vol 4





සදාහරිත කලාපය - 4

ඇතුළත.........................




  • සෝමාවතිය ඊනියා සංවර්ධනයේ දඩබිමක් 
  • නේවාසිකයකු වූ සාංක්‍රමණික කුරුල්ලා
  • කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ගඩයාට දැඩි තර්ජන
  • රක්ෂිත භාවයේ උරුමය අහිමි වූ ඉදිකඩ මූකලාන 
  • ආකර්ෂණීය ඇසුරුම්වල එන ජරා ව්‍යාධි මරණ 
  • කෘෂිරසායනික ජාවාරමේ නිහඩ ත්‍රස්තවාදය
  • මහ ගල් වැලිගොව්වා පාහිංගලින් සමුගනී
  • පරිසරය සුරැකුමට අන්තරීක්ෂ ශක්තිය
  • ශ්‍රී ලංකාවට රත්නයක් වූ  ස්විස් ජාතික පරිසරවේදියාණෝ
  • පාසානම් විසට එරෙහිව කරවිල
  • උගුල්ගල පා මුල
  • පරිණාම දහමට නතු වූ රන් හෝතඹුවෝ
  • කාබනික ගොවි සිරිතදැයේ හිත සුව පිණිස
  • හරිත විප්ලවයේ ලේ ගලන ගොදුරුබිම්
  • Y=kH;djdoh ද නොහොත් සාපේක්ෂතාවාදය ද
  • පටපිළිකන්දේ අනවසර හෝටල් ව්‍යාපෘතිය පිළිබඳ අධිකරණ තීන්දුව
  • කටුපොල් වගාවෙන් ඇරැඹෙන  නව යටත් විජිත යුගය


.............................................................................................................................................................................................................................................




පරිසරය සුරැකුමට

අන්තරීක්ෂ ශක්තිය 






අද ලෝකය තවදුරටත් තනි තනි විෂයයන් සමූහයක් ලෙස විග‍්‍රහ කර ගත නො හැකි ය. ඒ මන්දයත් ඒ ඒ විෂයයන් අතර, අන්‍යොන්‍ය සම්බන්ධය ඉතා නිරවුල් ව සනාථ වී ඇති බැවිනි. මෙරට පැරැණි ජාතික සම්ප‍්‍රදායය වූ සමෝධානීය විෂය අධ්‍යයනය වෙත යෑමට බටහිර ලෝකය ද අද ඇරියුම් කර සිටියි. 

මේ පදනම මත සිට වාස්තු විද්‍යාවත් පරිසරයත් පිළිබඳ සැකෙවි විමැසුමක් කිරීමට මෙහි දී අපි අපේක්ෂා කරමු. ඒ විමැසුම එකිනෙක හා සම්බන්ධ කළ හැකි හොඳ ම අතරමැදියා ලෙස අප විශ්වාස කරන්නේ අන්තරීක්ෂ(Cosmic)  ශක්තිය යි. මෙකී අන්තරීක්ෂ ශක්තිය අපේ රටේ ජනප‍්‍රිය වී ඇත්තේ ද හෑල්ලූ වී ඇත්තේ ද විශ්ව ශක්තිය යන නමිනි. 

එසේ නම් ආරම්භයක් හැටියට අපි විශ්ව ශක්තිය මඳක් හඳුනාගනිමු. අවකාශයේ ඉතා ඈතක සිට ශක්තිය ක්ෂය කර නො ගනිමින් අප වෙත එන මේ ශක්ති විශේෂය අනෙක් සියලූ ශක්තීන් හා පදාර්ථයන් කෙරෙහි ආශිර්වාදයක් මෙන් ම වරප‍්‍රසාද ගෙන එන්නා වූ බලවේගයක් ලෙස හඳුන්වා දිය හැකි යි. 

බටහිර භෞතික විද්‍යාව විසින් අපට උගන්වන රසායනික, චුම්භක, විද්‍යුත්, චාලක ආදී ශක්තීන් සතු සියලූ හැකියාවන් හා එයට අමතර හැකියාවන් ද මෙකී අන්තරීක්ෂ ශක්තියට අති බව පෙන්නා දිය හැකි යි. වෙසෙසින් ම අනෙක් සියලූ ම ශක්තීන්ට වඩා වේගයෙන් හා සියුම්වත්, සරලවත් වෙනත් ශක්තීන් උත්පාදනය කිරීමේ ශක්තිය මෙකී අන්තරීක්ෂ ශක්තියට ඇති බැවින් කෙතරම් හැල්ලූ වුවත් මෙය විශ්ව ශක්තිය ලෙස ම හඳුන්වාදීම වඩාත් උචිත වන්නේ ය. 

වාස්තු විද්‍යාව සමහරු ගෘහ නිර්මාණ ශිල්පය ලෙස සිතා සිටිති. එයට හේතුව පැරැණි ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාව සමඟ එවැනි තදබල බැඳීමක් පවත්වා ගෙන ගොස් තිබීම වන්නට පිළිවන. එහෙත් නූතන ගෘහ නිර්මාණ ශිල්පය හුදු පදාර්ථ කළමනාකරණයක් බවට පත් ව ඇති අලංකරණ භාවිතයක් බැවින් එහි පෙර පැවැති ශක්ති කළමනාකරණ විධික‍්‍රමය වන වාස්තු විද්‍යාව එයින් ඉවත් වී තිබේ. අවසානයේ ගෘහ නිර්මාණ ශිල්පය භෞතික වූ ක‍්‍රියාවලියකට කොටු වීම නිසා අද අපට වාස්තු විද්‍යාව ගෘහ නිර්මාණ ශිල්පයෙන් වියුක්ත විෂයයක් ලෙස අධ්‍යයනය කිරීමට සිදු වී තිබේ. 

නූතන ශක්ති විශ්ලේෂණ අර්ථයෙන් සාම්ප‍්‍රදායික වාස්තු විද්‍යාව තුලනාත්මක ව හැදෑරීමේ දී අපට පසක් වන්නේ යම් ගෘහයකට හෝ ස්ථානයකට අන්තරීක්ෂ ශක්තිය සම්බන්ධ නො වන්නේ නම් එතැන යම් දෝෂයක් පවත්නා බව යි. එය ස්ථානයකට මෙන් ම යම් භෞතික වස්තුවකට පමණක් නො ව පුද්ගලයකු සඳහා ද ඉඳුරා ම අදාළ බව පෙන්වා දිය හැකි ය. මෙය පෙර මෙන් විශ්වාසය ඇසුරෙන් පමණක් නො ව විවිධ උපකරණ ඔස්සේ ද පහසුවෙන් පෙන්වා දිය හැකි ය. 

අපේ රටේ වාස්තු විද්‍යාවේ දී මෑතක සිට භාවිත කරන ”විශ්ව ශක්ති සංවේදකය” නම් උපකරණයත්, සරල අවලම්භය (Pendulum)  නම් උපකරණයත් මෙකී විශ්ව ශක්ති චරණය පිළිබඳ විමැසීමේ දීත් එහි ගතිකය විමසීමේ දීත් මනා සහායක් වන බව කිය යුතු ව ඇත.   

අන්තරීක්ෂ ශක්තිය පරිසරයට බලපාන බව පෙන්වා දීමත් අද නූතන ශිල්පීය දැනුමට අසීරු කටයුත්තක් නො වේ. පරිසරය වැනැසී  යන බිහිසුණු මොහොතක පවා අන්තරීක්ෂ ශක්ති අපට එහි රැකවරණය සඳහා භාවිත කළ හැකි බව පෙන්වා දිය හැකි ය. 

පරිසරය සුරැකුමට අන්තරීක්ෂ ශක්තිය ආකාර දෙකකින් භාවිතයට ගත හැකි ය. ප‍්‍රධානතම හා පැරැණිතම ආකාරය වන්නේ මෙකී අන්තරීක්ෂ ශක්තිය ඍජු ව පතිත කරවීමේ මනෝමය ක‍්‍රියාවලිය යි. දෙවැන්න වන්නේ එකී අන්තරීක්ෂ ශක්තිය පතිත කරවා ගත හැකි පිරමීඩ වැනි භෞතික උපකරණ භාවිතයට ගැනීම යි.මේ විධික‍්‍රම පිළිබඳ ව දීර්ඝ විවරණයට මෙය අවස්ථාවව නො වෙතත් මේ ක‍්‍රම යොදා ගෙන වාස්තු දෝෂ ඉවත් කර සුබවාදී ශක්තීන් සහිත වටාපිටාවක් නිර්මාණය කර ගන්නා අතර ම නොසිතූවිරූ අයුරෙන් පරිසරය ද සුබවාදී පරිදි ගොඩනැඟිය හැකි බව පෙන්නා දිය හැකි ය. 

අපේ රටේ පැරැණි ගැමියා ගොවියකු වීම නිසා ම විශ්ව ශක්තිය හා පරිසරය පිළිබඳ සමෝධානීය ක‍්‍රියාවලීන් සිය අන්තර්ඥානයෙන් නොහොත් ඉවෙන් වටහා ගෙන සිටි බව පෙන්වා දීම අසීරු නො වේ. එහි ප‍්‍රතිඵලය ලෙස පැරැණි ගොවියාටත් පරැණි ගැමියාටත් වෙන ම විශ්ව ශක්තිය පිළිබඳ විශ්ලේෂණයකට අවශ්‍යතාවක් නොතිබිණි. එහෙත් ඔවුහු මේ ශක්ති කළමනාකරණ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, තන්ත‍්‍ර, කෙම්ක‍්‍රම ආදී විවිධ නම්වලින් හා ආගමික පසුබිමකින් යුතු ඇදහිලි හා භාවනා ඇසුරෙන් මනා ව භාවිතයට ගත්හ. මේ පසුබිම අප නූතන බටහිර විද්‍යාවේ හා නූතන මතවාදයන් විසින් සකසා ගැනුණු යුදෙවු චින්තන ආකෘතියට දමා පෙන්වීමෙන් ශිෂ්ට හා විශිෂ්ට තත්ත්වයන්ට නංගා ගත හැකි ය. මේ ඒ සඳහා වූ ක්ෂුද්‍ර ප‍්‍රවේශයක් පමණි. 

වාස්තු විද්‍යාවේ (ශාස්ත‍්‍රයේ) දී ගෘහ පිණ්ඩය හෙවත් ඉඩම පිළිබඳ ගණිත විශ්ලේෂණයක් සිදු කරයි. එහි හැඩය කවරාකාර ද යන්න විමසා බලයි. දිශාවන් ගේ හා භෞතික වූ ක‍්‍රියාවන් ගේ ගතිකය සසඳයි. අවසානයේ ඒ සියල්ල සමස්තයක් ලෙස ගෙන වාස්තු දෝෂ හා ඒවාට අවශ්‍ය විසඳුම් ලබා දෙයි. 

අද අප කරන්නේ යම් ස්ථානයක කෙළවර හතර ශක්තිමාන (විශ්ව ශක්ති සංවේදකය හෝ සරල අවලම්භය) යොදා විමසා නිරවුල් කර ගැනීමත්, අහසේත් (Sky-cosmic) පොළොවේත් (Earth - cosmic)  ශක්තීන් විමර්ශනය කිරීම යි. එහි දී අදාළ ස්ථානයට අන්තරීක්ෂ ශක්තිය සම්බන්ධ වේ ද නැත් ද යන්න අනුව වාස්තු දෝෂ ඇත්තේ ද නැත්තේ ද යන්න විග‍්‍රහ කර ගැනේ. විශේෂත්වය වන්නේ නූතන වාස්තු විශ්ලේෂණයන්හි ස්වාභාවික ව අන්තරීක්ෂ ශක්තිය ගලා එන පරිදි වාස්තු පරිසරය වෙනස් කරනු වෙනුවට, සූක්ෂ්ම උපකරණ පිහිටුවා කෘත‍්‍රිම ව වාස්තු පරිසරය අන්තරීක්ෂ ශක්තියට ගැළැපීම යි. 

නිදසුනක් ලෙස යම් භූමියක ඊසාන පැත්තේ කුණුවළක්, වැසිකිලිවළක්, ගිනි ගොඩක් හෝ උස් පොළොවක්, ඉඩ අඩු බිමක් ඇති විට බලවත් වාස්තු දෝෂයක් පවතිනු ඇත. එවිට සිදු කරන්නේ පෙර සම්ප‍්‍රදායික වාස්තු ශාස්ත‍්‍රයේ මෙන් එකී වළවල් ගිනි ගොඩවල් ඉවත් කරනු වෙනුවට නියමිත පරිමාණයේ ශක්තිකාරක පිරමීඩයක් පිහිටුවීමෙන් වාස්තු දෝෂය ඉවත් කිරීම යි. මේ අනුව අසම්බන්ධ ව පැවැති අන්තරීක්ෂ ශක්තිය සම්බන්ධ වීමෙන්, ස්ථානයේ දෝෂය ඉවත් වන බව ඉහත කී උපකරණවලින් පැහැදිලි කර දිය හැකි ය. 

පරිසරය පිළිබඳ ව අන්තරීක්ෂ ශක්තිය උපයෝග කර ගැනීම ද එපරිදි ම විමැසීම වැදගත් වේ. 
විවිධ පරිසර තත්ත්වයන් අනුව විශ්ව ශක්තියේ ගලනය වෙනස් වේ. උල් කටු සහිත ගහ කොළ නිසා අවට සුබවාදී ශක්තීන් ඉවත් ව යයි. එවිට පරිසරය අසුබවාදී වෙයි. මෙය ද නූතන භෞතික උපකරණවලින් මැන බැලිය හැකි ය. එවිට පරිසර තුලනය පිළිබඳ අදහස නිරවුල් කර ගත හැකි වෙයි. 
මිනිසාට ගැළැපෙන දේ අප සුබවාදී ලෙසත්, නොගැළපෙන දේ අසුබවාදී ලෙසත් ගන්නා බැවින් කටු පඳුරු අසුබවාදී ලෙස ගත්ත ද ඒවායේ පැවැත්ම මනුෂ්‍ය ප‍්‍රජාවෙන් එපිට පිහිටුවා ගැනීමේ ගැටලූවක් නැත. 

පරිසර සංරක්ෂණයේ දී බොහෝ ගහකොළ වඳ වී යන්නේ ඒවා ප‍්‍රරෝහණයට දක්වන බාධා බලවත් වීමෙනි. එකී බාධාවන් වළකන වටපිටාවක් වාස්තු ශාස්ත‍්‍රානුකූලවත් අන්තරීක්ෂ ශක්ති භාවිතය ඇසුරෙනුත් ගොඩනංවාගත හැකි ය. එවිට අපහසුවෙන් පැළ කළ හැකි වර්ග ඉතා පහසුවෙන් බෝ කර ගත හැකි වෙයි. මේ පිළිබඳ මෙතරම් සරල ලෙස කරුණු දැක්වීම උචිත නො වෙතත් මේ ගැඹුරු විශ්ලේෂණයකට අවස්ථාව නො වේ. 

මේ නිසා ලොව පුරා වේගයෙන් පැතිර යන ජෛව ගතික තාක්ෂණය :ඊසද-ාහබ්පසජ ඔැජයබදකදටහ* පවා මෙකී අන්තරීක්ෂ ශක්තිය වගා කටයුතු සඳහා භාවිත කරන අයුරු පිළිබඳ ප‍්‍රායෝගික සිද්ධාන්තයකි. 
මෙසේ සංක්ෂිප්ත ලෙස ගළපනු ලැබූ වාස්තු විද්‍යාව, අන්තරීක්ෂ ශක්තිය හා පරිසරය පිළිබඳ විශ්ලේෂණය තවදුරටත් ප‍්‍රායෝගික ව භාවිත කිරීමෙන් වර්තමානයේ මෙකී ක්ෂේත‍්‍රවල නොසිතූ වර්ධනයන් හා ප‍්‍රගතිකාරක තත්ත්වයන් ඇති වන බව අප වටහා ගත යුතු ව ඇත. මෙසේ සිතීමට ඇති දැවැන්ත ම බාධකය වන්නේ දහ අටවන සියවසේ විද්‍යාවත්, නව වන සියවසේ තාක්ෂණයත් උගන්වන අපේ ඥාන අධිකාරීන් ගේ අභිමානයට ගොදුරු වී ඇති විද්‍යාඥ ප‍්‍රජාවත් එය එයටත් පහළින් වළගයෙන් අල්ලා සිටින සමාජ විද්‍යාඥ පරපුරත් බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතු ය. 

බැලූ බැල්මට එකිනෙකට අසම්බන්ධ විෂයයන් කීපයක් එකිනෙක ගළපමින් මෙකී විමැසුම කරන ලද්දේ පරිසරය පිළිබඳ ජාතිය මුහුණ පා තිබෙන ඛේදනීය තත්ත්වයට ක්ෂණික වූත් බලවත් වූත් ප‍්‍රතිගමනයක් උදා කර ගනු පිණිස ය. මේ පිළිබඳ ව නව සංවාදයක් ඇරැඹිය යුතු ව ඇත. ඒ සඳහා විද්වතුන් ගේ දායකත්වය ලබා ගැනීමට   ”සදාහරිත” වාර ප‍්‍රකාශනයට ශක්තිය ලැබේවා යි ප‍්‍රාර්ථනා කර සිටිමු.   

ප‍්‍රියන්ත දයාරත්න





.............................................................................................................................................................................................................................................





පරිණාම දහමට නතු වූ 
රන් හෝතඹුවෝ !

ශ‍්‍රී ලංකාවේ වවෙරිඬේ (Viverridae)  කුලයට අයත් පැරඩොක්ස්‍යුරිනේ (Paradoxurinae)  උපකුලය යටතේ වර්ගීකරණය කර ඇති පැරඩොක්ස්‍යුරස් (Paradoxurus)  ගණයට අයත් උගුඩුවන් හා හෝතඹුවන් විශේෂ හතරක් වෙයි. එනම් උගුඩුවා  (Paradoxurus hermaphroditus)  සහ රන් හෝතඹුවන් (Paradoxurus aureus, Paradoxurus montanus, Paradoxurus stenocephalus)  විශේෂ තුනකි. මීට අමතර ව තවත් විශේෂයක් වාර්තා වන බව හඳුනාගෙන ඇතත් තව ම නාමකරණය කර නොමැත. ඒ පිළිබඳ ව ඉදිරියේ දී පර්යේෂණ සිදු කළ යුතු ව තිබේ. රන් හෝතඹුවන් විශේෂ තුන ම ලංකාවට ආවේණික වන අතර, මීට ප‍්‍රථම රන් හෝතඹුවා Paradoxurus zeylonensis  යන විද්‍යාත්මක නමින් හැඳින් වුව ද දැනට එය භාවිත නොවේ. 

විවිධ දේශගුණික රටාවන් හා අධික භූ විෂමතාව හේතුවෙන් කුඩා ¥පතක් වුව ද ලංකාව එකිනෙකට වෙනස් පරිසර පද්ධති බහුතරයකට හිමිකම් කියන රටකි. ඒ නිසා ම මෙරට ජීවීන් ගේ විවිධත්වය ද ඉතා අධික ය. එපමණක් නො ව භූ විද්‍යාත්මක හා දේශගුණික වෙනස්කම් පාදක කොට ගොඩ නැෙඟන විවිධ කලාපවල ජීවත්වන සත්ත්ව විශේෂයන්හි භූ ගෝලීය ව සිදු වන හුදෙකලාවීමෙන් ස්වාභාවික ව සිදුවන පරිණාමයේ ප‍්‍රතිඵල හේතුකොට ඒ සතුන්ට ම ආවේණික ලක්ෂණ නිර්මාණය වේ. මේ නිසා අතීතයේ දී එක ම විශේෂයක් ලෙස නම් කර තිබූ විශේෂ ඉතා පුළුල් ව හා සූක්ෂ්ම ව සිදු කරන ව්‍යුහ විද්‍යාත්මක අධ්‍යයනයන්හි ප‍්‍රතිඵලයක් ලෙස වෙනස් විශේෂ බවට නාමකරණය කිරීමට විද්‍යාඥයෝ පියවර ගනිමින් සිටිති. මේ සඳහා ප‍්‍රස්තුතයන් වන්නේ ද විවිධ දේශගුණික කලාපවල සිටින සතුන් ගේ වර්ණ රටාවේ හා ව්‍යුහයේ පවතින වෙනස්කම් පිළිබඳ නිරීක්ෂණයන් ය. එපමණක් නො ව කෞතුකාගාර නිදර්ශකවල නිරීක්ෂණය කිරීමට ලැබෙන වෙනස්කම් ද මේ පර්යේෂණ සඳහා ප‍්‍රස්තුතයන් වේ.

මෙවන් ප‍්‍රස්තුතයක් මත පදනම් ව ලංකාවේ උගුඩුවන් පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයක ප‍්‍රතිඵල 2009 වසරේ Zoological Journal of the Linnean Society සඟරාවේ පළ කර තිබිණි.  ඕස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය කොලින් පී. ග්‍රෝව්ස් (Colin P. Groves) වනජීවී උරුම භාරයේ චන්න රාජපක්ෂ හා කැලූම් මනමේන්ද්‍ර-ආරච්චි යන විද්‍යාඥයන් මේ පර්යේෂණය සිදු කර තිබේ. ඒ සඳහා කෞතුකාගාරයන්හි ද විශ්වවිද්‍යාලයයන්හි ද තැන්පත් කර ඇති නිදර්ශක අධ්‍යයනයට ලක් කරන ලදී. 

ශ‍්‍රී ලංකාවේ Viverridae   කුලයට අයත් Paradoxurinae  උපකුලය යටතේ වර්ගීකරණය කර ඇති විශේෂ දෙකක් වාර්තා වන බව මීට පෙර සඳහන් විය. ඒ විශේෂ Paradoxurus hermaphroditus හා Paradoxurus zeylonensis වේ. මෙයින් පළමු විශේෂය දකුණු ආසියාවේ සුලභ ව හමු වන විශේෂයක් වන අතර, දෙවැන්න ලංකාවට ආවේණික ය.Paradoxurus hermaphroditus    විශේෂය උගුඩුවා නමින් Paradoxurus zeylonensis විශේෂය පැණි උගුඩුවා රන් හෝතඹුවා හා සපුමල් කළවැද්දා යනුවෙන් හඳුන්වනු ලැබේ. Paradoxurus hermaphroditus  පුල්ලි හා වයිරම් වැටුණු සමක් ද, තද පැහැති වළිගයක් ද, කළු හා සුදු පැහැ මුහුණක් ද, කළු පැහැති කෙස් ද දරයි.Paradoxurus zeylonensis විශේෂයේ සතුන් හට ඒකාකාර ලෝම වැස්මක්, ළා පැහැති කෙස් ද, ගෙල පිටුපස විරුද්ධ අතට වැඩුණු කෙස් රොදක් ද, ළා පැහැති සාපේක්ෂ ව කෙටි වළිගයක් ද තිබීමෙන් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ය. රන් හෝතඹුවා රන් පැහැයට හුරු පැහැයක් ගනිතැ යි අප අපේක්ෂා කළ ද රන් පැහැති හා තද දුඹුරු පැහැති වර්ණාකාර කිහිපයක් හමු වේ. ඒ නිසා මහාචාර්ය කොලින් ප‍්‍රමුඛ විද්‍යාඥ පිරිස ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් එකතු කර බි‍්‍රතාන්‍ය ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ (British Natural History Museum) ශ‍්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ (National Museum of Sri Lanka)   හා කොළඹ විශ්වවිද්‍යාලයයේ තැන්පත් කර ඇති Paradoxurus zeylonensis  විශේෂයට අයත් සම් හා හිස්කබල් පුළුල් අධ්‍යයනයට විණි. 

මේ පර්යේෂණයේ දී අධ්‍යයනය කළ සම්වල වර්ණ රටා අනුව මේ විද්‍යාඥයන් විසින් Paradoxurus zeylonensis  විශේෂයේ දුඹුරු පැහැති ප‍්‍රභේද තුනක් හා රන් පැහැති ප‍්‍රභේද තුනක් ඇතුළත් වන පරිදි පළමු ව ප‍්‍රභේද හයකට වෙන් කරන ලදි.

1        යාන්තමින් අළු පැහැයට හුරු දුඹුරු පැහැ ප‍්‍රභේදය - වළගයේ කෙළවර කහ පැහැයට හුරු සුදු පැහැති ය. මේ කාණ්ඩයට ගොනු කළ සම් අටක් අතුරෙන් හතරක් අතරමැදි වනාන්තරවලින් ද හතරක් වියළි කලාපයෙන් ද හමු වූ නිදර්ශක වේ. තව ද මේ වර්ගයේ රන් හෝතඹුවන් කිහිප දෙනකු නකල්ස් ප‍්‍රදේශයෙන් ද මීමුරේ සහ ඉළුක්කුඹුර ප‍්‍රදේශවලින් පර්යේෂණ කටයුතු සඳහා අල්ලා ගෙන තිබේ.

2       ඉහත වර්ගයට බොහෝ සෙයින් සමාන හා ඊට වඩා තද පැහැති ප‍්‍රභේදය - මේ ආකාරයේ එක් සමක් පමණක් නොමේරූ සතකු ගේ නිදර්ශකයක් ලෙස අධ්‍යයනයට ලක් විය. එනම් Paradoxurus montanus යනුවෙන් නම් කර ඇති නිදර්ශකය යි. මධ්‍යම ඉහළ කඳුකර වලාකුළු වනාන්තර ප‍්‍රදේශයකින් එකතු කර ගන්නා ලද මේ නිදර්ශකයේ වළග කෙළවර කැඞී ගොස් ඇතත් කහ පැහැති ප‍්‍රදේශයේ කොටසක් ඉතිරි වී පැවතිණ. මෙහි ලොම් වඩා ඝන ව වැඞී තිබීම හැරුණු කොට ඉහත ප‍්‍රභේදයට බෙහෙවින් සමාන වේ.

3      ඉහත ප‍්‍රභේද දෙකට ම වඩා ළා පැහැති ප‍්‍රභේදය - පටු තද දුඹුරු පැහැති උරපත් අතර පිහිටි වැටියේ සිට වළගය පා මුල දක්වා පෘෂ්ඨීය ව දිවෙන පටියක් ද, ඊට දෙපසින් කටී ප‍්‍රදේශයේ සිට දිවෙන එවැනි පටි දෙකක් ද දරයි. කෙටි වළගයේ සුදු පැහැති කෙළවරකි. වයිට් (Whyte)  නමැති විද්‍යාඥයා විසින් බි‍්‍රතාන්‍ය ස්වාභාවිකවිද්‍යා කෞතුකාගරයේ තැන්පත් කරන ලද නිදර්ශක දෙකක් මේ ප‍්‍රභේදයට අයත් ය. මේ නිදර්ශකය ලබාගත් ප‍්‍රදේශය නිවැරැදි ව සටහන් වී නොමැත. මේවා මධ්‍යම කඳුකරයේ වලාකුළු වනාන්තරවලින් ලබා ගන්නට ඇතැ යි මේ විද්‍යාඥයෝ විශ්වාස කරති.

4        රතු පැහැයට හුරු රන්වන් පැහැ ප‍්‍රභේදය - මීට අයත් සම් අටක් අධ්‍යයනයට ලක් විය. මෙයින් පහක් උප කඳුකර වනාන්තරවලින් ද එකක් තෙත් කලාපයෙන් ද දෙකක් තෙත් හා වියළි කලාප අතර මායිමෙන් ද එකතු කළ නිදර්ශක වේ.

5        රතු පැහැයට වඩා රන්වන් දුඹුරු පැහැයට හුරු ප‍්‍රභේදය - මෙවැනි සම් දෙකක් අධ්‍යයනය කර ඇති අතර මේවා වලාකුළු වනාන්තරවලින් එකතු කළ නිදර්ශක වේ.

6       ඉහත ප‍්‍රභේදවලට වඩා ළා පැහැති ප‍්‍රභේදය - ඉහත තුන්වැනි ප‍්‍රභේදය මෙන් පෘෂ්ඨීය රේඛා තුනක් දරන අතර මේ ප‍්‍රභේදයේ නිදර්ශකවල පාර්ශ්වික රේඛා වඩාත් ඉදිරියෙන් ආරම්භ වේ. මේ ආකාරයේ සම් දෙකක් අධ්‍යයනයට ලක් කර තිබේ. මේවා දෙක ම වියළි කලාපයෙන් එකතු කර ගත් සම් වේ.

මේ අනුව පෙනී යන්නේ අධ්‍යයනයට ලක් කළ සම් අතරින් තද පැහැති ඒවා වියළි කලාපයෙන්, උප කඳුකර ප‍්‍රදේශවලින් හා වලාකුළු වනාන්තරවලින් ලබා ගෙන ඇති අතර රන්වන් පැහැති සම් ඉහත ප‍්‍රදේශවලට අමතර ව පහත් තෙත් කලාපයෙන් ලබාගෙන ඇති බව යි. තද පැහැති ප‍්‍රභේද අතුරෙන් තුන්වන ප‍්‍රභේදය හැරුණු කොට, ඒ ප‍්‍රභේද අතර භූගෝලීය වෙනස්කම් නොමැති තරම් ය. රන්වන් පැහැති ප‍්‍රභේදයේ නිදර්ශක තෙත් කලාපයෙන් හා උප කඳුකර ප‍්‍රදේශයෙන් ලබාගත් ඒවා වේ. වලාකුළු වනාන්තරවලින් ලබාගත් ඒවායේ විශාල වෙනසක් නො පෙන්වයි.

මේ පර්යේෂණයට භාවිත කළ හිස්කබල් සැලැකූ විට රන්වන් ප‍්‍රභේදයේ ඒවා දුඹුරු පැහැති ප‍්‍රභේදයේ ඒවායෙන් පැහැදිලි ව වෙන් කර ගත හැකි ය. රන්වන් පැහැති ප‍්‍රභේදයේ හිස්කබල්වලට වඩා උසැති රවුම් හැඩැති කපාලයක් දුඹුරු පැහැති ප‍්‍රභේදයේ දැකගත හැකි ය. මෙය වියළි කලාපීය නිදර්ශකවල අනෙක් නිදර්ශකවල තරම් හොඳින් දැක ගත නො හැකි ය. රන්වන් ප‍්‍රභේදයේ හිස්කබල්වල වඩාත් පළල් හොම්බක් දරයි. මොවුන් ගේ හකු ඇටයේ (Mandible) කොරනොයිඞ් ප‍්‍රසරය (Coronoid Process)   වඩාත් පිටුපසට වක් වී පිහිටයි. තව ද එක සමාන වයස් කාණ්ඩවල හිස්කබල් සැලැකූ විට රන්වන් ප‍්‍රභේදයේ චාර්වක දත්, දුඹුරු පැහැ ප‍්‍රභේදයේ චාර්වක දත්වලට වඩා අඩුවෙන් ගෙවී ගිය බවක් පෙනේ.

මේ පර්යේෂණ කණ්ඩායම හිස්කබල්වලින් ලබාගත් මිනුම් 13 ක් අතරින් ප‍්‍රධාන සංරචක විශ්ලේෂණය (Principal Component Analysis)  නැමැති සංඛ්‍යාන විශ්ලේෂණ පරීක්ෂාවෙන් තෝරාගත් මිනුම් හතරක් පරීක්ෂාවට භාවිත කර ඉහත වෙන් කරන ලද කොටස් කොතරම් දුරට වෙන් වශයෙන් වර්ග කළ හැකි දැයි අධ්‍යයනය කර ඇත. වැඩිහිටි සතුන් ගේ මිනුම් යොදා ගෙන සිදු කළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව තෙත් කලාපීය රන්වන් පැහැ ප‍්‍රභේදය අනෙක් ප‍්‍රභේදවලින් ඉතා හොඳින් වෙන් වේ. තෙත් කලාපීය රන්වන් ප‍්‍රභේදයත්, තෙත් කලාපීය දුඹුරු පැහැති ප‍්‍රභේදයත්, වියළි කලාපීය දුඹුරු පැහැති ප‍්‍රභේදයේ ව්‍යාප්ති පරාසයන් දෙකෙළවර පැතිරී ඇත. වයිට් නැමැති විද්‍යාඥයා විසින් නම් කරන ලද නිදර්ශක දෙකෙන් එකක් වියළි කලාපීය දුඹුරු ප‍්‍රභේදයේ පිටතත්, අනෙක ඇතුළතත් පිහිටයි. ළාබාල සතුන් ගේ ද, ඉතා කිට්ටු බන්ධුතාවක් පෙන්වන Paradoxurus jerdoni  නැමැති විශේෂයේ නිදර්ශක ද ඇතුළත් කර සිදු කරන ලද පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව තෙත් කලාපීය රන්වන් පැහැ ප‍්‍රභේදය අනෙකුත් කොටස්වලින් මනා ව වෙන් වී යයි. තද පැහැති ප‍්‍රභේදයේ තෙත් කලාපීය උප කඳුකර නිදර්ශක ද Paradoxurus montanus දර්ශීය නිදර්ශකයේ හිස්කබල ද වියළි කලාපීය රන්වන් පැහැ ප‍්‍රභේදයේ නිදර්ශක ද වියළි කලාපීය දුඹුරු පැහැති ප‍්‍රභේදයේ ව්‍යාප්ති පරාසයේ ම පිහිටයි. මෙහි දී වයිට් විද්‍යාඥයා ගේ නිදර්ශක දෙක ම වියළි කලාපයේ දුඹුරු ප‍්‍රභේදයේ ව්‍යාප්තියෙන් පිටතParadoxurus jerdoni නිදර්ශකවලට ඉතා ආසන්න ව පිහිටා තිබෙනු දැකගත හැකි ය. එහෙත් මේ නිදර්ශකවල සමේ පැහැය Paradoxurus jerdoni  විශේෂයේ සමේ පැහැයෙන් පැහැදිලි වෙනසක් දක්වයි.

තවදුරටත්, බාහිර මිනුම් සංසන්දනය කළ විට තෙත් කලාපීය රන්වන් පැහැ ප‍්‍රභේදයේ සම් වියළි කලාපයේ දුඹුරු පැහැ ප‍්‍රභේදයේ සම්වලට වඩා බෙහෙවින් වෙනස් වන බව ද සඳහන් වේ.

තව ද හිස්කබලේ මිනුම් සංසන්දනය කළ විට උක්ත කාණ්ඩ එකිනෙකින් වෙනස්වන ආකාරය ද අධ්‍යයනයට ලක් කර ඇත. මේ මිනුම් අධ්‍යයනයට ලක් කළ විට වියළි කලාපයේ දුඹුරු පැහැති ප‍්‍රභේදයෙන් තෙත් කලාපීය (උප කඳුකර ප‍්‍රදේශ ද ඇතුළත් ව) රන්වන් ප‍්‍රභේදයත් වියළි කලාපයේ රන්වන් ප‍්‍රභේදයත් වයිට් නැමැති විද්‍යාඥයා විසින් රැස් කරන ලද නිදර්ශකත් එකිනෙකින් පැහැදිලි ව ම වෙනස්වන බව ද නිරීක්ෂණය කළ හැකි ය. උප කඳුකර හා කඳුකර (වලාකුළු වනාන්තර) ප‍්‍රදේශවලින් රැස් කළ දුඹුරු පැහැති ප‍්‍රභේදය, වියළි කලාපයේ දුඹුරු පැහැති ප‍්‍රභේදයෙන් එතරම් පැහැදිලි ලෙස වෙනස් වීමක් නො පෙන්වයි.

මේ පර්යේෂණ කණ්ඩායමේ මතය වන්නේ මෙවැනි ප‍්‍රභේද කිහිපයක් පැවැතීම එක් ජීවී විශේෂයකින් නව විශේෂයක් ඒ ප‍්‍රදේශයේ ම වෙසෙන අතරතුර පරිණාමය වීමට උදාහරණයක් වන බව යි. තව ද මේ විද්‍යාඥයන් Phylogenetic Species Concept  භාවිත කරමින් මේ ප‍්‍රභේද විශේෂ කිහිපයක් යටතට ගැනීමට යෝජනා කර ඇත. කෙසේ වුවත් ඉහත නිරීක්ෂණ අනුව කළවැද්දන් විශේෂ තුනක් ඇතැ යි ද වයිට් විද්‍යාඥයා විසින් බි‍්‍රතාන්‍ය කෞතුකාරයේ තැන්පත් කරන ලද විශේෂය තවත් සිවුවැනි විශේෂක් වන බව ද ඔවුන් ගේ විශ්වාසය යි.

1778 වර්ෂයට පෙර සිට මේ දක්වා පලාස් (Pallas),  වොන් ශ‍්‍රීබර් (Von Shreber),  කෙලාට් (Kelaart), බ්ලැන්ෆර්ඞ් (Blanford),පොකොක් (Pocock)   ආදී විද්‍යාඥයන් නොයෙකුත් නිදර්ශක විස්තර කරමින් විශේෂ නාම කිහිපයක් යෝජනා කර ඇතත්, මේවායේ වර්ණ රටා හා ලබාගත් ප‍්‍රදේශ පිළිබඳ ඇති සටහන් ගැටලූ සහගත ය. කෙසේ වුවත් දැනට එක ම විශේෂ නාමයක් යටතට ගොනු කර ඇති රන් හෝතඹුවන් ඉහත පර්යේෂණ ප‍්‍රතිඵල අනුව විශේෂ තුනකට වෙන් කිරීමට මෙකී විද්‍යාඥයන් සමත් වී ඇත. ඒ අනුව Paradoxurus zeylonensis   නාමය වෙනුවට Paradoxurus aureus (Golden wet-zone palm civet), Paradoxurus montanus (Sri Lanka brown palm civet)   හා Paradoxurus stenocephalus (Golden dry-zone palm civet)  යනුවෙන් මේ විශේෂ තුන නම් කරන ලදි. මේ විශේෂ නාමයන් ගෙන් දෙකක් ඉහතින් සඳහන් කරන ලද නොයෙකුත් විද්‍යාඥයන් ලබා දුන් විශේෂ නාම අතරින් සුදුසු ලෙස තෝරාගෙන ඇත.


Paradoxurus aureus
මේ විශේෂයට අයත් පළමු නිදර්ශකය 1822 දී එෆ්. කුවියර් ^F. Cuvier නමැති විද්‍යාඥයා පැරීසියේ ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ (Museum National d’Histoire Naturelle)   තැන්පත් කර තිබේ. නොමේරූ සත්ත්වයකු ගෙන් ලබාගත් මේ නිදර්ශකයParadoxurus aureus  යනුවෙන් නම් කරන ලද ප‍්‍රථම නිදර්ශකය යි. මේ නිදර්ශකයේ ලේබලයේ Ceylon  යනුවෙන් සඳහන් ව ඇත. එෆ්. කුවියර් මේ නිදර්ශකය එක්රැස් කළ ප‍්‍රදේශය සොයාගැනීමට අපොහොසත් වූ බව සඳහන් කර ඇත. කෙසේ වුව ද මේ නිදර්ශකය සිය අධ්‍යයනයට භාජනය කර නොමැති වුව ද වියළි කලාපීය රන්වන් ප‍්‍රභේදයේ ඇති පෘෂ්ඨීය රේඛා මෙහි නොමැති වීම හේතුවෙන් එය තෙත් කලාපීය රන්වන් ප‍්‍රභේදය යටතට ගැනෙන බව සලකා එහි විශේෂ නාමය ඉහත පර්යේෂණ කණ්ඩායම අධ්‍යයනය කළ තෙත් කලාපීය රන්වන් ප‍්‍රභේදයට ලබාදීමට තීරණය කර ඇත.

මේ විශේෂයේ හඳුනාගැනීමේ ලක්ෂණ ලෙස සමේ වර්ණය රතු පැහැයට හුරු රන්වන් පැහැයේ සිට රන්වන් දුඹුරු පැහැය දක්වා වෙනස් වේ. සමේ විශේෂ සලකුණු කිසිවක් නොමැත. උදරීය පෙදෙස පැහැදිලි ව වෙන් වූ ළා පැහැති ය. හිස්කබල විශාල ය. පළල් හොම්බක්  හා උස් වූ රවුම් හැඩැති කපාලයක් දරයි. මේ විශේෂයේ ව්‍යාප්තිය තෙත් හා අන්තර් කලාපීය ප‍්‍රදේශ, උප වනාන්තර ප‍්‍රදේශ හා මධ්‍යම කඳුකරයේ නකල්ස් හා නුමුණුකුල කඳුවැටිවල වලාකුළු වනාන්තරවලින් වාර්තා වී ඇත. නකල්ස් කදුකරය ආශි‍්‍රත ව ජීවත්වන ජනතාව මේ විශේෂය සපුමල් කළවැද්දා ලෙස හඳුන්වති. 


Paradoxurus montanus
මේ විශේෂයේ පළමු නිදර්ශකය 1852 දී කෙලාට් නැමැති විද්‍යාඥයා නුවරඑළියෙන් ලබාගත්, බි‍්‍රතාන්‍ය ස්වාභාවිකවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කළ නොමේරූ සත්ත්වයකු ගේ සමක් හා හිස්කබලකි.

මේ විශේෂයේ සමේ වර්ණය යාන්තමින් අළු පැහැයට හුරු තද දුඹුරු පැහැති ය. වළිගයේ කෙළවර කහ පැහැයට හුරු සුදු පැහැයකි. උදරීය පැත්ත පෘෂ්ඨීය කොටසේ පැහැයට වඩා මඳක් ළා පැහැති ය. හිස්කබල කුඩා ය. එය පටු වන අතර හොම්බ ද පටු ය. උසින් අඩු තරමක් පැතලි කපාලයකි. කොරනොයිඞ් ප‍්‍රසරය (Coronoid process)  පිටුපසට එතරම් තියුණු ව වක් වී නොමැත. මේ විශේෂයේ ව්‍යාප්තිය ලංකාවේ වියළි කලාපයේ හා ඉහළ උන්නතාංශවල පැතිර ඇත. නකල්ස් කඳු පන්තියේ මෙන් ම මධ්‍යම කඳුකරයේ වලාකුළු වනාන්තරවලින් වාර්තා වී තිබේ.

වලාකුළු වනාන්තරවලින් තවත් නිදර්ශක ලබාගෙන අධ්‍යයනය කළ විට, ඒවා වියළි කලාපීය ප‍්‍රභේදයෙන් වෙනස් විය හැකි බව ද එවැනි අවස්ථාවක ඉහත සඳහන් විශේෂ නාමය වලාකුළු වනාන්තරවලින් ලබාගත් ප‍්‍රභේදයට ලබා දිය යුතු බව ද පර්යේෂකයන් ගේ අදහස යි.


Paradoxurus stenocephalus
මේ විශේෂයේ පළමු නිදර්ශකය පානම ප‍්‍රදේශයෙන් ලබාගෙන බි‍්‍රතාන්‍ය ස්වාභාවිකවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරන ලද වැඩිහිටි ගැහැනු සත්ත්වයකු ගේ සමක් හා හිස්කබලකි.

මේ විශේෂයේ සම රන්වන් දුඹුරු පැහැයෙන් යුක්ත අතර තරමක් අඳුරු ස්වභාවයක් ගනී. ශරීරයේ පෘෂ්ඨීය ව උරපත් අතර පිහිටි වැටියේ සිට වළිගයේ මූලය දක්වා දිවෙන තද දුඹුරු පැහැති රේඛා තුනක් වෙයි. උදරීය පැත්ත ළා පැහැති ය.  පෘෂ්ඨීය පැත්තට වඩා රන්වන් පැහැයට හුරු ස්වභාවයක් ගනී. හිස් කබල විශාල ය. පළල් හොම්බක් හා උසැති කපාලයක් දරයි.

දැනට මේ විශේෂයේ නිදර්ශක දෙකක් පමණක් හමු වී ඇත. එනම් පළමු නිදර්ශකය හා බි‍්‍රතාන්‍ය ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කොස්ලන්ද ප‍්‍රදේශයෙන් ලබාගත් වැඩිහිටි පිරිමි සත්ත්වයකු ගේ සම හා හානි වූ හිස්කබල යි. නකල්ස් කඳුකරයේ වල්පොළමුල්ලෙන් මෙවැනි සත්ත්වයකු අල්ලා ගැනීමට මේ විද්‍යාඥයන් සමත් වී ඇත. මේ සත්ත්වයා ඉහත නිදර්ශකවලට සර්ව සම වන අතර, අනෙකුත් ප‍්‍රභේදවලින් එවැනි ම වූ බාහිර ලක්ෂණ හා කපාලමිතික වෙනස්කම් පෙන්ව යි. 


Paradoxurus spp.
වයිට් නැමැති විද්‍යාඥයා විසින් බි‍්‍රතාන්‍ය ස්වාභාවිකවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරන ලද නිදර්ශක දෙක මෙයට අයත් ය. ඉහත සඳහන් විශේෂ සියල්ලෙන් පැහැදිලි ව වෙනස් වුව ද මේ නිදර්ශක ලබාගත් ප‍්‍රදේශය නිවැරැුදි ව සඳහන් නො වන නිසා මේ විද්‍යාඥ කණ්ඩායම ඒ නිදර්ශක පිළිබඳ ව ප‍්‍රමාණවත් අධ්‍යයනයක් සිදු කිරීමට අපොහොසත් වී ඇත. මේ නිදර්ශකවල ලේබලයේ සඳහන් වන්නේ ඒවා ශ‍්‍රී ලංකාවේ කඳුකරයට(Ceylon, confined to the hills) සීමාවන බව පමණකි. 

මෙකී අධ්‍යයනයේ දී සොයා ගැනීමට අපොහොසත් වූ කරුණු ගණනාවක් ඇති බව පෙනී යයි. මේ නිසා රන් හෝතඹුවන් විශේෂ විවිධත්වය හා ව්‍යාප්තිය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් නැවත වරක් කළ යුතු ව ඇතැ යි අපි විශ්වාස කරමු.

සමර්ථා හරිස්චන්ද්‍ර






.............................................................................................................................................................................................................................................



මැජික් විප්ලවයේ

ලේ ගලන ගොදුරුබිම්







මානවයා තම ඉදිරි දෙපා මහ පොළොවෙන් මුදා ගෙන, ඒවා ශ‍්‍රම කාර්යයෙහි යොදවන්ට වූ දා සිට  මානව සංහතියේ ඉදිරි ගමන් මඟ සුවිශේෂ පරිවර්තනයන් රැසකට ලක් විය. එකී පරිවර්තන පරිණාමීය ව ගලා ආ අතර, ඉන් වැදගත් ම පරිවර්තනය වූයේ ගොවිතැනෙහි නිරත වීම යි. ඒ මඟින් තම සංහතියේ පෝෂණය තහවුරු කර ගැන්මට හැඩගැසීම යි. මානව සමාජයේ පරිණාමීය අවධියක් වූ ගොවිතැනෙහි යෙදීම ද එහි පරිණාමීය අවධි රාශියක් පසු කර අද දක්වා පවතින කෘෂිකර්මාන්තය තෙක් පැමිණ විවිධ මුහුණුවර පෙන්වමින් දැනුදු මානවයා සමඟ අවියෝජනීය වූ ගමනක යෙදී සිටියි. 

අද පවතින කෘෂිකර්මාන්තය පිළිබඳ පොදු සත්‍යය බවට පත් ව ඇත්තේ එය ආහාර අවශ්‍යතාව සපුරාලීමට අසමත් බව යි. පෝෂණ අවශ්‍යතා සපුරනු වෙනුවට වස විසෙන් මානවයා පූර්ණ කරන, ස්වාභාවික ලෝකයෙන් වියෝජනය වූ, සමාජය පැතිරුණු අර්බුදයක් දෙසට දක්කා ගෙන යන ඔහු ගේ ම කර්මාන්තයක් බව යි. 

කෘෂිකර්මාන්තයේ අද පවතින අර්බුදයේ නිර්මාපකයා කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප‍්‍රකාශිත ලෝක සැලැස්ම යි. එය නිල නාමය වුවත් ප‍්‍රචලිත නාමය හරිත විප්ලවය යි. එය ලෝක ප‍්‍රජාව සතු ව තුබූ සදාතනික කෘෂිකර්මය ලෝකයට අහිමි කෙළේ ය. ආරම්භයේ පටන් හිරු එළිය හා මහ පොළොව යා කළ, සොබාදහම් අනුහස මුසු කෘෂිකාර්මික සම්ප‍්‍රදායයන් වෙනස් කෙළේ ය. නව තාක්ෂණික කෘෂිකර්මය වත්මනෙහි ප‍්‍රචලිත ගොවිතැන ලෙස මානවයා හා ධරණී තලය මත ව්‍යාප්ත වූයේ ය. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගෝලීය ව නිර්මාණය වූ ආහාර හිඟය හා අස්ථාවර දේශපාලන පසුබිම ඒ සඳහා ඉඩ විවර කර දුන්නේ ය. විප්ලවය යනු පොදු සම්මුතියක් සහිත ව පිළිගත් ශ්‍රේෂ්ඨ පරිවර්තනයකි. ඒ නමින් පෙනී සිටිමින් ලොව ප‍්‍රාග්ධන හිමියෝ විවර වෙමින් පවතින මහා ආයෝජන අවස්ථාවක් ලෙස ආහාර අර්බුදය හඳුනා ගෙන එමඟින් රුදුරු ලෙස ආයෝජනයට යොමු වූහ. සංවිධානාත්මක ව ලාභය පෙරදැරි කර ගනිමින් ලෝකයාට වස කැවීමට අනවරත තරගයක නිරත වූ හ. නෝර්මන් බෝර්ලොග් (Normon Borlog)  විසින් නව තිරිඟු ප‍්‍රභේදයක් නිපදවීම මුල් කර ගනිමින් මනස අන්ධ කර ගත් එක්සත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය 1963 දී රටවල් 44 ක් එකතු කර මේ මහා රුදුරු ව්‍යසනයට මුල්ගල තැබී ය. ලෝක බැංකුව ඇතුළු නව බලවතුන් ගේ න්‍යායයන් අනුව යමින් ලෝක කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වර්ධනය කිරීමේ අටියෙන් නව කෘෂිකාර්මික උපාය සෙවීමට අනුබල ලැබිණි. එකල අවධාරණය කළ එක ම කරුණ වූයේ පැවැති කෘෂිකර්මයට ලෝක ප‍්‍රජාව ගේ බඩගිනි නිවිය නො හැකි බැවින් පවතින ක‍්‍රමය උඩුයටිකුරු කර හෝ විසැඳුමකට යා යුතු බව යි. මෙලෙස දෙවන ලෝක යුද්ධයේ දී මනුෂ්‍ය සංහාරය සඳහා වැඩි දියුණු කළ රසායනික අත්හදාබැලීම් මඟින් අනාවරණය කර ගත් සෙසු දැනුම, ජීවත් වීමට ගන්නා ආහාර මඟින් ජීවිතය අහිමි කිරීමට මඟ පාදන කෘෂි තාක්ෂණයක් නිර්මාණය කෙළේ ය. 

හරිත විප්ලවය අද සදාතනික හරිත විප්ලවය ලෙසට සවිබල ගන්වා ඇත. බලවත් ප‍්‍රාග්ධන හිමිකාරී රටවල් හා ආයතන තම ආර්ථික හා භූ දේශපාලන උපාය මාර්ග සමඟ ගැට ගසා නව ඇරැඹුමකින් වස විස කැවීමේ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කරමින් සිටී. 

හරිත විප්ලවය තුළ සදාතනික නො වූ පෙළහර
1940 දශකය තුළ මැක්සිකෝව, බොර්ලොග් වැඩි දියුණු කළ තිරිඟු බීජ යොදා වගාව ආරම්භ කෙළේ ය. කෘත‍්‍රිම යෙදවුම් ද මුසු කර 1960 දශකය අවසන් වන විට එරට වගා බිම්වලින් 95% ක නව වැඩි දියුණු කළ තිරිඟු බීජ වගා කර අස්වැන්න තුන් ගුණයකින් ඉහළ දැමිනි. ආසියාතික රටවල් ද තම අස්වැන්න වැඩි කර ගැනීම හරිත විප්ලවයේ මිහිරි බලාපොරොත්තු අතර විය. එ මඟින් ධාන්‍ය අස්වැන්න දශක දෙකක් ඉක්මවා යෑමට මත්තෙන් 200% කින් ඉහළ දමා ගැනීමට මේ (සංවර්ධනය වන* රටවලට හැකි විය. මේ වර්ධනය පිටුපස ඇති යථාර්ථය නම් මේ ආශ්චර්යය ලබා ගැනීමට පළිබෝධ නාශක හා පොහොර භාවිතය 300% කින් ඉහළ දැමීමට සිදු වීම යි. දශක කීපයක් ගතවෙද්දී 500% ගුණයකින් රසායන පොහොර හා පළිබෝධ නාශක යෙදුව ද, මුල් කාලයේ දී ලද ඉහළ අස්වැන්න ලබා ගැනීමට නො හැකි විය. අස්වැන්නෙහි අව වර්ධනයක් දැක ගත හැකි විය. යෙදවුම් ප‍්‍රමාණාත්මක ව ඉහළ ගියේ ය. මේ ඔස්සේ ගොවීන්ට ලාභය අහිමි කර ඇත. සමාගම්වල ලාභය තර වී ඇත. මෙය සැබැවින් ම ගොවීන් ගේ පැත්තෙන් මහා ව්‍යසනයකි. මේ ව්‍යසනයට එරෙහි ආරම්භක උද්ඝෝෂණවල සටන් පාඨය වූයේ ගොවීන් ගේ ලාභය අහිමි කර වීම ය. එහෙත් අද සිදු ව ඇත්තේ ලාභය සමඟ ම ජෛව ලෝකය අහිමි ව යෑම යි. අද ලොව පුරා හරිත විප්ලවයේ මුණුබුරු - මිණිබිරියන්ට එරෙහි ව නැෙඟන්නේ 1962 වසරේ දී පරිසරවේදිනියක වන රැචල් කාසන් (Dr. Rachel Carsen)  ලියා පළ කළ නිහඬ වසන්තය (Silent spring) කෘතියෙහි අනාවරණයන් මුල් කර ගත් සටන් පාඨය යිි. 

හරිත වසන්තයේ නිහඬ වේෂය
වසන්තයේ දී හරිත වර්ණ කෙත්වතු උඩින් නීල අහස පුරා ජල බිඳිති රැුගෙන වලාවන් පා වී ගියේ ය. අරුණෝදයේ දී මුවෝ නිහඬ ව කෙත්වතු - බඩවැටි මත තණ බුදිමින් සිටිය හ. මඟ දෙපස ඉබේ වැඩුණු මීවන, ලෝරල්, වයිබර්නට් හා  ඕල්ඩර් වනමල් කාගේත් නෙත් පිනවී ය. සීත ඍතුවේ දී පවා මඟ දෙපස සොබා කාන්තියේ අඩුවක් නො වී ය. තුහිනයෙන් ඉහළට එසැවුණු බඩවැටිවල වැඩුණු, වියළීගිය වල් පැළෑටි හා ශාකවල ඇට කෑමට කුරුල්ලෝ රංචු පිටින් පියාඹා ආහ. කිචි බිචිය නිස්කලංකය බිඳ දමමින් තිබිණ. 

මිටියාවත්වල සුන්දරත්වය නැරැඹීමට කඳුකරයේ සිට දිය දහරාවන් ගලා එමින් තිබිණ. ඒ තුළ ගිලෙමින් ආ මත්ස්‍යයන් ඩැහැගැනීමට කුරුල්ලන් ගෙන් ද, බිලීබාන්නන් ගෙන් ද අඩුවක් මේ මිටියාවතට නොතිබිණි. නා නා විධ වන මල්වල රොන් බීමට පැමිණි ගුමු නදින් මල් වටා රොද බඳින බිඟුන් දුටු ළමයි සොම්නසින් ඔද වැඞී ගිය හ. සමහරෙක් කෑ ගසමින් සමනළුන් හා බිඟුන් පසු පස ලූහුබැඳ ගිය හ. 
කාලය සුන්දර ව ද, සාමකාමී ව ද ගෙවී ගියේ ය. කලකට පසු සියල්ල වෙනස් විය. 
රැචල් කාසන් මෙසේ ලියුවා ය. 

”කුරුල්ලෝ, සමනළු කොහි ගියෝ ද? බොහෝ දෙන කැලැඹීමකින් හා කුතූහලයෙන් යුතු ව කතා කළ හ. ගෙවතු, බඩවැටි පාළු ය. නිහඬ ය. ඉඳහිට දක්නට ලැබුණු කුරුල්ලන් කීප දෙන දුබල පෙනුමකින් යුක්ත වූ හ. උන් මරණය වැලැඳගන්නා තෙක් කටු පොරවා ගෙන ඔහේ සිටිය හ. තුරු මුදුන් මත හෝ බිම් කැදැලිවලින් කුරුලූ බිජු පුපුරා කිචි බිචි ගාන පැටවු එළියට නො ආවෝ ය. වනමල් ද, පැළෑටි ද, අතුරුදහන් ව ඇත. බිඟු නද ද, සමනළ වර්ණ ද අතුරුදන් ය. ජලජයන් වූ මත්ස්‍යයෝ දියේ ගිලී ගියෙන් ක්ෂණික වූ ද තේරුම් ගත නො හැකි වූ ද අරුමයකින් මිටියාවත වෙළෙමින් තිබිණි. ළදරුවෝ ද, ළමයි ද, වැඩිහිටියෝ ද, අරුම ලෙඩවල ගොදුරු බවට පත් වූ හ. පල දරන ගස්වල මල් පිපුණ ද, පරාගණයට බිඟුන් නො වූයෙන් පල දැරුවේ නැත. මුවන් සැරිසැරූ කෙත්බිම්වලට ඔවුහු අද නො එත්. රොබින් නාද අරුණෝදයේ සවනට නොඇසේ. දුෂ්ට ශාපයකින් මිටියාවත ම වැසී ගියා සේ විය.”

සත්‍ය පසුබිමක් පිළිබඳ ව මේ වැකි ඇය ලියන විට, හරිත විප්ලවයේ වසන්තයෙන් දෑස් නිලංකාර කර ගනිමින් බහුතරය ප‍්‍රතිගාමී මඟකට පිවිස සිටියා හ. එහෙත් ඈ ලියූ සත්‍යය අද ඔඩු දුවා ඇති අර්බුදයේ ගැඹුර තේරුම් ගැනීමට ප‍්‍රදීපස්ථම්භයක් විය. ”නිහඬ වසන්තය” කෘතියේ පිටුවක් පාසා කෘෂිකර්මාන්තයේ දී අප වගාවන්ට යොදන කෘමිනාශක, වල්නාශක හා කෘත‍්‍රිම රසායන පොහොරවලින් සිදු වන අගතිය ලියා තිබේ. එහි අපේ බත්පතට වස මුසු වන හැටි හොඳින් අනාවරණය කර තිබේ. 20 වන සියවසේ දී ලොවට වඩාත් ම බලපෑමක් කළ හැකි වූ ග‍්‍රන්ථය බවට ද, 21 වන සියවසට වලංගු සත්‍යය ද අන්තර්ගත ග‍්‍රන්ථය බවට එය පත් ව ඇත. මේ සත්‍යය දැන අපි කුමක් කරමු ද, කුමක් කරමින් සිටිමු ද?

නිහඬ වසන්තය හමුවේ දුප්පත් අපි
මානව සංහතියේ කුසගිනි නිවීමේ මැජික් විප්ලවය ලෙස විරුදාවලිය ලද හරිත විප්ලවය දෙසත්, කෘමිනාශක - වල්නාශක හා පොහොර දෙසත් සැකමුසු බැලූම් බලන්නට නිහඬ වසන්තය කෘතිය හා ඒ මත පදනම් වූ බහුජන ක‍්‍රියාකාරිකයන් හේතු විය. ලොව පුරා මේ අදහස් පෙරටු කොට ගත් ආකල්ප ලියලන්නට පටන් ගැනිණි. රැචල් කාසන්ට පින්සිදු වන්නට බටහිර සමාජය සැලැකිය යුතු තරමකින් මේ ව්‍යසනයෙන් මිදෙන්නට වෙර දරද්දී, මාරක සමාගම්, තුන් වැනි ලෝකයේ දෙපය ම තබා සිට ගත්තේ ය. අපේ බත් පත මුල් කර ගැනීම ඔවුන් ගේ එක ම වෙළෙඳපළ උපක‍්‍රමය විය. ඒ අනුහසින් අපේ ගොවි රජවරුනට වස විසෙන් ඔටුණු පලඳවනු ලැබූ හ. ප‍්‍රතිඵලය රැචල් කාසන් අනුවේදනීය ව ලියූ ඇගේ නගරය සහිත මිටියාවත පදවියේත්, ශී‍්‍ර පුරත්, මැදවච්චියේත්, හම්බන්තොටදීත් මතු වීම යි. ලංකාවේ මුළු වියළි කලාපය ගොවි ජනපද වසන්තයේ ආ නිහඬ මාරයාට ගොදුරු කර අවසන් ය. දැන් ඇත්තේ පශ්චාත් පරීක්ෂණයන් ය. 

මානව හිතවාදී පරිසර හා කෘෂි ක‍්‍රියාධරයන් කෑ ගැසූ හ. තරමක් හෝ ජනතාව අවදි කරලන්නට ඒ හඬට හැකි වූ මුත්, නිද්‍රාශීලී ව තබන්නට වස විස සමාගම් සැකැසූ පිඹුරුපත්වලට හැකියාව ලැබිණි. තවදුරටත් හැකි තරම් කෘමිනාශක, වල්නාශක, රසායන පොහොර භාවිතය ගොවිතැනේ සංවර්ධන දර්ශකය බවට පත් කරවීමට සමාගම් සතු වුවමනාව, ඔවුන් ගේ අපේක්ෂාවන් ගේ ප‍්‍රමාණයටත් වඩා ඉදිරියට ගෙන යෑමට ජනතාවත් ආණ්ඩුවත් මැදිහත් වී සිටිනු පෙනේ.

බන්දුල රුක්ෂාන් බැඹරැන්ද



No comments:

Post a Comment