත්මක ලක්ෂණ හා ගුණාත්මක භාවය රැකගැනීම යනුවෙන් අර්ථ දැක්වෙන ”නැණවත් භාවිතය” කේන්ද්‍ර කොටගත් චින්තනයක් මේ සම්මුතිය දරයි. දැනට මේ සම්මුතියට ජාතීන් 160 ක් අත්සන් තබා ඇති අතර, හෙක්ටයාර 190,546 ක ක්ෂේත‍්‍ර ඵලයක පැතිරුණු රැම්සාර් තෙත්බිම් 1968 ක් ප‍්‍රකාශයට පත් කර ඇත. 

1987 වසරේ රැම්සාර් ප‍්‍රඥප්තියට ශ‍්‍රී ලංකාව අත්සන් තබන ලද අතර, එය බලාත්මක වූයේ 1990 ඔක්තෝබර් 15 වන දින සිට ය. 1990 ජුනි 15 වන දින ලංකාවේ ප‍්‍රථම රැම්සාර් තෙත්බිම ලෙස දකුණු පළාතේ බුන්දල ජාතික වනෝද්‍යානය නම් කරන ලදී. ලංකාවේ දෙවන රැම්සාර් තෙත්බිම වයඹ පළාතේ ආනවිලූන්දාව අභයභූමිය යි. එය 2001 අගෝස්තු මස 03 වන දින ප‍්‍රකාශයට පත් කළ අතර, දකුණු පළාතේ මාදුගඟ අභයභූමිය 2003 දෙසැම්බර් 11 වන දින ලංකාවේ තුන් වන රැම්සාර් තෙත්බිම ලෙස නම් කරන ලදී. ලංකාවේ සිවු වන රැම්සාර් තෙත්බිම ලෙස 2010 ජූලි 12 වන දින මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභයභූමිය ද ලංකාවේ පස් වන රැම්සාර් තෙත්බිම ලෙස අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමන ජාතික වනෝද්‍යානය 2010 ඔක්තෝබර් 29 වන දින ප‍්‍රකාශයට පත් කර ඇත.

තෙත්බිම් පරිසර පද්ධති ලොව පුරා සියලූ දෙනට ඩොලර් මිලියන ගණනාවක් වටිනා සේවාවන් කිසිදු අය කිරීමකින් තොර ව නොමිලයේ සපයයි. ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම, භූ ජලය ප‍්‍රතිස්ථාපනය කිරීම, වෙරළ තීරය ස්ථායී ව පවත්වා ගැනීම හා කුණාටුවලින් ආරක්ෂා කිරීම, අවසාදිත හා පෝෂක ධාරණය හා චක‍්‍රීයකරණය, ජල පවිත‍්‍රකරණය, ජෛව විවිධත්ව සංචිත වශයෙන් කටයුතු කිරීම, තෙත්බිම් නිෂ්පාදන සැපැයීම, සංස්කෘතික වැදගත්කම, විනෝද ක‍්‍රියා හා සංචාරක කටයුතු සහ දේශගුණික විපර්යාස ලිහිල් කිරීම හා අනුවර්තනය වීම ආදිය මේ සේවාවන් අතර වේ. ලොව පස් දෙනකු ගෙන් එක් අයකුට පිරිසිදු ජලය වෙත ප‍්‍රවේශය නොමැති වුව ද බිලියන 1.4 ක් ජීවත් වන්නේ ජල භාවිතය තිරසර මට්ටම ඉක්මවා ඇති ජල ද්‍රෝණිවල ය. තවදුරටත්, දුර්වල කළමනාකරණ උපක‍්‍රම මඟින් තෙත්බිම් පරිසර පද්ධතීන්හි ගුණාත්මක භාවයට හානි වීම නිසා සෞඛ්‍ය ගැටලූ ඇති වේ. මේ ආකාරයෙන් තෙත්බිම් හා බැඳුණු රෝගාබාධ හේතුවෙන් වසරකට මිලියන තුනක ජනතාවක් පීඩා විඳිති. ස්වාභාවික තෙත්බිම් මඟින් සිදු කැරෙන සේවාවන්, ඒවා සංවර්ධනය කොට ලැබිය හැකි ආදායම හෝ ලාභයට වඩා ඉතා විශාල වටිනාකමක් දරයි. එ සේ වුව ද කෙටිකාලීන පෞද්ගලික අංශයේ ලාභ ලබාගැනීම උදෙසා ලොව නොයෙකුත් ප‍්‍රදේශවල තෙත්බිම් විනාශ කැරේ. 

මෙවර තෙත්බිම් දිනයේ තේමාව වශයෙන් යෙදී ඇත්තේ ‘තෙත්බිම් හා සංචාරක කර්මාන්තය’ යන්න යි. සංචාරක කර්මාන්තය හේතුවෙන් බොහෝ විට පරිසර පද්ධතීන්ට හානි සිදු වෙයි. එහෙක් පරිසර හිතකාමී ආකාරයෙන් සංචාරක කටයුතු සිදු කිරීම මඟින් හානි සිදු වනු වෙනුවට පරිසර පද්ධතිය නිකැළැල් ව පවත්වා ගත හැකි වේ. ඒ සඳහා සංචාරක කර්මාන්තය උපකාර කරගත හැකි වේ. 2010 වර්ෂයේ අන්තර්ජාතික සංචාරකයන් සංඛ්‍යාව මිලියන 940 ක් වූ අතර 2020 වන විට මෙය බිලියන 1.6 ක් දක්වා ඉහළ යෑමට අපේක්ෂිත ය. ගෝලීය ව සංචාරක හා චාරිකා කටයුතු මඟින් 5% ක දළ ජාතික නිෂ්පාදනයක් හා රැකියාවන් ගෙන් 6% ත් 7% ත් අතර ප‍්‍රමාණයක් ජනනය කරයි. අන්තර්ජාතික සංචාරකයන් ගෙන් අඩක් ම තෙත්බිම් ආශි‍්‍රත ව සංචාරය කරන අතර, වසරකට තෙත්බිම් සංචාරක කර්මාන්තය වෙනුවෙන් ගෝලීය ව ඇමෙරිකා ඩොලර් මිලියන 925 ක් වැය වන බවට ගණන් බලා ඇත. අභ්‍යන්තර සංචාරක කටයුතු හා විනෝද චාරිකා ද ගත් විට තෙත්බිම් ආශ‍්‍රිත සංචාරක කර්මාන්තය විශාල ආර්ථික වටිනාකමක් දරයි. මේ අනුව, සංචාරක කර්මාන්තය හා තෙත්බිම් ඉතා සමීප ව බැඳී පවතී. සංචාරක කර්මාන්තය තෙත්බිම් මඟින් සපයන තවත් පරිසර සේවාවක් වන බැවින් එය යහපත් ආකාරයෙන් යොදා ගනිමින් තෙත්බිම් සුරක්ෂිත ව තබා ගත හොත් එකී කර්මාන්තය මෙන් ම අනෙකුත් සේවාවන් ද තිරසර ව පවත්වා ගත හැකි වේ. 

සංචාරක කටයුතු හොඳින් කළමනාකරණය කර ගනිමින් සැලැකිය යුතු අන්දමේ ප‍්‍රතිලාභ ප‍්‍රජා හා ජාතික මට්ටමින් ලබාගත හැකි ය. ජාතික මට්ටමින් මේ කටයුතු මඟින් විශාල ආදායමක් ඉපැයීමේ හැකියාව ඇතිවාක් මෙන් ම අවට ප‍්‍රජාවට එමඟින් රැකියාවන් ද හිමි වේ. තවදුරටත් මේ ආදායම් තෙත්බිම් සංරක්ෂණය කිරීම සහ එහි ස්වාභාවික හා සංස්කෘතික වටිනාකම රැකගැනීම වැනි කටයුතු සඳහා ඍජු ව ම යොදා ගැනීම මඟින් තෙත්බිම් සඳහා ද වාසි සැලැසේ.  

අදාළ තෙත්බිමේ වැදගත්කමත්, එය රැකගැනීම වෙනුවෙන් සංචාරකයන්ට කළ හැකි දේ පිළිබඳ වත් සංචාරක කටයුතු මඟින් පරිසර පද්ධති වෙත සිදුවන බලපෑම් අවම කර ගත හැකි ආකාරය පිළිබඳ වත් දේශීය මඟ පෙන්වන්නන් හා සංචාරක මෙහෙයුම්කරුවන් දැනුම්වත් කළ හැකි ය. පුහුණු කිරීම මඟින් ඔවුන් ගේ කටයුතු පරිසර හිතකාමී අන්දමින් සංවිධානය කරගත හැකි මට්ටමට ගෙන ආ හැකි ය. තවදුරටත්, අදාළ තෙත්බිමේ වටිනාකම හා එය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳ පත‍්‍රිකා හා අත් පත‍්‍රිකා සංචාරකයන්ට බෙදා දීම ද වැදගත් ය. 

තව ද රාජ්‍ය නොවන සංවිධාන සමඟ හවුල් වී කටයුතු කිරීම මඟින් සංචාරක කටයුතු වඩාත් හොඳින් කළමනාකරණය කිරීමටත් තිරසර ව කර ගෙන යෑමටත් අවශ්‍ය ප‍්‍රවීණත්වය ලබාගත හැකි ය. මේ මඟින් තානායම් හා සංචාරකයන් සඳහා ගෘහාශ‍්‍රිත ව නවාතැන් පහසුකම් සැලැසීම(Home stay)  ප‍්‍රවර්ධනය කරමින් ප‍්‍රජාවට එවැනි ක‍්‍රියා මඟින් වාසි ලබාගත හැකි වන සේ ඔවුන් ගේ කුසලතා වර්ධනය කර ගැනීමට ද අවස්ථා උදා කළ හැකි ය. 

තෙත්බිම්වල සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කරන අතරතුර ඒවායේ ජෛව විවිධත්වය සුරැකීම හා තහවුරු කිරීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග රැසකි. සියලූ ම ඝන අපද්‍රව්‍ය හා දියර තත්ත්වයේ අපද්‍රව්‍ය සුදුසු ආකාරයෙන් පිරියම් කර ජෛව විවිධත්වයට හානි නොවන ආකාරයෙන් ඒවා ඉවත ලිය යුතු අතර, විස රසායන ද්‍රව්‍ය, පොහොර හා පළිබෝධ නාශක භාවිතය අවම කළ යුතු ය. සංචාරක කටයුතු සඳහා භාවිත කරන ආහාර ද්‍රව්‍ය තිරසර ව කළමනාකරණය කරන ප‍්‍රභවවලින් ලබා ගැනීම ද, අනුග‍්‍රාහකත්ව හා ස්වේච්ඡුා පරිත්‍යාග වැනි මූල්‍ය දායකත්ව මඟින් ද වෙනත් ප‍්‍රායෝගික ක‍්‍රියා මඟින් ද ජෛව විවිධත්වය රැකගැනීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් නොයෙකුත් පියවර ගැනීම ද, අත්‍යවශ්‍ය ය. සංචාරක කටයුතු මඟින් දේශීය නොවන විශේෂ හඳුන්වාදීම වැලැක්වීම මඟින් ද, තර්ජනයට ලක් වූ හෝ අන්තරායයට ලක් වූ විශේෂවලට සංචාරක කටයුතු මඟින් තර්ජන එල්ල නොවන බවටත් ඔවුන් සැපැයුම් දාමවලට අනුගත නොවීමටත් වග බලා ගත යුතු ය. සංචාරක අංශයේ සන්නිවේදන කටයුතු හා අලෙවිකරණ හැකියාව ම`ගින් ජෛව විවිධත්ව වටිනාකම පිළිබඳ ව ද එය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන්ට කළ හැකි දේ පිළිබඳ ව ද දැනුම්වත් කළ හැකි ය. එමඟින් සංචාරක කටයුතු, තෙත්බිම් සුරැකීම උදෙසා උපයෝගී කරගත හැකි ය.  

සංචාරක කර්මාන්තයේ අහිතකර ප‍්‍රතිඵල අපට ඉතා හොඳින් හුරු පුරුදු ය. සංචාරක කර්මාන්තයේ ශීඝ‍්‍ර වර්ධනය තෙත්බිම් ඇතුළු පරිසර පද්ධතිවලට ද, ඒවායේ ස්වාභාවික හා සංස්කෘතික ආකර්ෂණයන්ට විශාල පීඩනයක් ඇති කරයි. සංචාරක යටිතල ව්‍යූහ සංවර්ධනයත් සමඟ තෙත්බිම්, විශේෂයෙන් ම වෙරළාශ‍්‍රිත තෙත්බිම් උග‍්‍ර තර්ජනයන්ට මුහුණ දේ. ප‍්‍රමාණවත් පාලනයකින් තොර ව ක‍්‍රියාත්මක වූ විට තෙත්බිම් වාසස්ථාන සතුන් හා ශාකවලට සංචාරක ව්‍යාපාරය මඟින් දැඩි තර්ජන එල්ල වේ. කිමිදුම් බෝට්ටු හැසිරවීමේ දුර්වලතා, නිසි පුහුණුවක් නොලත් කිමිදුම්කරුවන් හා කිමිදුම් මෙහෙයවන්නන් මෙන් ම පමණට වඩා පෑගීමට ලක් වීම හා අභිජනනයේ යෙදෙන පක්ෂි ගහනවලට බාධා පැමිණවීම ඉන් කිහිපයකි. තව ද, ස්ථානීය ප‍්‍රජාව තෙත්බිම් සංචාරක කටයුතුවලින් බැහැර කිරීම මඟින් ඔවුන් ගේ ජීවිකාවන් අහිමි වේ. තෙත්බිම් රැකගැනීම හා කළමනාකරණය කිරීමේ ප‍්‍රධානතම වගකීම දරන, එමෙන් ම තෙත්බිම් මත යැපෙන දේශීය ප‍්‍රජාවට කිසිදු ලාභයක් නොමැති ව ජාතික හා අන්තර්ජාතික සංචාරක ව්‍යාපාරවලට සැලැකිය යුතු ප‍්‍රතිලාභ ලබාදුන් අවස්ථා එමට ය. එමෙන් ම තෙත්බිම්වලින් බැහැර ව සිදු කැරෙන සංචාරක කටයුතු ද තෙත්බිම්වලට අහිතකර අන්දමින් බලපායි. තෙත්බිම්වල ජල සැපැයුමට බාධා වන ආකාරයේ ගංගා ආදියෙන් සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපැයීමට මෙන් ම පානීය ජලය සඳහා ජලය ලබා ගැනීම නිසා ද මත්ස්‍යයන් හා අනෙකුත් ජලජ ජීවීන් සංචාරක හෝටල්වලට ආහාර පිණිස පමණට වඩා ලබා ගැනීම හා අපද්‍රව්‍ය බැහැර කිරීමේ දුර්වලතා ද අපසන්දන ඍජු ව තෙත්බිම් වෙතට බැහැර කිරීම ද මේ අතර වේ. 

කෙසේ වුව ද, කෙටිකාලීන පෞද්ගලික අංශයේ ලාභ වෙනුවෙන් ලොව බොහොමයක් තෙත්බිම් විනාශ වෙයි. මීට එක් හේතුවක් වන්නේ තෙත්බිම් යථා ස්වභාවයෙන් පවත්වා ගැනීමේ වටිනාකම ඔප්පු කිරීම සඳහා ආර්ථික දත්ත නොමැති විම ය. එහෙත් මේ තත්ත්ව දැන් දැන් වෙනස් වෙමින් පවතී. තෙත්බිම්වල ඇති ආර්ථික වැදගත්කම පිළිබඳ ව දිනෙන් දින වැටහී යෑමත් සමඟ සමහර රටවල් තත්ත්වයෙන් පහත වැටුණු තෙත්බිම් ප‍්‍රතිස්ථාපනය කිරීම සඳහා සැලැකිය යුතු අන්දමින් වියදම් කිරීමට  පවා පෙලැඹී ඇත. 

සංචාරක කර්මාන්තය තිරසර ව කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන, ඉඩම් භාවිත සැලසුම්කරණය හා සම්බන්ධ සංවිධාන, සංචාරක මෙහෙයවන්නන්, දේශීය ප‍්‍රජාව ආදී අදාළ පාර්ශ්ව හා එක් ව කාර්යක්ෂම ව කටයුතු කළ යුතු ය. තෙත්බිම් සංචාරක කර්මාන්තය නිවැරැුදි ව කළමනාකරණය කිරීම සඳහා මේ ඉලක්ක කණ්ඩායම් අතර යහපත් සම්බන්ධතාවක් හා අවබෝධයක් ඇති කිරීම ඉතා ම වැදගත් ය. මෙවර තෙත්බිම් දිනයේ තේමාවට අදාළ ව සියලූ ම මට්ටම්වල ප‍්‍රතිපත්ති තීරකයන් තෙත්බිම් සංචාරක ප‍්‍රතිපත්ති හා සැලැසුම් සමඟ අනුගත කිරීමේ හා දේශීය ප‍්‍රජාව මේ සංචාරක කටයුතු මඟින් ප‍්‍රතිලාභ ලබාගත හැකි අන්දමේ කුසලතා ලබා දීමේ ඇති වැදගත්කම සාකච්ඡුා කිරීමට අපේක්ෂිත ය. සංචාරක කර්මාන්තයේ අහිතකර ප‍්‍රතිඵල පාලනය කර එය හිතකර අන්දමින් යොදා ගැනීම මඟින් මූල්‍ය ප‍්‍රතිලාභ පමණක් නො ව තෙත්බිම් සුරක්ෂිත කිරීමට ද සංචාරක කටයුතු සහය කරගත හැකි ය. ගෝලීය ව සියලූ රටවල් මේ සඳහා එක් ව කටයුතු කිරීම මඟින් දේශගුණ විපර්යාසවල ප‍්‍රතිවිපාක අවම කර ගැනීමටත් ජල ප‍්‍රභව වෙත එල්ල වන පීඩනය අඩු කර ගැනීමටත් හැකි වනු ඇත.  

රැම්සා ප‍්‍රඥප්තියට අනුව තෙත් බිමක් යනු

ස්වාභාවිකව හෝ කෘත‍්‍රිම, ස්ථිර හෝ තාවකාලික, නිසල හෝ ගලා බසිනා ජලය ඇති, මිරිදිය, කලපු හෝ ලවණ ජලය ඇති වගුරු බිම් හෝ මුළුමනින් ම ජලයෙන් වැසුණු බිම් හා බාදිය අවස්ථාවන්හි දී මීටර් 06 කට වැඩි නො වූ සාගර බිම් තෙත්බිම් වශයෙන් හැඳින්වේ.

1998 වසරේ සිට 2011 වසර දක්වා ලෝක තෙත් බිම් දිනයන්හි තේමාවන්
1997 - තෙත්බිම් ජීවයේ උල්පතයි
1998 - තෙත්බිම් සඳහා ජලය, ජලය සඳහා තෙත්බිම්
1999 - ප‍්‍රජාව තෙත්බිම් අතර සබැඳියාව
2000 - අන්තර්ජාතික වැදගත්කමක් ඇති තෙත්බිම් සුරකිමු
2001 - තෙත්බිම් ලෝකය හඳුනාගනිමු
2002 - තෙත්බිම්, ජලය, ජීවිතය හා සංස්කෘතිය
2003 - තෙත්බිම් නොමැතිනම් ජලයත් නොමැත
2004 - තෙත්බිම් - කඳු මුදුනේ සිට මහ සයුර වෙත
2005 - තෙත්බිමේ ජෛව උරුමය හා සංස්කෘතිය
2006 - දිළිඳුකම පිටු දැකීමට තෙත්බිම් සුරකිමු
2007 - හෙට දිනට මත්ස්‍ය සම්පත
2008 - සෞඛ්‍ය සම්පන්න තෙත්බිම් හා සෞඛ්‍ය සම්පන්න මිනිස්සු 
2009 - ඉහළ ගංඟාධාර හා පහළ ගංඟාධාර අප සියල්ල එක් කරයි
2010 - තෙත්බිම් සුරකිමු, දේශගුණ විපර්යාස පිටුදකිමු
2011 - ජලය හා තෙත් බිම් සඳහා වනාන්තර

සමර්ථා හරිස්චන්ද්‍ර  


  











No comments:

Post a Comment