vol 10




සදාහරිත කලාපය -10

ඇතුළත.........................




  • විල්පත්තු වන උයනේ රජයන කැලෑ නීතියේ ආශ්චර්යය වනෝද්‍යානයේ අනවසර මාර්ග ඉදිකර වසර දෙකයි
  • පාරම්පරික බීජ ආණ්ඩුමට්ටු කළොත් වැඩ වරදියි 
  • සුදු ඇඳුමෙන් ම කසළ ගිල දමන ගව කොක්  ?k 
  • අලි අනාථාගාරයට අත තබන අලි හොරු
  • රියෝ + 20 අපට වැදගත් වන්නේ ඇයි
  • ප‍්‍රධාන ම ගැටලූව ඇත්තේ අලූත් බීජ රෝපණ ද්‍රව්‍ය පනතේ 20 වැනි වගන්තියේ
  • සම්පත් උපයෝජනයේ වියරුවට සොබාදහම සමඟ ජීවත්වීමේ කලාව
  • මිහිමත අධිරසායන විෂ අඟවන උභයජීවී සාක්කිකරුවෝ අන්තරායය
  • විශ්වය නිර්මාණය හා නිශ්ශබ්දතාව
  • බීජ සංරක්ෂණයේ පෙර සිරිත නොහොත් බුද්ධ භෝග පාරමිතාව
  • වෘක්ෂලතා අධ්‍යයන ඉතිහාසය වෙත ආපසු ගමනක්
  • බෙරලිය අහිනක් මට පෙනියන්නේ
  • මිනිසුන් බැහැරලන අහරට වහ වැටුණු යාචක වනසත්තු
  • රත්නපුර ගංවතුර උවදුර වැළැක්වීම ට රුහුණට ජලය ගෙන යෑම
  • රුක් දෙවියකු අබිමුව සිට

.............................................................................................................................................................................................................................................




බීජ සංරක්ෂණයේ පෙර සිරිත නොහොත් 
බුද්ධ භෝග පාරමිතාව



හෙළ ගොවියා ගේ පාරම්පරික පිළිවෙත් ඇසුරේ හමුවන බුද්ධ භෝග පාරමිතාව පිළිබඳ කරුණු ස්වල්පයක් මෙවර අපි විමසා බලමු. මෙහි දී බුද්ධ භෝග ලෙස ගෞරවයෙන් හඳුන් වන්නේ ‘මවු බීජ’ හෙවත් වැපිරීමට වෙන් කැරෙන ‘ඇටා ඇට’ ය. ”බුද්ධ භෝග” රැස්කර ගත යුත්තේ ‘දෙගුණෙට’ ය. ‘දෙගුණෙට’ රැස් කිරීම වූකලි වපුරන ප‍්‍රමාණය මෙන් කොටස් දෙකක් ගබඩා කර ගැනීමකි. එය චිරාගත සම්ප‍්‍රදායයක් බැවින් සෑම ගොවියකු ම වගා කරන ගොඩ මඩ ප‍්‍රමාණය මෙන් දෙගුණයකට බීජ රැස්කර ගැනීමට උත්සුක වේ. මෙලෙස බුද්ධ භෝග දෙගුණෙට රැස්කිරීමේ අදීන සම්ප‍්‍රදාය මඟින් සෑම වගා කන්නක දී ම නිර්භය ව වගා කිරීමට යෝග්‍ය බීජ රැස්කර තබා ගැනීමට අපේ මුතුන් මිත්තෝ පුරුදු වූහ. 

හේන්, කුඹුරු ගොවිතැන සඳහා බුද්ධ භෝග රැස්කරන විට විශේෂ අවධානයක් ද ඒ වෙත එල්ල වේ. එයින් පළමු වැන්න වන්නේ අවශ්‍ය ප‍්‍රමාණයට හානියකින් තොර මවු බීජ තිබීම ය. යම් විටෙක මේ බීජවලට කෘමි හානි හෝ වෙනත් උවදුරක් ඇති නො වේ යැ යි විශ්වාස කළ නොහැකි ය. එහෙත් අවශ්‍ය ප‍්‍රමාණය මෙන් දෙගුණයක් ගබඩා කොට තිබෙන විට ඒ අවදානමට පහසුවෙන් මුහුණ දිය හැකි ය. අනෙක් අතට වපුළ හේන් - කුඹුරු පාළුවීමට තිබෙන ඉඩ වැඩි ය. එලෙස සොබාදහමේ අන්තරායයන් එල්ල වන්නේ ක්ෂණික ව ය. එවිට වගා කන්න අතපසු නොකර යළි වැපිරීම වහ වහා කළ යුතු ය. ඊට නිසි සූදානමක් එනම් දෙගුණයක් බීජ රැස්කර ගැනීමෙන් සිදු වන බව හඳුනාගත හැකි ය. එමෙන් ම යම් ගොවියකුට වැපිරීමට මවු බීජ හිඟ වූයේ නම් එවැනි අවස්ථාවන්හි දී ඔහු ගේ වගාවන් පාළු නො වී වැපිරීමට අවශ්‍ය බීජ අන්‍යයන් ගෙන් පහසුවෙන් ඉල්ලාගත හැකි ය. 

මෙලෙස බලන විට දෙගුණයක් හෙවත් වැඩිපුර ප‍්‍රමාණයක් බිත්තර බීජ නැතිනම් මවු බීජ රැස්කර ගැනීමෙන්, එළැඹෙන  ඕනෑ ම අවදානමක් පහසුවෙන් ජයගත හැකි පිළිවෙතක් බව හැඳිනගත හැකි යි. එමෙන් ම හේන් කුඹුරු ගොවිතැන් කළේ කලට, කන්නට හා කතාවට ය. මෙහි දී යාය ගොවීහු කතාබහ කර ඔවුනොවුන් ගේ ගැටලූ කල් ඇති ව හඳුනා ගැනීමට ද ඒවාට සරු පිළිතුරු සාමූහික ව සොයා ගැනීමට ද පුරුදු වී සිටියහ. ඒ චිරාගත පිළිවෙතට අනුව හේන් කුඹුරු වැපිරීමේ දී කිසිදු ගොවියකුට බීජ හානියක් සිදු නොවන අතර සාමූහික ලෙස ගොවිතැන් කිරීමට ද හැකි විය. 

‘බුද්ධ භෝග’ රැස්කර ගැනීම පිළිවෙත් දෙකක් යටතේ සිදු කැරේ. ඒ ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන වශයෙනි. මෙහි දී හේන් - කුඹුරු වැපිරීමෙන් අනතුරු ව එළැඹෙන කන්නයේ වගා කිරීම සඳහා අවශ්‍ය ‘බුද්ධ භෝග’ තෝරා ගැනීමේ අවශ්‍යතාව පැන නඟී. එහෙයින් හේන් - කුඹුරු පූදින සමය වන විට ඊට සූදානම් වේ. එය ද අත්දැකීම් බහුල මහ ගමරාල, විදානේ මෙන් ම දැනමුත්තන් අතින් සිදුවන්නකි. ඊට අනුව හේන් යායේ දී මෙන් ම කුඹුරු යායේ දී ද සරු කරල් සහිත සාරවත් ශාක හඳුනා ගැනීමට ලක් කැරේ. එය හේන් වගාවේ දී කිරි වැදී හෝ කරල් මෝරා වැඩෙන විට සිදු කළ යුතු ය. කුඹුරේ දී නම් කිරි වැදී අවසන් වන විට ඊට සූදානම් වේ. 

හේනේ විවිධ බෝග වගා කරනු ලැබේ. එහෙයින් පීදුම් වැටීම හා මේරිම ද පළින් පළ සිදුවන්නකි. ඒ අනුව හේනේ වපුළ සියලූ භෝග අතරින් සරු ගස් හඳුනාගෙන ඒවායේ ‘බේරුම් කහංචියක්’ බඳිනු ලබයි. එනම් සරු කරල් සහිත ශාක තෝරාගෙන ඒ ශාක වටා ඒ ගසින් හෝ වෙනත් ගසකින් පට්ටා නැතිනම් අත්තක් තෝරා ගෙන බඳිනු ලැබේ. කුරක්කං, මෙනේරි, බඩඉරිඟු ආදි ගස්වල තිබෙන කොළ ගස වටා දෙපොටට පටලවනු ලැබේ. එවිට ඒ ගසින් කරල් නෙළනු ලබන්නේ හොඳින් මෝරා පැසුණාට පසු බුද්ධ භෝග ලෙසිනි. ඒ කරල් අහරට ගැනීම තහංචි ය. මේ සිද්ධාන්තය මුං, කව්පි මෙන් ම අනෙකුත් සියලූ බෝගවලට අදාළ ය. ඇතැම් විට සශ‍්‍රික ශාක සහිත බිම් කොටසක් පරඬැල් බැඳීමෙන් කොටු කිරීම ද සිදු කැරේ. මේ ආකාරයට කෙතේ දී සරු ලියදි තෝරා ගනියි. ඒවායේ වියැට ගෙඩි බේරා ගන්නේ එහි පොත්තට හානි නොවන ලෙසිනි. එමෙන් ම අනෙකුත් ගොයම් කපා පාගා ගන්නා රටාවට ම කමතේ දී කොළ මැඬගත්ත ද ‘බුද්ධ භෝග’ වෙන් වෙන් වශයෙන් පිරිපහදු කර ගන්නේ සරු ඇට බේරා ගැනීම සඳහා ය. 

මෙලෙස හේනේ දී හා කුඹුරේ දී බුද්ධ භෝග වෙන් කර ගත්ත ද ඒවා ගොවි ගෙදර දී ගබඩා කරනුයේ ඊට ආවේණික සිරිත් අනුව ය. හේනේ නෙළන සියලූ බුද්ධ භෝග එක පිළිවෙළට ගබඩා කරගත නොහැකි ය. කුරක්කං නෙළන්නේ කරල්කඩයෙනි. ඒ කරල් සියල්ල කුරක්කං අටුවේ දමා රැකගන්නා අතර, අටුවේ කොටසක් මාගල් හෝ පැදුරු දමා නැතිනම් තල කොළවලින් වෙන් කර ගනී. ඒ කොටස බුද්ධ භෝග දැමීමට ය. එලෙස වෙන් කළ කොටසේ බුද්ධ භෝග අතුරා ඊට මත්තෙන් කොහොඹ කොළ වඩියක් හෝ කලවැල් කොටස් අසුරා ගනී. ඒ කෘමිහානි වළක්වා ගැනීමට ය. මෙලෙස කුරක්කං අටුවේ බුද්ධ භෝග රකින විට ඒවා යළි යළි ඇල්ලීමට හෝ හිරිකඩ වැදීම ඉඩ නොලැබෙන ලෙස රැකගනු ලබයි. මුං, කව්පි, මෑ වැනි භෝග කරල් පිටින් මුට්ටිවලට දමා රැස්කර තබයි. ඒ මුට්ටි ඇටා ඇට මුට්ටි ලෙස හැඳින් වේ. ඒ මත්තේ ද ‘කුඹුක් අළු’ ඉසිනු ලබන්නේ කෘමිහානි වළකා ගැනීම පිණිස ය. බඩඉරිඟු, බණ්ඩක්කා, අවර, දඹල වැනි දෑ දුම්මැස්සේ අටුව පිට හෝ ඒ ආසන්නයේ දුම් වදින මානයේ එල්ලා තබයි. කැකිණි, අළු පුහුල්, වට්ටක්කා වැනි දෑ ගෙඩි වශයෙන් නෙළා ගන්නේ පැසී අවසන් වන විට ය. ඒවා ‘හූරී ගසා’ එනම් වැල් ආධාරයෙන් එල්ලා තබන අතර, යම් විටක ඒ ගෙඩි ඉදී ගිය හොත් එවිට ඇට, වහල්ලෙන් ඇට බේරා ගෙන ඒ ඇටවල තෙතමනය හිඳ කල්තබා ගැනීමට ලක් කරනු ලබයි. ඒ දුම්මැස්සේ අටුව සමීපයේ මැටි බිත්තියේ ගා ගැනීමෙන් හෝ ඇට වහල්ලේ තෙත සිඳ කුඹුක් අළු සමඟ මිශ‍්‍ර කර ඇටා ඇට මුට්ටි ලෙස  ආහාර පිසීමට යොදාගත් මුට්ටිවල අසුරා ගනී. 

කෙසේ නමුදු බිත්තර වී වශයෙන් බේරාගත් බුද්ධ භෝග වෙන ම බිස්සක රැස්කර ගැනීම සිරිතකි. ඒ බිස්ස හඳුන්වන්නේ බිත්තර වී බිස්ස ලෙසිනි. ප‍්‍රමාණයෙන් කුඩා බිස්ස වන මෙහි වහලය හෙවත් ‘වරුහත්තිය’ පහසුවෙන් අතින් ඉහළට ඔසවා ඇතුළත ගබඩාගත වුණු වී, විමර්ශනයට ලක් කළ හැකි ය. ඒ අනුව අඩි හතරක් හෝ පහක් තරම් වන දෙගුණයක් බිත්තර වී පහසුවෙන් ගබඩා කරගත හැකි වේ. ඒ අතර කලවැල් කොටස්, කොහොඹ කොළ, කුකුරුමාන් ගෙඩි, දෙහි කොළ, නික කොළ ආදිය බිත්තර වී සමඟ සමෝසම ව මුසුකර ගැනීම සිරිතක් වේ. එයින් කෘමි හානි පහසුවෙන් වළකා ගනී. ගෙමිදුලේ තිබෙන මැටි මෙවලමක් වන බිත්තර වී බිස්ස සතු ගබඩාගත බුද්ධ භෝගවලට යම් අන්තරායයක් වේ නම් එය කල් ඇති ව දැන ගත හැකි වේ. ඒ බිත්තර වී බිස්සේ බුද්ධ භෝග හැම සිකුරාදාවක ම දෑහින් දැකගැනීම සිරිතක් වන බැවිනි. අනෙක් අතට මෙලෙස බිත්තර වී බිස්සට බුද්ධ භෝග රැස්කර ගැනීමට පෙර හත්වරක් පෙළීම හා මඳ අව්වේ වේළා ගැනීම ද සිරිත් සම්මත පිළිවෙතකි. ඒ සිරිත් අනුගමනය කිරීමේ පරමාර්ථය වන්නේ ද හැකිතාක් දුරට දූවිලි, බොල් හා රොඩුවලින් තොර සරු වියැට ගබඩා කිරීමට අවකාශ සැලැසීම ය. 

හේන්, කුඹුරු වගාවට වුවමනා බුද්ධ භෝග මෙලෙස රැස් කරන්නේ සරු අස්වනු උදෙසා සරු බිජු වැපිරීම අත්‍යවශ්‍ය කරුණක් බැවිනි. එය සිරිත් සම්මත චාරිත‍්‍රයක් බැවින් අනුගමනය කිරීම සංස්කෘතික අබ්බැහියකි. ඒ අතර ම බුද්ධ භෝග දෙගුණෙට රැස්කිරීම මඟින් ගොවිතැනේ සාමූහිකත්වය ද එමඟින් සියලූ දෙනාට රිසි ලෙස වගා කිරීමට අවශ්‍ය බීජ සංරක්ෂණය ද අපේක්ෂා කැරේ. එහෙයින් යම් අයකු බුද්ධ භෝග ඉල්ලා සිටිය විට තමා සතු ව තිබෙන අතිරික්තය ලබාදිය යුතු වේ. එලෙස අතිරික්ත ව ගබඩා කරගෙන තිබෙන බුද්ධ භෝග නො දී සිටීම ජන සම්මත තහංචියකි. එවැනි ක‍්‍රියාවක් යමකු සිදු කරන්නේ නම් ඔහුට එරෙහි ව වරිග සභාවට පැමිණිලි කර සමාජ සම්මත සාධාරණය ආරක්ෂා කිරීමේ වගකීමට ද අපේ මුතුන් මිත්තෝ බැඳී සිටියහ. අනෙක් අතට ඔවුන් වගා කළේ සියලූ දෙනට සාමූහික ව බෙදා හදා ගැනීමට ය. ‘බුද්ධ භෝග’ දෙගුණෙට රැස් කළේ ඒ උතුම් චේතනාව පෙරදැරිව ය. එය හෙළ බොදු ගොවියා ගේ පාරමිතාවක් නො වේ යැයි කාට නම් කිය හැකි ද? 

මහින්ද කුමාර දළුපොත   




.............................................................................................................................................................................................................................................


විල්පත්තු වන උයනේ රජයන කැලෑ නීතියේ ආශ්චර්යය !
වනෝද්‍යානයේ අනවසර මාර්ග ඉදිකර වසර දෙකයි


ඈත අතීතයේ සිට ම විල්පත්තු ජාතික වනෝද්‍යානය පිළිබඳ ව දෙස් විදෙස් සංරක්ෂණවේදීන්, කතා කළේ දැන් සිංහරාජ අඩවිය ගැන කතා කරන්නාක් බඳු මහත් අභිමානයකින් යුතු ව ය. ඒ අන් කිසිවක් නිසා නො ව එය ලාංකේය ඉතිහාසයේ අක්මුල් සැඟවගත්, වන ජීවීන් ගෙන් පිරිපුන් වියළි කලාපීය පරිසර පද්ධති සංකීර්ණයක් වූ නිසා ය. වසර තිහක කාලයක් පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය තුරන් වීමත් සමඟ ම මේ වනෝද්‍යානය තව දුරටත් දෙස් විදෙස් වනසත්ත්ව ලෝලීන් ගේ ගෞරවාදරයට පාත‍්‍ර වනු ඇතැ යි අපි විශ්වාස කෙළෙමු. එහෙත් සිදු වූයේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි. පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාව ඇති කිරීම සඳහා යැ යි සඳහන් කරමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වනාන්තර, විල්ලූ හා පුරාවස්තු පිරි භූමි ප‍්‍රදේශ ගොඩකරමින් හා කැණීම් කරමින් මාර්ග දෙකක් ඉදි කැරිණ. පරිසර නීති සියල්ල උල්ලංඝනය කරමින් මේ මාර්ග ඉදි කිරීම් සිදු කැරුණේ නාවික හමුදාව විසිනි. ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපැයුනේ ලැබූයේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය මගිනි. උත්තරීතර පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පරිසර නීති, රාජ්‍ය අංශය ම මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කරද්දී වනජීවීන්ට සිදු ව ඇත්තේ අසරණ ව බලා සිටීම පමණි.


පාලම් තුනකින් සමන්විත ව, සාවද්‍ය ලෙස පරණ මන්නාරම මාර්ගය යැ යි සඳහන් කරමින් සැකැසූ මාර්ගයේ දිග වනෝද්‍යාන වපසරියේ දී පමණක් කිලෝමීටර 35 කි. එය එළුවන්කුලම ප‍්‍රදේශයේ කලාඔයෙන් (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භ වන අතර මෝදරගම් ආරු (විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිම) දක්වා වනෝද්‍යානය ඔස්සේ විහිදේ. කරුවලකුඩා, පොම්පරිප්පු, පෙරිය ඔප්පුවිල්ලූ, පෙරිය විල්ලූ, සින්න ඔප්පුවිල්ලූ, මොල්ලිකුලම, මයිල විල්ලූ, කාලි විල්ලූ වැනි විල්ලූ සහිත පරිසර හා වනාන්තර පරිසර ඔස්සේ ජාතික වනෝද්‍යානයෙහි මේ මාර්ගය සකස් කර ඇත. මේ මාර්ගයේ සිට වනාන්තරය තුළට තවත් මාර්ග ජාලයක් ඉදිකර තිබේ. මේ සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ තවත් වනාන්තර හා විල්ලූ ඉතා විශාල ප‍්‍රමාණයක් වැනසීම සිදු කර තිබේ. වනෝද්‍යානය තුළ තැනින් තැන වනාන්තර හා විල්ලූ පරිසරයන්හි විශාල වළවල් හාරා මාර්ගය සැකසීමට පස් ලබා ගැනීම ද සිදු කර ඇත. පූකුලම් ප‍්‍රදේශයේ ජාතික වනෝද්‍යානය තුළ අක්කර 8 කට වඩා වැඩි ප‍්‍රදේශයක වනාන්තර එළි කර පස් කඳු කපා, විශාල වළවල් හාරා මාර්ග ඉදිකිරීමට පස් ලබාගෙන තිබේ. මේ ප‍්‍රදේශයේ කොටියා හෙවත් දිවියන් ගැවසුණු බවට සාධක පවා අප ගේ නිරීක්ෂණයන්ට ලක් ව තිබේ. පස් ලබා ගැනීමට කැණීම් කළ මේ විශාල වළවල්, අලි - ඇතුන් ගේ මරඋගුල් වීමට අනාගතයේ දී බොහෝ දුරට ඉඩ ඇත. 


මෙලෙස සකස් කළ මාර්ගය මහජනතාවට විවෘත කර ජනවාරි මස 24 වන දිනට වසර දෙකක් සපිරේ. පාරිසරික නීති සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කළ ද විල්පත්තුවේ වන සතුන් ගේ පැවැත්මට මේ මාර්ගය හේතුවෙන් දැවැන්ත හානි සිදු වුව ද, විල්පත්තුවේ නීති විරෝධි ක‍්‍රියා මේ මාර්ගය හේතුවෙන් වර්ධනය වුව ද, තව ම මාර්ගය තහනම් කිරීමට බලධරයන්ට නොහැකි වී ඇත. ඒ වෙනුවට මේ නීති විරෝධී මාර්ග කාපට් අතුරා සකස් කිරීමට පසුගිය දිනෙක ගිවිසුම්වලට එළැඹියේ ය. 


සාවද්‍ය ලෙස පරණ මන්නාරම් මාර්ගය හා අලූත් මාර්ගය එකක් යැයි සඳහන් කිරීම
ඉදිකර ඇති මේ මාර්ගය සමහරුන් හඳුන්වන්නේ පරණ මන්නාරම මාර්ගය ලෙස ය. තවත් අවස්ථාවක ්32 මාර්ගය ලෙස හැදින්වී ය. අද වන විට මේ මාර්ගයේ තැනින් තැන ඊ379 මාර්ගය ලෙස සඳහන් කළ පුවරු දක්නට ලැබේ. එහෙත් මේ සියල්ල සාවද්‍ය ය. පරණ මන්නාරම මාර්ගය ලෙස ඈත ඉතිහාසයේ දී සඳහන් වූ කරත්ත පාරක් විල්පත්තුව හරහා විහිදී තිබී ඇත. එනමුත් මේ මාර්ගය බොහෝ කලක සිට පොදු ජනතාව ගේ භාවිතයෙන් ඉවත් වී ඇති අතර එය ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කරන විට ජාතික වනෝද්‍යානයට අයත් ව තිබේ. එසේ වුව මේ මාර්ගය බහුල ව ජනතාව විසින් භාවිතයට ගැනුණු මාර්ගයක් ලෙස පැවත නැත. ඊට හේතුව මේ කරත්ත මාර්ගය කිලෝමීටර 40 ක් පමණ වනාන්තරය තුළින් ව්‍යාප්ත ව පැවතීම යි. ඉතිහාසගත කරුණු විශ්ලේෂණාත්මක ව විමසා බැලීමේ දී පෙනී යන්නේ ඉතා සුළු පිරිසක් පමණක් මේ මාර්ගය ඈත ඉතිහාසයේ ඉදහිට භාවිතයට ගෙන  ඇති බවකි. එහෙත් දැනට අලූතෙන් ඉදි කර ඇත්තේ මේ මාර්ගය ලෙස සාවද්‍ය ව සඳහන් කරමින් වෙනත් අලූත් ම මාර්ගයකි. මේ මාර්ගය පිළිබඳ ව නිවැරැුදි තතු මාර්ග සංවර්ධන අධිකාරියේ ද සඳහන් ව නැත. එසේ තිබිය දී වැරැුදි කරුණු ගෙනහැර දක්වමින් අන්තවාදී පිරිස් ඉදිරි යටි අරමුණකින් යුතු ව විල්පත්තුව දෙකඩ කරමින්, වනජීවී වාසස්ථාන වනසමින් මේ මාර්ග ඉදිකිරීම සාධාරණීකරණය කරති.  


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරම සිට පුත්තලම දක්වා සම්බන්ධතාව ඇති කිරීමට අලූතෙන් ඉදිකළ කිලෝමීටර 40 ක් දිග අනෙක් වෙරළබඩ මාර්ගය අද වන විට අතහැර දමා තිබේ. ඉන් සිදු වූ දැවැන්ත හානිය මෙතෙකැ යි සඳහන් කළ නොහැකි තරම් ය. පළමු ව සූදානම් වූයේ විල්පත්තුවේ වෙරළබඩ මාර්ගය ඉදිකර ඉන්පසු ව මාර්ගය හා මුහුදු වෙරළ අතර කලාපය සංචාරක පුරවරයක් බවට පරිවර්තනය කිරීමට ය. ඒ සඳහා තවත් පියවරක් ලෙස විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ සීමාවේ පිහිටි පලූගහතුරෙයි, පූක්කුලම් හා කරුවලකුඩා ප‍්‍රදේශවල ස්ථිර ධීවර ගම්මාන ස්ථාපිත කිරීමට යෝජනා විය. කල්පිටිය මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියෙන් අවතැන් වන ධීවර ජනතාව මෙහි පදිංචි කිරීමට යෝජනා විය. ඉන්පසු ව මේ වෙරළ කලාපය සංචාරක වෙරළ තීරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලැසුම් කර තිබිණි. එහෙත් පරිසරවේදීන් ගේ දැඩි විරෝධතා අනුව මෙය තරමක් දුරට යටපත් වී ඇත. 


වෙරළබඩ මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරයේ ව්‍යාප්ත ව ඇති වැලි කඳු, කටු පදුරු සහිත ළඳු කැලෑ බිම්, වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප‍්‍රදේශ ඩෝසර් යන්ත‍්‍ර මඟින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබිණි. කිලෝමීටර 40 ක් පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මේ මාර්ගය සැකැසීමට මීටර 70 කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක් ඩෝසර් කර තිබේ. විජය රජු ගොඩබට තැන යැ යි සැලැකෙන තම්බපණ්ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප‍්‍රදේශ මේ දැවැන්ත මාර්ගය ඉදිකිරීම සඳහා හිත් පිත් නැති පුද්ගලයන් විසින් ඩෝසර් යන්ත‍්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබිණි. වනාන්තරයෙන් වැසී පැවතුණු අප ගේ ඉතිහාසය, ගවේෂණය කිරීමටත් ප‍්‍රථමයෙන් මේ ආකාරයෙන් කෙලෙසා දැමීම රටක් වශයෙන් අප කනගාටු විය යුතු කරුණකි. මේ මහා විනාශය සාධාරණීකරණය කිරීමට යම් කණ්ඩායමක් උත්සාහ දරන්නේ නම් එය අප ගේ ජාතියට සිදු කරන ද්‍රෝහීකමකි. අප ගේ ප්‍රෞඪ ඉතිහාසය වනසා දැමීමට කරන මහා මෙහෙයුමක් පමණක් නො ව විජය රජු ලංකාවට පැමිණීමට ප‍්‍රථමයෙන් ලංකාවේ පැවැති ප්‍රෞඪ ශිෂ්ඨාචාරයේ අක්මුල් සැඟව ගත් එක ම ප‍්‍රදේශය වනසා දැමීමට සිදු කරන මහා මෙහෙයුමකි. මෙය අවබෝධ කර නො ගන්නා පුද්ගලයෝ පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාව ඇති කිරීමට කෙටි ම මාර්ගය ලෙසත් සංචාරක කර්මාන්තය වෙරළ තීරයේ ව්‍යාප්ත කිරීම සඳහාත් වන ඉදිරි දැක්මකින් යුක්ත ව මෙය සාධාරණීකරණය කරති. ඊනියා සංවර්ධනයේ නාමයෙන් මෙසේ සාධාරණීකරණය කරන්නේ ලෝකයේ දියුණු ශිෂ්ටාචාරයක අක්මුල් ජගත් ප‍්‍රජාව වෙත ගෙන යෑමට ඇති එක ම සාධක සහිත භූමියක් බව ඔවුහු නො සිතති. 


වනාන්තර කුට්ටි වීමෙන් හා මාර්ග අනතුරු හේතුවෙන් වන සතුන් දැඩි තර්ජනයක
මේ මාර්ගය ඉදි කිරීමට අක‍්‍රමවත් ව පස් කැණීමේ හා පස් පිරවීමේ ප‍්‍රතිඵලයක් ලෙස වර්ෂා කාලයේ දී ඒවා සේදී ගොස් ඒ ආශ‍්‍රිත ව පිහිටි විල්ලූ සහිත තෙත්බිම් ගොඩ වීමට ලක් ව තිබේ. මෙපමණක් නො ව වනෝද්‍යානය කොටස්වලට වෙන් වන ලෙස සකස් කර ඇති මාර්ග හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බටහිර කොටසේ වනජීවී වාසස්ථාන සම්පූර්ණයෙන් ම කුට්ටිකරණය වී ඇත. ඉන් සිදු වන ජෛව විවිධත්ව හානිය සුළු පටු නො වේ. 


2010 ජනවාරි මස 24 වන දින මේ මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම වාහන ගමනාගමනය ඉතා අධික විය. මේ හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප‍්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වීම හා අලි - ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම සිදු ව ඇත. කොටින් ගේ ගොදුරු බිම් ඛණ්ඩනය වීම හේතුවෙන් ඒ සතුන් ගේ ගහන ඝනත්වයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව අප ගේ අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබේ. මාර්ග අන්තරායයන් හේතුවෙන් මිය යන සතුන් ප‍්‍රමාණය ද අධික වී ඇත. මාර්ගය විවෘත කිරීමෙන් පසු ගෙවීගිය කාලය තුළ මුවන්, වල් ඌරන් හා වලසුන් වාහනවලට හසු වී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම  හෝ ඒ පිළිබඳ ව වනජීවී සංරක්ෂණ නිලධාරීන් දැනුම්වත් කිරීමක් හෝ සිදු නො කර නාවික හමුදාව ඒ සතුන් වළ දමා ඇත. 


පසු ගිය වසරේ මැද භාගයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පුව ප‍්‍රදේශයේ දී සවස 6 ට පමණ මන්නාරම අතිරේක දිස්ත‍්‍රික් ලේකම් ගේ නිල රථයේ ගැටීමෙන් මොනරෙක් මිය ගියේ ය. එහෙත් ඒ පිළිබඳ ව කිසිදු පරීක්ෂණයක් නොපැවැත් විණි. උදේ හයේ සිට සවස හය දක්වා පමණක් වාහන ගමනාගමනයට දැනට මාර්ගය විවෘත කර ඇතත් ඒ තත්ත්වය ද නිසි පරිදි ක‍්‍රියාවට නොනැෙඟන බව මෙයින් පැහැදිලි වේ. මීට අමතර ව කුඩා සත්ත්ව විශේෂ බොහොමයක් ම නිරන්තරයෙන් වාහනවට ගැටීමෙන් මිය යෑම සිදු වේ. මෙය වනජීවීන් වෙනුවෙන් වෙන් වුණු වනජීවී වාසස්ථාන තුළ සිදු නොවිය යුත්තකි. 


ජාතික වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළුවන පිරිස් නීති වීරෝධී ක‍්‍රියා රැසක නිරත වෙති
අලූතෙන් ඉදිකළ මාර්ගය භාවිත කරන ජනතාව වනෝද්‍යානයේ ගස්වැල්වලට හානි සිදු කරති. පලූ ශාකවල පල හටගන්නා කාලයට පලූ ගෙඩි කැඞීම සඳහා වනෝද්‍යානය තුළ මාර්ගය භාවිත කරන පිරිස් පලූ ශාකයන්හි අතු කපති. ඒ සඳහා විවිධ හානිකර ක‍්‍රම ද භාවිත කරනු ලැබේ. ගස්වලට නැඟ පලූ අතුවල ලණු හෝ කඹ ගැට ගසා අනෙක් කෙළවර වාහනවල ගැට ගසා ඇඳීමෙන් පලූ අතු කැඞීම සිදු කරයි. එවිට පලූ ගස්වල විශාල අතු පවා බිඳී යයි. එසේ කඩා දමා තිබූ අතුවල ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන වර්ණ ප‍්‍රභේද වැඩි ම ගණනක් සහිත රාස්සන (Vanda tessellata) උඩවැඩියා විශේෂය බහුල ව තිබෙනු දැකගත හැකි විය. මීට අමතර ව වනෝද්‍යානයේ සකස් කර ඇති මාර්ගයන්හි මිනිසුන් අනවසරයෙන් ඇතුළුවීම ද සිදු වේ. ඒ හේතුවෙන් වනෝද්‍යානයේ වෙනත් අනවසර ක‍්‍රියා ද සිදු විය හැකි ය. මෙවන් හානිකර ක‍්‍රියා ජාතික වනෝද්‍යානය තුළ සිදුවන්නේ අවසරයෙන් තොර ව වනෝද්‍යානය තුළ මාර්ග ඉදිකර ජනතාවට ඇතුළුවීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදීම හේතුවෙනි. 


වනෝද්‍යානය තුළ අදවන විට මානව ක‍්‍රියාකාරකම් රැසක් සිදු වීම හේතුවෙන් තවත් හානිකර තත්ත්වයන් රැසක් දැකගන්නට ලැබී තිබේ. පසුගිය කාලයේ සිට අද දක්වා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කඳවුරු බැද සිටින නාවික හමුදාවේ නිලධාරීන් ගේ වාහනවලින් දඩමස් ප‍්‍රවාහනය කර ඒවා කොන්ඩච්චි කුඩා ප‍්‍රදේශයේ වෙළෙඳසලක තිබිය දී හමු විය. මෙය අප ඉතා වගකීමෙන් යුතු ව ලියා තබන අතර, ඒ පිළිබඳ ව සාක්ෂ්‍ය සහිත ව අප අදාළ අංශ දැනුම්වත් කර තිබේ. මීට අමතර ව කාලිවිල්ලූ ප‍්‍රදේශයේ ටී 56 ගිනි අවිවලට භාවිත කරන උණ්ඩ රැසක් හමු වී තිබේ. ඒවා මෑතක දී භාවිත කළ උණ්ඩ වීමෙන් පෙනීයන්නේ මෙහි රැඳී සිටින නාවික හමුදා සෙබළුන් දඩයමේ නිරත වන බව ය. ඒ තත්ත්වය සනාථ කිරීමට ඇති තවත් හොඳ ම සාක්ෂ්‍යයක් ඇත. එනම් විල්පත්තුවේ නැෙඟනහිර ප‍්‍රදේශයේ ජීවත්වන වන සතුන්ට වඩා නාවික හමුදාව කඳවුරු බැද සිටින හා අනවසර මාර්ග තනා තිබෙන බටහිර ප‍්‍රදේශයේ ජීවත් වන, වන සතුන් මිනිසුන්ට දැඩි බියක් දක්වීම යි. 


ඉදි කළ නව මාර්ග හේතුවෙන් ජාතික වනෝද්‍යානයට එල්ල වන මානව ක‍්‍රියාකාරකම්වල බලපෑම වනාන්තරයේ බොහෝ ප‍්‍රදේශයන්ට ව්‍යාප්ත ව ඇත. මේ බලපෑම් කිලෝමීටර 35 ක් දිගින් යුත් මාර්ගය ඔස්සේ වනෝද්‍යානයටත්, කිලෝමීටර 40 ක දිගින් යුත් වෙරළබඩ මාර්ගය ඔස්සේ වනෝද්‍යානයටත් ව්‍යාප්ත වේ. මෙය ජාතික වනෝද්‍යානය තුළ වනජීවී වාසස්ථාන දැවැන්ත ලෙස තර්ජනයට ලක් කිරීමට සමත් ය. එය වනාන්තරයේ ජෛව ප‍්‍රජාවගේ පැවැත්මට ඉතාම අහිතකර ලෙස බලපෑම් එල්ල කරන්නකි. 


මෙපමණක් නො ව අධික වේගයෙන් නිරන්තරයෙන් වාහන ගමන් කිරීම නිසා දූවිලි ඇවිස්සීමෙන් වනෝද්‍යායේ සතුන්ට ස්වසන ආබාධ ඇති විය හැකි ය. පසුගිය කාලයේ දී මේ තත්ත්වය හොඳින් අත් දකින්නට ලැබුණේ යාල ජාතික වනෝද්‍යානයේ ය. මෙහි සංචාරකයන් රැගෙන යන වාහනවලින් ඇවිස්සෙන දූවිලි ආග‍්‍රාණ කිරීමෙන් වලසුන් කිහිප දෙනෙක් ම ස්වසන ආබාධ හේතුවෙන් මියයෑම සිදු විය. එවන් තත්ත්වයක් විල්පත්තුවේ ද ඉදිරියේ දී මේ පාර මේ අයුරෙන් වාහන ගමනාගමනයට විවෘත ව තිබුණ හොත් සිදු විය හැකි ය.  


ජාතික වනෝද්‍යානය තුළට ආක‍්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ අවදානමක්
අලූතෙන් ඉදි කළ මාර්ග හේතුවෙන් ජාතික වනෝද්‍යානයේ ආක‍්‍රමණික ශාක ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතී. වනෝද්‍යානය මැදින් සකස් කළ මාර්ගයේ ජාතික වනෝද්‍යානයෙන් පිටත ප‍්‍රදේශ නිරීක්ෂණය කළ අවස්ථාවේ දී අපට පෙනී ගියේ ගිනි තණ(Panicum maximum)  හා ගඳපාන (Lantana camara)  යන දරුණු ආක‍්‍රමණික ශාක විශේෂ ව්‍යාප්ත ව ඇති බවයි. මේ ශාකවල බීජ වාහනවල රෝදවල තැවරී ජාතික වනෝද්‍යානයේ ව්‍යාප්ත වීමේ හැකියාව පවතී. එසේ ව්‍යාප්ත වුවහොත් කටු පදුරු සහිත ලදු කැලෑ බිම් ගඳපාන ශාකයේ ආක‍්‍රමණයටත් විල්ලූ පරිසර ගිනිතණ ශාකයේ ආක‍්‍රමණයටත් ලක් විය හැකි ය. මින් සිදු වන්නේ අලි - ඇතුන් ඇතුළු ව බොහෝ ශාක භක්ෂක සත්ත්ව ප‍්‍රජාවක ගේ ආහාර බිම් නැති වී යෑමකි.


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ, විශේෂයෙන් ම පුත්තලම සිට එළුවන්කුලම දක්වා ප‍්‍රදේශයේ වෙරළාශ‍්‍රිත පරිසර පද්ධතිවලට දැඩි තර්ජන එල්ල කරන කලපු අන්දර (Prosopis juliflora)  ශාකය ව්‍යාප්ත ව තිබේ. මේ ශාකය විල්පත්තු ජාතික වනේද්‍යානයේ වෙරළබඩ තීරය දිගේ ඉදිකර ඇති නව මාර්ගය ඔස්සේ ජාතික වනෝද්‍යානයේ වෙරළබඩ පරිසර පද්ධතිවලට ව්‍යාප්ත විය හැකි ය. එසේ ව්‍යාප්ත වුව හොත් වෙරළබඩ පරිසර පද්ධති දැඩි තර්ජනයකට ලක්විය හැකි ය. 


ලූණුගම්වෙහෙර, බුන්දල, උඩවලව වැනි ජාතික වනෝද්‍යානවල ව්‍යාප්ත ව ඇති ආක‍්‍රමණික ශාක වන හඳපාන, ගිනිතණ හා කලපු අන්දර ශාක ඉවත් කිරීම සඳහා විශාල මුදලක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැරීමට සිදු ව තිබේ. ඒ ඔස්සේ ඇති වී තිබෙන අනෙක් තර්ජන නම් මේ වනෝද්‍යානවල ජීවත්වන සතුන්ගේ ගොදුරු බිම්, වසම් ප‍්‍රදේශ සීමා වීමෙන් එම සතුන්ගේ පැවැත්මට තර්ජන එල්ලවීමයි. මීට අමතර ව එම වනෝද්‍යාන ආශ‍්‍රිත ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම දැඩි ලෙස වර්ධනය වීමට ද හේතු වී ඇත්තේ ජාතික වනෝද්‍යානයේ ආක‍්‍රමණික ශාක ව්‍යාප්තියෙන් ඒ හේතුවෙන් සතුන් ගේ ආහාර බිම් සීමා වීම ය. මේ තත්ත්වයට විල්පත්තුව ජාතික වනෝද්‍යානය ද අනාගතයේ දී ගොදුරු කිරීමට මේ මාර්ග ඉදිකිරීම අනිවාර්යයෙන්ම බලපෑ හැකි ය. 


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ජෛව සම්පත් හා පුරා වස්තු අන්තරායයේ


විල්පත්තු ජාතික වනෝද්‍යානය යනු වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප‍්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත‍්‍රික්ක දෙකට අයත් එහි භූමි ප‍්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසු ව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප‍්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ - එලූවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැුකවරණය හා කලාඔය, මෝදරගංආරු වැනි ගංඟාවන් ගේ ජල පෝෂක ප‍්‍රදේශයන්ට ලැබුණු රැකවරණය මේ මාර්ගය ඉදි කිරීම සඳහා එළි පෙහෙළි කළ වනාන්තර හා පස් කැපීම හේතුවෙන් අහිමි වී ඇත. 


IUCN Sri Lanka, (2006), Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lankaවාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ළඳු කැළෑ, ගංඟාශ‍්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළි පතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකි ය. මේ විවිධ වූ පරිසර පද්ධතියෙන් කුල 123 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ. ලංකාවේ වාර්තාවන සමස්ත සපුෂ්ප ශාක විශේෂ අතුරින් 17% ක් විල්පත්තුවෙන් වාර්තා වේ. 


                            විල්පත්තුවේ වාර්තා වන සත්ත්ව විශේෂ විවිධත්වය
සත්ත්ව කාණ්ඩය            විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
සමනළුන්                               86                               01
මිරිදිය මත්ස්‍යයන්                    29                              02
උභයජීවීන්                              17                              03
උරගයන්                                56                               08
පක්ෂීන්                                 149                              03
ක්ෂීරපායන්                             41                              04
එකතුව                                  378                              21


සමනළුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 378 ක් පමණ විල්පත්තුවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.


විල්පත්තු වනෝද්‍යානයේ උභයජීවී විශේෂ 17 ක් වාර්තා වී ඇත. ඒ අතර ෘDuttaphrynus Kotagamai, Polyphedatus crucigerහා ඍදබ්Rona gracillis  යන ආවේණික උභයජීවී විශේෂ වේ. ලංකාවේ වාර්තා වන උභයජීවී විශේෂ අතුරෙන් 15% ක් මෙහි වාර්තා වේ.  


සර්ප විශේෂ 30 ක් හා සිවුපා උරග විශේෂ 26 ක් ලෙස උරග විශේෂ 56 ක් විල්පත්තුවේ වාර්තා වී තිබේ. ඒ විශේෂ කුල 15 කට අයත් වන අතර, ඉතා දුර්ලභ විශේෂ කිහිපයක් ම ඒ අතර වෙති. 1950 වසරෙ දී නාමකරණය කළ Nessia hickanala නම් ඉතා ම දුර්ලභ හිකනළුන් විශේෂය දෙවන වරට වාර්තා කර ඇත්තේ මේ වනෝද්‍යානයෙනි. මීට අමතර ව දුර්ලභ සිවුපා උරග විශේෂයක් වන බෝදිලිමා (Chameleo zeylanicus හා වැලි පිඹුරා (Gongylophis conicus මේ වනෝද්‍යානයෙන් වාර්තා වී තිබේ. ලංකාවේ උරග විශේෂ අතුරෙන් 29% ක් මේ වනෝද්‍යානයෙන් වාර්තා වේ. 


ලංකාවට ආවේණික දංකොළපෙතියා (Puntius singhala හා කරඇඳයා(Chela ceylonensis) ඇතුළු ව මිරිදිය මත්ස්‍ය විශේෂ 29 ක් මේ වනෝද්‍යානයෙන් වාර්තා වී තිබේ. ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතුරින් 34% ක් විල්පත්තුවෙන් වාර්තා වේ. ඊට අමතර ව දැනට නාමකරණය කර නොමැති විද්‍යා ලොවට නව මිරිදිය මත්ස්‍ය විශේෂ කිහිපයක් මේ වනෝද්‍යානයෙන් හමු වී තිබේ. 


විල්පත්තු වනෝද්‍යානයේ කුල 53 කට අයත් පක්ෂි වශේෂ 149 ක් වාර්තා වී ඇති අතර, සාංක‍්‍රමණික විශේෂ 24 ක් ඒ අතර වෙයි. ආවේණික විශේෂ තුනක් ඇතුළු ව නේවාසික පක්ෂි විශේෂ 125 ක් මෙහි වාර්තා වේ. ඒ අතර, තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂි විශේෂ ද බොහොමයක් වෙයි. ලංකාවේ මුහුදු තීරයේ හැර ගොඩබිම් ප‍්‍රදේශයේ වාර්තා වන පක්ෂි විශේෂ අතුරෙන් 46% ක් මහි වාර්තා වේ. 


ක්ෂීරපායී විශේෂ 41 ක් මේ වනෝද්‍යානයෙන් වාර්තා වී ඇති අතර, ඒ විශේෂ කුල 21 කට අයත් වේ. ලංකාවේ ගොඩබිම වාර්තා වන ක්ෂීරපායී සතුන් අතුරින් 46% ක් විල්පත්තුවෙන් වාර්තා වීම විශේෂත්වයකි. ඒ අතර, නව නාමකරණයට අනුව කඳුකරයේ හා වියළි කලාපයේ වාර්තා වන ලංකාවට ආවේණික දුර්ලභ විශේෂයක් වන රන් හෝතඹුවා(Paradoxurus montanus විශේෂය මෙහි තරමක් සුලබ ව වාර්තා වේ. මෙයට අමතර ව අළු උණහපුළුවා (Loris lyderkacryanus තරමක් සුලබ ව මේ වනෝද්‍යානයෙන් වාරතා වීම සුවිශේෂත්වයකි. 


කුල පහකට අයත් සමනළ විශේෂ 86 ක් විල්පත්තුව වනෝද්‍යානයෙන් වාර්තා වී තිබේ. ඉන් ලංකාවට ආවේණික විශේෂයක් ලෙස වාර්තා වී ඇත්තේ Ceylon Birdwing විශේෂය පමණි. ලංකාවේ වාර්තා වන සමනළ විශේෂ අතුරෙන් 35% ක් විල්පත්තු වන උයනේ වාර්තා වේ.  

විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන් ගේ ජල පෝෂක ප‍්‍රදේශයක් පමණක් නො ව පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ් ව පවතින ධන නිධානයකි. තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජු ගේ ආගමනයට පෙර කුවේණිය කෙරෙන් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැඳී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.


W.L.D.P.T.S. de A Goonatilake, (2006), Archaeologically important sites in Wilpattu National Park. Present status and new finding  වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ප‍්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර පොසිල සහිත ප‍්‍රදේශ, ප‍්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරැණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මේ වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. පොම්පරිප්පු ප‍්‍රදේශයේ හමුවන මහා ශිලා යුගයේ සොහොන් බිම්වල අඩි 3½ක් පමණ උස විශාල මැටි වළංවල බහා ලූ මිනී අළු බඳුන් හමු වේ. මේවා මධ්‍ය ශිලා යුගයේ බලංගොඩ මානවයාට වඩා දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ සාධක හමු වන බිම් ය. 


මේ අක‍්‍රමවත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් ජාතියට අහිමි වන්නට ඇත. මෙවන් සම්පත් රටට, ජාතියට අහිමි කරමින් සිදු කරන සංවර්ධනයෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න අපට නොවැටහේ.

පරිසර අන පණත් උල්ලංඝනය කරමින් මාර්ග ඉදි කිරීම හා සංවර්ධන කටයුතු


2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් වනෝද්‍යානය තුළට අනවසරයෙන් ඇතුළු වීම, මාර්ග ඉදි කිරීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, ස්ථිර පාලම් ඉදි කිරීම, ගස් කපා ඉවත් කිරීම, පස් ලබා ගැනීම සඳහා විශාල වළවල් කැනීම යන හානිකර නීති විරෝධී ක‍්‍රියාකාරකම් බොහොමයක් මේ වන විට සිදු කර තිබේ. එහෙත් ඊට එරෙහි ව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත. විලච්චිය ප‍්‍රදේශය් පිහිටි වනෝද්‍යානයේ ප‍්‍රධාන පිවිසුම් මඟින් වනෝද්‍යානය නැරඹීමට යෑමට මුදල් ගෙවා බලපත‍්‍රයක් ලබා ගත යුතු අතර, මග පෙන්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වන්නකු ද සංචාරකයන් සමඟ පැමිණේ. එහෙත් නීති විරෝධී නව මාර්ගයෙන් කලාඔයේ හා මොදරගම්ආරු ප‍්‍රදේශයෙන් කිසිදු බලපත‍්‍රයක් ලබා ගැනීමකින් තොර ව  ඕනෑ ම අයකුට රිසි සේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු විය  හැකි ය. එපමණක් නො ව වනෝද්‍යානය තුළ රිසි සේ රැදී සිටීමේ හැකියාව ද පවතී. මේ තත්ත්වය වනෝද්‍යානය තුළ ජීවත් වන වන සතුන් ගේ ඉදිරි පැවැත්ම තීරණය කරන්නකි. 


අද වන විට වත්මන් රජය සංචාරක කර්මාන්තයෙන් වැඩි ආදායමක් ඉපැයීමට සැලැසුම් සකස් කරයි. බහුතරයක් විදේශ සංචාරකයන් ගේ වැඩි ආකර්ෂණයට ලක් වූ විල්පත්තු වන උයන ඒ අතරතුර මාර්ග තනමින් වනසා දමයි. මේ එකිනෙකට පරස්පර ක‍්‍රියාමාර්ගවලින් පෙනී යන්නේ නිසි අරමුණකින් තොර ව වචනයට පමණක් සීමා වූ ආශ්චර්යයක් කරා රට ගෙන යන බවකි. සැබෑ සංවර්ධනයක් ගැන සිතන නිලධරයන් ගෙන් හා දේශපාලඥයන් ගෙන් අප ඉල්ලා සිටින්නේ ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යාන සංකීර්ණය යැ යි පැවැසෙන විල්පත්තු වන උයනේ සිදු කැරෙමින් පවතින සියලූ නීති විරෝධී හානිකර ක‍්‍රියා වහා ම නතර කිරීමට පියවර ගන්නා ලෙස ය. 


සත්ත්ව කාණ්ඩය     වාර්තා වන සමස්ත විශේෂ ගණන               ආවේණික විශේෂ ගණන
                     ලංකාව         විල්පත්තුව   ප‍්‍රතිශතය % ලංකාව විල්පත්තුව      ප‍්‍රතිශතය %
උභය ජීවීන්       112              17               15                 94             3                3
උරගයන්           191*             56               29               122             8                7
මත්ස්‍යයන්         86               29                34               43               2                5
පක්ෂීන්             326*            149              46               33               3                9
ක්ෂීරපායින්        92*              41               46               17               4                 23
සමනළුන්           245             86                35                24              1                4
එකතුව               1052          378               36               332            21                6
* ලංකාව අවට මුහුදු සීමාවේ හැර රට අභ්‍යන්තරයේ පමණක් වාර්තා වන විශේෂ


සජීව චාමිකර



.............................................................................................................................................................................................................................................







සුදු ඇඳුමෙන් ම කසළ ගිල දමන
ගව කොක් රැන


පරිසරයේ සිදු වන වෙනස්කම් බොහෝ පක්ෂි විශේෂයන්හි පරිහානියට හා විනාශයට හේතු වී ඇතත, ඒ වෙනස්කම් ආශිර්වාදයක් වී ඇති පක්ෂියකු අප වෙසෙන වටාපිටාවෙන් නිතර දෙවේලේ දැක්ක හැකි ය. මිනිසුන් විසින් අවිධිමත් ලෙස බැහැර කැරෙන කැළි කසළ බොහෝ ජීවීන් ගේ පැවැත්මට තර්ජනයක් වී ඇත ද, ඒ කැළි කසළින් ම යැපෙන සතුන් මේ පක්ෂියාට ආහාර ප‍්‍රභවයක් වී ඇති බව ඔබ දැන සිටින්නේ ද? 

මේ වූකලි මෙරට වෙසෙන සුදු කොකුන් (Egret) විශේෂ හතරක් අතුරෙන් ප‍්‍රජනන කාලයේ දී වර්ණවත් පිහාටු ලබන, ශරීර ප‍්‍රමාණයෙන් කුඩා ම කොක් විශේෂය වන ගව කොකා. Cattle Egret / Eastern Cattle Egret (Bubulcus coramandus)  හරක් කොකා හෙවත් එෙඬ්ර කොකා පිළිබඳ අනාවරණයකි. සිංහලෙන් මෙන් ම ඉංග‍්‍රීසියෙන් ද මේ පක්ෂීහු මෙබඳු නම් ලැබීමට හේතු වූයේ ඔවුන් නිතර ගවයන් ඇසුරේ දක්නට ලැබීම නිසා ය. මොවුන් සුලබ මෙන් ම වැඩි ම ව්‍යාප්තියක් ඇති කොක් විශේෂය බව ද කිය යුතු ය. එ සේ ම මේ කොක් විශේෂ හතරට ම අයත් පක්ෂීහු මෙරට නිත්‍යවාසීන් වුව, ආවේණික වූවෝ නො වෙති. 

ප‍්‍රමාණයෙන් සෙ.මී. 50 (අඟල් 20) පමණ විශාලත්වයකින් යුත් ගව කොකාට අනෙකුත් සුදු කොකුන්ට මෙන් ම උල් වූ හොටක්, දිගු පාද හා දිගු ගෙලක් තිබේ. එහෙත් මේ පක්ෂියා ගේ ගෙල අනෙක් විශේෂ හා සැසඳීමේ දී දිගින් අඩු ය. එහි මැදින් නැම්මක් දක්නට ලැබේ. හොට සාපෙක්ෂ ව කෙටි හා මහතින් වැඩි ය. පැහැදිලි ව පෙනෙන නිකට ප‍්‍රදේශයක් හා ත‍්‍රිකෝණාකාර හැඩයකින් යුත් හිසක් දරයි. මුළු ශරීරය ම දීප්තිමත් සුදු පාටකින් යුතු ය. හොටය සාමාන්‍යයෙන් කහපාට වන අතර, පාද කළු පැහැයක් ගනී. ඇසට ඉදිරියෙන් හා වට කොට පිහිටන සම් කොටස අළු පැහැති, නිල් - අළු හෝ නිල් - කොළ පාටක් ගනී. ප‍්‍රජනන සමයේ දී පිරිමි හා ගැහැනු පක්ෂීන් ගේ හිසේ, ගෙලේ, පිට ප‍්‍රදේශයේ මෙන් ම ළැම ප‍්‍රදේශයේ ද රන්වන් තැඹිලි හෝ දුඹුරුවන් තැඹිලි පැහැති සිහින් දිග කලව පිහාටු හට ගනී. ප‍්‍රජනන සමයේ බිත්තර දමන කාලයේ දී හොටය තැඹිලි පැහැයකට ද, ඇස් තැඹිලි රතු හෝ රතු පාටකට ද, ඇස අවට ඉදිරියේ ඇති සම් කොටස දීප්තිමත් දම් පැහැයකට ද වෙනස් වේ. එමෙන් ම පාදවල දනිස්වලට ඉහළ කොටස රෝස පැහැයකට ද පත් වේ. 

සාමාන්‍යයෙන් අනෙකුත් කොකුන් හා විශේෂයෙන් ම සුදු කොකුන් පවා ජලජ ජීවීන් තම ප‍්‍රධාන ආහාරය කර ගත්ත ද, ගව කොකා ප‍්‍රධාන වශයෙන් ආහාර කොට ගන්නේ ගොඩබිම හමු වන කුඩා සතුන් ය. මේ නිසා ඔවුන් තම ආහාර සොයා ජලජ පරිසරයන්හි නිත්‍ය ලෙස හමු නොවන අතර, ජලජ ස්ථානයන් ගෙන් බොහෝ බැහැර පවා විශාල සංඛ්‍යාවලින් දැක ගැනීම පහසු වේ. මොවුන් ගේ ප‍්‍රධානතම ආහාරය වන්නේ කෘමීන් හා පණුවන් වැනි කුඩා සතුන් වේ. රංචු වශයෙන් සැරිසරන සාමකාමී ගති පැවැතුම්වලින් ගෙබි මේ පක්ෂියා බොහෝ විට විශාල රංචු ලෙස මෙන් ම වෙනත් පක්ෂීන් සමඟ සාමූහිකව ද දැකගත හැකි වේ. ඇතැම් විට එක ම ස්ථානයක ගව කොකුන් සියයක් ඉක්මවන රංචු ද හමු වේ. සවස් යාමයේ දී ඔවුන් සියලූ දෙනා රාත‍්‍රිය ගත කිරීම සඳහා විශාල ගසකට හෝ ගස් ගොමුවකට පියඹා යති. මේ ගස් බොහෝ විට ජලජ පරිසරයක හෝ ආශ‍්‍රිත ප‍්‍රදේශයක වීම විශේෂත්වයකි. එමෙන් ම එහි දී මොවුන් වෙනත් ජලජ පක්ෂීන් සමඟ එක් ව රාත‍්‍රිය ගත කිරීම ද බොහෝ විට දක්නට ලැබෙන්නකි. පියෑඹීමේ දී දිගු ගෙල නමා ගෙන පාද පසු පසට දිගු කරගෙන සිටී. අනෙකුත් සුදු කොකුන් මෙන් ම සාමාන්‍යයෙන් නිහඬ ව කල් ගත කරන ගව කොකා ප‍්‍රජනන කාලයේ දී කෙටි රළු හඬවල් නැඟීම ඉඳහිට සිදු කරයි. 

ගව කොකා කැදලි සැදීමේ දී සාමූහික චර්යාවන් පෙන්නුම් කරයි. ඉඩකඩ ඇති පරිදි පක්ෂීහු විශාල ගණනක් එකම ගසක් හෝ ගස් ගොමුවක් මේ සඳහා තෝරා ගනිති. මේ ස්ථානය බොහෝ විට අනෙකුත් විශේෂයන් කොකුන් මෙන් ම ඇතැම් විට දියකාවන්, හංසකාවන් හා පැස්තුඩුවන් ද කූඩු තනන ස්ථානයක් වේ. මොවුන් ගේ ප‍්‍රජනන සමය දෙසැම්බර් සිට මැයි මස දක්වා බැව් ජී. එම්. හෙන්රි මහතා ගේ (1971) ශ‍්‍රී ලංකාවේ පක්ෂීන් පිළිබඳ ග‍්‍රන්ථයේ දැක් වේ. ඒ කාලය ම ජෝන් හැරිසන් මහතා ගේ (2010) ග‍්‍රන්ථයේ ද දක්වා තිබේ. එසේ වුව ද, පසු ගිය දශක දෙකක කාලය තිස්සේ මවිසින් කළ නිරීක්ෂණවලින් පෙනුණේ මොවුන් බෝවන කාලය දැන් තරමක් ප‍්‍රමාද බව යි. වියළි කලාපය ඇසුරේ මොවුන් බෝවීම ප‍්‍රධාන වශයෙන් පෙබරවාරි පමණ සිට ඇරැඹෙන අතර, තෙත් කලාපයේ එය ප‍්‍රධාන වශයෙන් සිදුවන්නේ අපේ‍්‍රල් සහ මැයි මාසවල දී ය. මේ වෙනස් තත්ත්වයන් කොපමණ කාලයක් තිස්සේ පැවැතුණා ද යන්න පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් තව ම සිදුකර නොමැත. තෙත් කලාපයේ ගව කොකුන් ගේ ප‍්‍රජනනය ජුනි මාසයේ දී සිදු වනු ඇතැම් වසරවල දැකගත හැකි විය. එමෙන් ම, තෙත් කලාපයේ හමු වන ගව කොකුන් බොහොමයක ගේ ප‍්‍රජනන වර්ණ ලැබීම සිදු වන්නේ මාර්තු මාසයේ පමණ සිට ය. මේ සියල්ල තවදුරටත් නිරීක්ෂණයෙන් පසු ව මොවුන් තම ප‍්‍රජනන කාලයන්හි කිසියම් වෙනසක් සිදු කර ඇත් ද යන්න පෙනී යනු ඇත. 

ප‍්‍රජනන සමය තුළ හටගන්නා තැඹිලි වර්ණ මිශ‍්‍රිත කලව නිසා ඒ කාලය තුළ ගව කොකා ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ය. එහෙත්, කැදැලි සෑදීමේ සිට පැටවුන් නික්ම යන තෙක් ඔවුන් තම සුපුරුදු පෝෂක ස්ථානයන්හි රැඳී සිටින්නේ සුළු කාලයක බැවින් කලව හා ප‍්‍රජනන වර්ණ ඉතා හොඳින් දරනා පක්ෂීන් දැක ගැනීමේ ඉඩ ප‍්‍රස්ථාවන් තරමක් අඩු ය. කැදැලි සෑදීමේ දී මෙන් ම බිත්තර රැකීම, පැටවුන් රැකබලා ගැනීම යන සියලූ කරුණු සඳහා පිරිමි හා ගැහැනු පක්ෂීන් දෙදෙන ම එක සේ දායකත්වය සපයති. කෝටුවලින් තනන කැදැල්ල තුළ බිත්තර 3 - 5 අතර සංඛ්‍යාවක් දැමීම සිදු වේ. සුදු පැහැති බිත්තරවල නිල්වන් ගතියක් දක්ක හැකි ය. පැටවුන් සුදු පැහැති රෝම වැනි පිහාටුවලින් වැසී ඇත. ඔවුන්ට දවස පුරා දෙමාපියන් විසින් ආහාර ලබාදෙනු ලැබේ. 

ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් හා වියළි කලාපවල මෙන් ම පහළ කඳුකරයේ ද එක ලෙසින් සුලබ පක්ෂියකු වන ගව කොකා ඉහළ කඳුකරය තුළ ද තම ව්‍යාප්තිය හා ගහන ඝනත්වය වැඩිකර ගනිමින් සිටී. මොවුන් සාමාන්‍යයෙන් හමුවන්නේ තණබිම්, වගුරු හා ජලාශ‍්‍රිත තෙත්බිම්වල ය. එමෙන් ම නිතර ම ගවයන් හා මී ගවයන් ඇසුරේ අතීතයේ පටන් දක්නට ලැබිණි. විශාල සතුන් ඇසුරේ ගත කිරීම මොවුනට ආහාර පහසුවෙන් ලබා ගැනීමට විශාල උපකාරයකි. ගවයන් හා මී ගවයන් ගේ ශරීරයන්හි වසන හා රුධිරයෙන් මත යැපෙන මැස්සන් වැනි සතුන් ආහාරයට ගැනීමෙන් මේ පක්ෂීහු ඒ ගවයනට යහපතක් සලසති. බොහෝ විට ගව කොකුන් එවැනි සතුන් ඇවිද යන අතර, ඒ අවට සැරිසරමින් පසුවන අතර, ඉවතට පැන යන කෘමීන් ආහාරයට ගනු දක්නට ලැබේ. වනාන්තර පරිසරයන්හි දී මොවුන් මුවන් හා අලින් සමඟ ද මෙසේ එක් ව කාලය ගත කරන අවස්ථා දැක ගත හැකි ය. 

පසුගිය දශක කිහිපයේ සිදු වුණු කෘෂිකාර්මික කටයුතු ව්‍යාප්තිය හා නව ගොඩබිම් ඇති වීම ගව කොකාට ඉතා හිතකර බව පැහැදිලි ය. මොවුන් විශාල වශයෙන් එවැනි විවෘත ස්ථානවල ආහාර සොයනු දැක්ක හැකි ය. එ සේ ම කුඹුරු සීසෑමේ දී හා බිම් සැකසීමේ දී ගව කොක්කු විශාල වශයෙන් නගුල් හා ට‍්‍රැක්ටර් පිටුපසින් යමින් ඒවා මඟින් නිරාවරණය වන කුඩා සතුන් ගොදුරු කර ගැනීමට පුරුදු වී සිටිති. මිනිසුන් කෙරේ ඇති බිය ඉතා අඩුවීම හා කුලෑටි නොවන ගති පැවැතුම් මොවුනට මිනිස් ඇසුරෙන් වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීමට මහෝපකාරී වී ඇත. විශේෂයෙන් ගව කොකුන් යන්ත‍්‍ර හා මිනිසුන් ගේ හඬ කෙරේ කිසිදු බියක් නොපෙන්වන අතර, ගොදුරු ඩැහැ ගැනීමට මිනිසුන් අසලට ම පැමිණෙන අවස්ථාවන් ද සුලබ ව දැක්ක හැකි ය. 


මෑත කාලයේ ගව කොකුන් ඉතා විශාල සංඛ්‍යාවන් ගෙන් දැකිය හැකි ස්ථාන වී ඇත්තේ නාගරික ව හමු වන විශාල විවෘත කැළි කසළ කඳු මත ය. මේ කසළ ගොඩවල විශාල ලෙසින් හමුවන මැස්සන්, පණුවන්, පත්තෑයන් හා අනෙකුත් කුඩා සතුන් මොවුනට ඉතා පහසුවෙන් ලබාගත හැකි, බහුල ව පවතින ආහාර ප‍්‍රභවයක් ව ඇත. මේ නිසා විවෘත කැළි කසළ රඳවනවල ගව කොකුන් සිය ගණනින් හමු වීම සැම විට ම දක්නට ලැබෙන්නකි. ඉතා දැඩි ලෙස දුඟද හමන කැළි කසළ ගොඩවල බල්ලන්, බළලූන්, කපුටන් වැනි සතුන් සමඟ එක් වී ආහාර සොයන ගව කොකුන් නාගරික ප‍්‍රදේශවල සුලබ දසුනකි. එමෙන් ම පසු ගිය දශක දෙකක නිරීක්ෂණයන් ගෙන් පෙනුණේ මෙවැනි කැළි කසළ රැඳැවුම් එවැනි ප‍්‍රදේශයන්හි ගව කොකුන් ගේ සංඛ්‍යාවන් විශාල ලෙසින් ඉහළ යෑමට ප‍්‍රධානතම හේතුවක් ව ඇති බව යි. මොවුන් රාත‍්‍රිය ගත කරන ලැඟුම් ස්ථාන ඇසුරේ කරනු ලබන නිරීක්ෂණ මඟින් මේ තත්ත්වය ඉතා හොඳින් ප‍්‍රකට ව ඇත. මෙවැනි විවෘත කැළි කසළ ගොඩවල් නිසා මේ වන විට කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ මෙන් ම රටේ වෙනත් ප‍්‍රධාන නගර කීපයක් ම ආසන්නයේ ගව කොකුන් ඉතා සුලබ පක්ෂින් වී හමාර ය. එ සේ ම බොහෝ ලැඟුම් ස්ථාන, බෝවන ස්ථාන හා පෝෂක ස්ථාන ඇසුරේ කැරෙන නිරීක්ෂණයන් ගෙන් ද මෙරට සිිටින සුලබ ම කොකා වී ඇත්තේ ගව කොකා බැව් පැහැදිලි ය. එසේ වුව ද, වසරක් පාසා කැරෙන තෙත්බිම් ආශ‍්‍රිත පක්ෂීන් ගේ සමීක්ෂණයෙන් මේ සංඛ්‍යා වැඩිවීම නිසි පරිදි පිළිබිඹු නොවන්නේ මොවුන් ගෙන් වැඩි ම සංඛ්‍යාවක් දැන් තෙත්බිම්වල නො ව, කැළි කසළ ගොඩවල් වැනි ස්ථානයන්හි සිටීම හේතුවෙනි. 


වනාන්තර එළි කිරීම, ගොවිබිම් ඇති වීම, සත්ත්ව පාලනය පුළුල්වීම යන කරුණු ද මේ පක්ෂියාට තව තවත් ඉඩ ප‍්‍රස්ථාවන් ලබා දී තිබේ. එසේ වුව ද ගව කොක් සංඛ්‍යාව හා ව්‍යාප්තිය වැඩිවීම නිසා තවත් කිසියම් පක්ෂියකුට හෝ වෙනත් සතුනට හානියක් වූ බවක් තවමත් පෙනෙන්නට නොමැති වීම විශේෂත්වයකි. එමෙන් ම ඔවුන් ගේ වැඩි වීම කෘෂිකාර්මික පලිබෝධ නාශකයන් විනාශ කිරීමේ මෙහෙවරක් බව ද පෙනෙන්නට තිබේ. 

ලොව පුරා හමු වන සියලූ ම ගව කොකුන් Bubulcus ibis  නම් එක ම විශේෂයක පක්ෂීන් ලෙස අතීතයේ සැලකුණ ද දැන් ඔවුන් විශේෂ දෙකකට බෙදා දක්වා ඇත. මේ අනුව ශ‍්‍රී ලංකාව හා ඉන්දියා කලාපය ද ඇතුළු ව ආසියාවේ හමු වන පක්ෂීන්Bubulcus coramandus  යන නව විශේෂයකට ඇතුළත් වේ. මේ පක්ෂියා දැන් Eastern Cattle Egret  ලෙස ඉංග‍්‍රීසියෙන් හැඳින් වේ. අනෙකුත් ප‍්‍රදේශවල හමු වන ගව කොකුන් කලින් තිබූ Bubulcus ibi යන විද්‍යාත්මක නමින් හා Western Cattle Egret එ යන ඉංග‍්‍රීසි නාමයෙන් හැඳින් වේ. 

නීතීඥ ජගත් ගුණවර්ධන 








No comments:

Post a Comment