vol 5





සදාහරිත කලාපය - 5

ඇතුළත.........................




  • සිංහරාජ අඩවිය දෙකඩ කරන නව මාවත
  • රක්ෂිත අනාරක්ෂිත කරන උතුරු - නැගෙනහිර සවර්ධන න්‍යාය පත්‍රය
  • තිරසර සංවර්ධනය ජාතික සම්පත් කොල්ලය හා කොමිස් කුට්ටි
  • රට පුරා අලි සමීක්ෂණ අවසන් වෙද්දී අලි පැටවකු අනවසරයෙන් ප්‍රවාහනයවෙයි
  • අරුවක්කාලූව වනබිම සම`ග ම කෙළවර දකින බෝදිලිමුන් ගේ අවසන් ජවනිකාව
  • ජලචර සියොත් වග රොද බඳින වන්කාලෙයි කුරුලූ රජදහන
  • සොබාදහමේ ඖෂධාගාර නොමිලයේ පිරිනමන දිව ඔසු
  • යෙදූ වස විස කැවී ආතුරවැව් පුරා ඉකිබිදින දියවර
  • දුම්බර ගල්පර මැඬියාට පිටවල පතන අයිති නැද්ද
  • නැත නා තුරු වෙහෙර අතු අතිනි මල් ගෙන
  • හර්බල් නැචුරල් ලේබල් මුළාවට කාබනික සහතිකකරණයක්
  • අප්‍රිකා දිවයින් ගිලගන්නා අපේ සොඳුරු ආක්‍රමණිකයා
  • මරණයට පෙරාතුව මියයන දිවියක් සඳහා රසායනික දූෂක ලක්ෂයක්
  • නතු බිම් සීමාකිරීමෙන් සමනළුනට වාසි ද? අවාසි ද?




.............................................................................................................................................................................................................................................

අරුවක්කාලූව වනබිම සමග ම කෙලවර දකින
බෝදිලිමුන් ගේ අවසන් ජවනිකාව 


බෝදිලිමා අවතාර, හොල්මන් සහිත අඳුරට අයත් සතකු සේ තවමත් අතැමුන් ගේ විශ්වාස ලෝකයේ ජීවත් වෙයි. පැරැණි ගම්වැද්දන් ගේ නැළැවිලි ගීවල ‘බෝදිලී’ ගැන කියා බියගන්වා දරුවන් නිඳි කරවන අම්මාවරු වෙසෙති. බෝදිලිමා ගේ හැඬීම ගම්වාසියකු ගේ මරණයක් හඟවන පෙර නිමිත්තක් බව ද ගැබිණි සමයේ මිය ගිය කාන්තාවන් ගේ අවතාර ලෙස මේ සතුන් සලකන මිනිස්සු ද තවමත් අප අතර ජීවත් වෙති. 

එහෙත් ස්වභාවයේ අනුමැතියට එරෙහි කිසිවක් නොකරන මේ අහිංසක සත්ත්වයා, මනුෂ්‍යයා ගේ ම අකාරුණික අත පෙවීම් මඟින් විනාශයේ මුවදොර කරා ළඟා කරනු ලැබ සිටියි. 

ලොව පුරා බෝදිලිමුන් විශේෂ 185 ක් පමණ වෙසෙයි. මින් අප‍්‍රිකාවේ හා ආසියාවේ වෙසෙන විශේෂ සියල්ලක් ම කැමේලි ඕ (Chamaeleo)  ගණයට අයත් වේ. මොවුන් ගේ දර්ශීය ශරීර වර්ණය කොළ පැහැය ප‍්‍රමුඛ වුව ද, සිරුරේ පැහැය වෙනස් කිරීමේ හැකියාව මොවුන් සතු සුවිශේෂී ලක්ෂණයකි. ලොව බෝදිලිමුන් විශේෂවල ශරීර ප‍්‍රමාණය 3cm ත් 68cm ත් අතර පරාසයක් ගනී. බොහොමයක් විශේෂවල හිස මුදුනේ අඟක් වැනි නෙරීමක් හෝ විශාල කිරුළක් දක්නට ලැබේ. බෝදිලිමුන් විශේෂ බොහොමයක් වෙසෙන්නේ මැඩගස්කරයේ හා අප‍්‍රිකා කලාපයේ මුහුදු මට්ටමේ සිට මීටර 4200 ක් දක්වා උසින් යුත් ප‍්‍රදේශවල ය. 

කැමේලි ඕ සෙලනිකස් (Chamaeleo zeylanicusයන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ‍්‍රී ලංකා බෝදිලිමා ලංකාවේ පමණක් නො ව, ඉන්දියාවේ හා කලාතුරකින් පකිස්තානයෙන් ද හමු වේ. අප විසින් මින් පෙර සිදු කරන ලද අධ්‍යයනවලට අනුව ලංකාවේ වෙසෙන බෝදිලිමුන් ඉන්දියාවේ වෙසෙන බෝදිලිමුන් ගෙන් තරමක් වෙනස් බව පෙනී ගොස් තිබේ. තව ද ශ‍්‍රී ලංකා බෝදිලිමුන් ජාතික රතු දත්ත වාර්තාවේ ආසන්න තර්ජිත විශේෂයක් ලෙස නම් කර තිබේ. සිංහලෙන් බෝදිලියා හෝ බෝදිලිමා යනුවෙන් ද දමිළ භාෂාවෙන් කොම්බි හෝ ඔන්ති යනුවෙන් ද මොවුන් හැඳින් වේ. හොඳින් වැඩුණු ශ‍්‍රී ලංකා බෝදිලිමකු ගේ දිග 37  cm  ක් පමණ වේ. රුක්වාසී බෝදිලිමුන් පැහැය වෙනස් කිරීමේ විශිෂ්ට හැකියාවක් දරයි. විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව පැහැය වෙනස් කිරීම එකෙකා අතර සන්නිවේදනය කිරීමේ උපක‍්‍රමයකි. පැහැය වෙනස් කිරීමේ අනෙක් අවශ්‍යතාව නම් ශරීර උෂ්ණත්වය පාලනය කිරීම යි. තද පැහැය ළා පැහැයට වඩා තාපය උරාගන්නා බැවින් උෂ්ණත්වය පාලනය කර ගත හැකි චලතාපී සතුන්ට ශරීර උෂ්ණත්ව යාමනයට පැහැය වෙනස් කිරීම ඉතා වැදගත් ය. 

මොවුන් ගේ විශේෂ ලක්ෂණයක් නම් ඉතා දිගු දිවක් තිබීම යි. ගොදුරු ග‍්‍රහණය කර ගන්නේ මේ ඇලෙනසුලූ දිව වේගයෙන් ගොදුර දෙසට යැවීමෙනි. ගොදුර දිවේ ඇලෙන සුළු පෘෂ්ටයේ ගැටුණු පසු හැන්දක් වැනි වූ දිවේ ඉදිරි කෙළවර ආධාරයෙන් නැවත මුඛයට ඇද ගනී. 

ශරීර වර්ණය අඳුරු කොළ සහ කහ හෝ දුඹුරු වන අතර, තද පැහැති පටි දැකගත හැකි ය. බෝදිලිමා ගේ තවත් විශේෂ ලක්ෂණයක් නම් ඉතා සෙමෙන් ගමන් කිරීම යි. මොවුහු ගස්වල අතු තදින් අල්ලා ගැනීමට පරිග‍්‍රාහී වලිගයත් පිළිමල් ඇඟිලිත් භාවිත කරති. තව ද එකිනෙකින් ස්වායත්ත ව චලනය කළ හැකි ඇස් දෙකක් දරයි. බෝදිලිමුන් ප‍්‍රධාන වශයෙන් කෘමි භක්ෂක වෙතැ යි සැලැකුව ද ඔවුහු කුඩා උභයජීවීන්, සිකනලූන් හා හූනන් වැනි පෘෂ්ඨවංශීන් ද ආහාරයට ගනිති. සාමාන්‍යයෙන් වැඩුණු ගැහැනු සතකු බිත්තර 10 ත් 31 ත් අතර ප‍්‍රමාණයක් දමන අතර බිත්තර ඉලිප්සාකාර හැඩයක් ගනියි. කවචය ඉතා මෘදු ය. සුදු පැහැති බිත්තර සෙ.මී. 1.5 ත් 2.2 ත් අතර දිගකින් හා සෙ.මී. 0.9 ත් 1.2 ත් අතර පළලකින් යුක්ත වේ. 

බෝදිලිමා ලංකාවේ වියළි හා ශුෂ්ක ප‍්‍රදේශවලට සීමා වේ. මොවුන් ලංකාවේ වාර්තා වී ඇත්තේ එකිනෙකින් හුදෙකලා වූ වියළි කලාපයට අයත් ප‍්‍රදේශ කිහිපයක ය. ප‍්‍රධාන වශයෙන් ම ඇහිරුණු කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම් මොවුන් ගේ වාසස්ථාන වෙයි. මෙසතුන් ව්‍යාප්ත ව ඇති උච්චත්වය මුහුදු මට්ටමේ සිට මීටර 100 ට වඩා උසින් අඩු ප‍්‍රදේශ පමණි. මේ වන තුරු මේ විශේෂය ප‍්‍රදේශ 16 කින් පමණ වාර්තා වී තිබේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත්ත විල්පත්තුව, අනුරාධපුර, පහළමාරගහවැව, සාලියපුර, පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත්ත පුත්තලම, ආනවිලූන්දාව, එළුවන්කුලම, හලාවත, තබ්බෝව, කිලිනොච්චි දිස්ත‍්‍රික්කයට අයත්ත මාන්කුලම්, මන්නාරම දිස්ත‍්‍රික්කයට අයත්ත මාරිචිචිකඞ්ඩි, මුලතිව් දිස්ත‍්‍රික්කයට අයත්ත මුලතිව්, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට අයත්ත යාල, යාපනය දිස්ත‍්‍රික්කයට අයත්ත යාපනය, මොනරාගල දිස්ත‍්‍රික්කයට අයත්ත නිල්ගල, ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත්ත මිනුවන්ගොඩින් සහ කොළඹින් මේ විශේෂය වාර්තා වී තිබේ. කෙසේ නමුත් ඉතා ඈත අතීතයේ දී කොළඹින් හමු වූ බවට තිබෙන වාර්තාව සැක සහිත වන අතර, ත‍්‍රිකුණාමලයෙන් වාර්තා වී නොමැති වීම විශේෂත්වයකි. 

පුත්තලම දිස්ත‍්‍රික්කයේ එළුවන්කුලම, අරුවක්කාලූ කැලය බෝදිලිමුන් බහුල ලෙස වාර්තාවන ප‍්‍රදේශයක් වශයෙන් හඳුනා ගෙන තිබේ. හොල්සිම් සමාගම විසින් හුණු ලබා ගැනීම සඳහා මේ වනාන්තර ප‍්‍රදේශය එළි කරනු ලැබේ. මුහුදු මට්ටමේ සිට මීටර 20 ක් පමණ උච්චත්වයකින් යුත් මේ ප‍්‍රදේශයේ මයෝසීන යුගයට අයත් වසර මිලියන 5 ත් 23 ත් අතර ප‍්‍රමාණයක් පස් තට්ටුවක් ඇති අතර මේ හුණුගල් ඉතා ගැඹුරට හාරා ඉවත් කර ගෙන යයි. මේ වනාන්තර ප‍්‍රදේශය සුවිශේෂී වූ භූ දර්ශනය වියළි කලාපීය වනාන්තරවලින් ද තැනින් තැන විසිරී ගිය විශාල විවෘත තැනිතලා වැලි වැටි හා විල්ලූ තෙත්බිම් මෙන් ම කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්වලින් ද සමන්විත වේ. හොල්සිම් සමාගමට අයත් හුණු කැණීම් කරන භූමිය පුරාවිද්‍යාත්මක ව ද ඉතා වැදගත් ප‍්‍රදේශයකි. මේ ප‍්‍රදේශයේ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා කටු පඳුරු සහිත ලදු කැලෑ බිම් දක්නට ලැබේ. මෙහි හමු වන ශාක අතර පලූ (Manilkara hexandra)  වීර(Drypetes sepiaria) හා තම්මැන්න(Mischodon zeylanicus) විශේෂ ප‍්‍රමුඛ වේ. බහුල ව හමු වන පදුරු සහිත ශාක අතර නෙරෙන්චි(Acanthospermum hispidum)  කරඹ(Carissa spinarum) රණවරා (Cassia auriculata) වල්කපු (Ceiba pentandra) අන්දර (Dichroatachys cinerea) එරමිණියා (Zizyphus rugosa) ගඳපාන (Lantana camara) හා පොඩි සිංඤ්ඤමරං(Eupatorium odoratum) යන ශාක දැකගත හැකි ය. 

මේ ප‍්‍රදේශයෙන් පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 164 ක් හා සමනළ විශේෂ 51 ක් වාර්තා වී තිබේ. වාර්තා වූ මුළු සත්ත්ව විශේෂ සංඛ්‍යාවෙන් 20 ක් ලංකාවට ආවේණික වන අතර විශේෂ 08 ක් ජාතික මට්ටමෙන් වඳවීමේ තර්ජනයට ලක් වී ඇත. වාර්තා වූ පෘෂ්ඨවංශී සතුන් අතර උභයජීවීන් 15 ක් උරග විශේෂ 48 ක් පක්ෂි විශේෂ 74 ක් හා ක්ෂීරපායී විශේෂ 27 ක් වෙයි. බහුල ව හමුවන සත්ත්ව කාණ්ඩය පක්ෂීන් වන අතර ක්ෂීරපායිහු ද සැලැකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වෙති. මේ ක්ෂීරපායින් අතර අලියා(Elephas maximus)  දඬු ලේනා(Ratufa macroura)  කැලෑ බළලා(Felis chaus) අඳුන් දිවියා (Prionailurus viverrinus)    යන විශේෂ වේ. ජාතික මට්ටමින් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති උරග විශේෂ අතර පන්බරියා (Liopeltis calamaria)  දඟර දණ්ඩා (Chrysopelea taprobanica)  කිරි ඉබ්බා(Lissemys ceylonensis)  තාරකා ඉබ්බා(Geochelone elegans)   යන උරග විශේෂ ද වෙයි.



2009 වසරේ අගෝස්තු මස සිට 2010 වර්ෂයේ ජනවාරි මාසය දක්වා කාලයේ දින 25 ක් අප විසින් මේ වනාන්තර ප‍්‍රදේශයේ හා එළුවන්කුලම ආශ‍්‍රිත ප‍්‍රදේශයේ බෝදිලිමුන් පිළිබඳ ව සමීක්ෂණයක් සිදු කරන ලදි. මේ කාලය තුළ වැඩුණු බෝදිලිමුන් 14 දෙනකු නිරීක්ෂණය කළ ද, පැටවුන් හෝ බිත්තර නිරීක්ෂණය කළ නො හැකි විය. එක් අවස්ථාවක දී පමණක් දහවලක තම්මැන්නා (Mischodon zeylanicus)ශාකයක පොළොව මට්ටමේ සිට මීටර දෙකක උසක දී මොවුන් ගේ සංවාස චර්යාව නිරීක්ෂණය කිරීමට හැකි විය. මොවුන් ගේ ගැවසුම් ප‍්‍රදේශ (Home range) හා ව්‍යාප්ති රටාව සැලැකූ විට මේ ගණයේ වර්ණ ප‍්‍රභේද තුනක් නිරීක්ෂණය කළ හැකි විය. ඒවා නම් කොළ පැහැයට හුරු, කහ පැහැයට හුරු හා දුඹුරු පැහැයට හුරු යන වර්ණ ප‍්‍රභේද යි. 

මේ නිරීක්ෂණ සිදු කළ කාලය තුළ දින කිහිපයක දී එක් බෝදිලිමකු විසින් තණකොළ පෙත්තන් 300 ක්, ගිනිකූරන් 20 ක්, බත්කූරන් 10 ක් ආහාරයට ගන්නා ලදි. බෝදිලිමා අප නිරීක්ෂණය කළ පරිදි නිදා ගැනීම සඳහා නැවුම් කොළ පැහැති අතු තෝරා ගන්නා අතර, රාත‍්‍රියේ නිදා ගනිද්දී හිස, ඉදිරි බාහු දෙක මත තබාගෙන සවස පහේ සිට උදෑසන හය දක්වා නිදා ගනී. මේ සත්ත්වයා උදෑසන 10 සිට දහවල් 12 දක්වා ඉතාමත් ක‍්‍රියාකාරීව සිටින අතර, අනෙකුත් වේලාවන්හි දී ඉතා ම උදාසීන ස්වභාවයෙන් පසු වේ. සමහර අවස්ථාවල දී මොවුන් පොළොව මතින් මීටර පහක පමණ දුරක් ඇවිද ගිය ද ඔවුහු ඉතා ම මන්දගාමී වෙති. අන්තරායකාරී අවස්ථාවන්හි දී ඔවුහු ආරක්ෂාව සඳහා මුඛය විවර කර වේගයෙන් පිඹින අතර, දේහ වර්ණය ළා කොළ වර්ණයේ සිට කළු පැහැයට හුරු කොළ පැහැය දක්වා වෙනස් කරති. අල්ලාගත් විට ඔවුහු අප ගේ අත් තදින් අල්ලා ගනිමින් වලිගය නිදහස් කර චලනය කරති. 

අප ගේ අධ්‍යයනයේ දී නිරීක්ෂණය කළ පරිදි ශ‍්‍රී ලංකාවේ මේ විශේෂය බහුල ව ව්‍යාප්ත ව ඇත්තේ එළුවන්කුලම අරුවක්කාලූව ප‍්‍රදේශයේ වන අතර, වාසස්ථාන අහිමි වීම හේතුවෙන් මේ ගහනය විශාල වශයෙන් තර්ජනයට ලක් ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ ප‍්‍රදේශයේ සිදු වන වනාන්තර එළි කිරීම, හුණුගල් කැඞීම, පිපිරවීම, සැකැසීම හා ප‍්‍රවාහනය මේ ප‍්‍රදේශයේ ජීවත්වන බෝදිලිමුන් ඇතුළු අනෙක් වන සතුන්ට ඉතා අහිතකර ලෙස බලපා තිබේ. 

එළුවන්කුලම ආශ‍්‍රිත ප‍්‍රදේශවල විශාල වශයෙන් වනාන්තර එළි කිරීම හා නොයෙකුත් සංවර්ධන කටයුතු සඳහා කැලෑ ගිනි තැබීම් මඟින් බෝදිලිමුන් ගේ වාසස්ථාන අහිමි කරනු ලැබේ. පොල් හා කජු වගාවන් සඳහා විශාල ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීම ද මේ සතුන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපා තිබේ. 

මේ ප‍්‍රදේශ ආශ‍්‍රිත ව වනාන්තර අනවසරයෙන් අල්ලා ගැනීම හා ජනාවාස ව්‍යාප්ත කිරීම නිසා ගෘහාශ‍්‍රිත විලෝපිකයන් වන බල්ලන් හා පූසන් කැලෑව තුළ දඩයම් කිරීමට පුරුදු වී ඇත. බෝදිලිමෝ මේ සතුන් ගේ ගොදුරු බවට පත් වෙති. මාර්ග අනතුරුවලට ලක් වීම ද මොවුන්ට ඇති තවත් තර්ජනයකි. තව ද, මේ විශේෂය පිළිබඳ ව පැතිරී ඇති මිථ්‍යා විශ්වාස හා ජනකතා හේතුවෙන් ද ප‍්‍රදේශවාසීහූ මේ සතුන් මරා දැමීමට යොමු වෙති. 

හුණු කැනීමෙන් විනාශ කර ඇති අරුවක්කාළුව බොදිලිමුන්ගේ වස්ථාන
අප ගේ අධ්‍යයනයෙන් සොයාගත් පරිදි එළුවන්කුලම මොවුන් ගේ වැඩිම බහුල ව සිදු වන ඇති ප‍්‍රදේශය මෙන් ම මොවුන් වැඩියෙන් ම තර්ජනයට ලක් ව ඇති ප‍්‍රදේශය ද වේ. වාසස්ථාන තෝරා ගැනීම, පරිසර විද්‍යාත්මක බන්ධුතා හා එක ම වාසස්ථානයේ වෙසෙන අනෙකුත් විශේෂ සමඟ බෝදිලිමුන් දක්වන අන්තර්සම්බන්ධතා පිළිබඳ ව ප‍්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැති වීම මේ විශේෂය සංරක්ෂණයට ඇති විශාල ම බාධකයකි. එනිසා මේ විශේෂයේ සංරක්ෂණය සඳහා සැලැසුම් පිළියෙල කිරීමත් ක‍්‍රියාත්මක කිරීමත් සඳහා ලංකාව තුළ බෝදිලිමා ගේ ව්‍යාප්තිය, ගහනයේ ව්‍යුහය හා ගහන ගනත්වය පිළිබඳ ව විධිමත් සමීක්ෂණ සිදු කළ යුතු ය. 

එළුවන්කුලම ප‍්‍රදේශයේ හායනය වූ වාසස්ථාන නැවත පිහිටුවීම සඳහා විධිමත් ප‍්‍රතිස්ථාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම තුළින් බෝදිලිමා ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීමේ හැකියාව පවතී. ඒ සඳහා හුණුගල් ලබා ගැනීමට හොල්සිම් ලංකා පෞද්ගලික සමාගම මඟින් කැණීම් කළ ප‍්‍රදේශවල ප‍්‍රතිස්ථාපන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉතා ම අවශ්‍ය ව ඇත. ඊට හේතුව බෝදිලිමුන් ගේ සැලැකිය යුතු ගණයක් මේ ප‍්‍රදේශයේ ජීවත් වන නිසා ය. මේ දත්ත පාදක කර ගෙන හොල්සිම් සමාගම් ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට ප‍්‍රථම මේ ප‍්‍රදේශයේ පුළුල් ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කර නිසි සංරක්ෂණ සැලැසුමක් මත පදනම් ව කැණීම් කටයුතු සිදු කළ යුතු ව ඇත. එසේ නොවුණ හොත් බෝදිලිමා ගේ  සුවිශේෂී නිවහනක් වන අරුවක්කාලූව ප‍්‍රදේශයෙන් මේ සතුන් සම්පූර්ණයෙන් ම වඳ වී යා හැකි ය. 

ඞී. එම්. සමීර
එස්. කරුණාරත්න
ඒ. ඒ. තසුන් අමරසිංහ



.............................................................................................................................................................................................................................................


නැත නා තුරු වෙහෙර

අතු අතිනි මල් ගෙන




මීදුම මුසු ඇඳිරිය දුරහැර කළුකපා එළියෙහි තව නව දවසකට සැරැසෙන මෙන් සෙමෙන් මතු වන කඳු මඬුලූ ය. සිරුරෙහි සියලූ දාහ ගති පිසහරිමින් දිවෙන ඇල් සුළඟ, ඔසු මුසු ප‍්‍රබෝධයක් වැන්න. මෑත ගිරි පෙදෙසට වට උදා එළියෙහි මඳහස දාගැබක සුදෝසුදු බඳ මත ලෙළෙන’යුරු කඳු අතර පැනනැෙඟන නයන සනහන දසුනකි. උපසන්තාරාම නම් මහ වෙහෙරෙහි සීමාව සලකුණු කරමින් ඒ මහ සෑයෙහි ධර්ම කේතුව බැබැළෙනු පෙනෙයි. 


එ දවස මේ පුදබිම පිස හැමූ සුළෙඟහි වූ මල් සුවඳ අද නැත. සුළඟින් සසල අතුපත් පවා උදැහැන නිහැඬියාවට මුසු කළ කෙඳුරුම්හි එදා වූ සැදෑබර මැතුරුම් සර අද නො වේ. මඳ හෝ නිස්කාංසුවකට පත් වන දවසේ කවර හෝ මොහොතක නෙත් වසා වැතිරගත් සැණ එදා උපසන්තාරාම වෙහෙරෙ සිහියෙහි ඇඳෙයි. එදා එහි වැඩ විසූ නාමධම්ම නම් යතිනායක හිමියෝ ද ඒ සමඟ ම මා අබිමුව පහළ වෙති. එදා වෙහෙරෙහි ආවාස අංගණය සෙවෙණි කොට පැවැති නා තුරුවල සිහිල පවා සියලඟ පැතිර යන්නාක් මෙන් දැනුදු දැනෙන්ට වෙයි. 


‘කෙළ නා බිඟු රැවින් බුදු මතුරු දපමින
සිටි නා තුරු වෙහෙර අතු අතිනි මල්  ගෙන
යති නා යක එහිමි බුදු බව ලබන    දින
සිටි නා වැනි ය පිට දෙන ලෙසට පතමින’   

වීදාගම මහ මෙත් පාමුල තෙරිඳුන්ට කෑරගල පද්මාවතී වෙහෙරෙහි නා ගස්වල කෙළියෙහි යෙදෙන බිඟුන් ගේ රැවු ඇසුණේ, ඒ නා රුක් බුදු මතුරු මතුරන්නාක් ලෙසිනි. ඒ රුක් සිය අතු අත්වලින් මල් රැගෙන සිටියේ ඒ වෙහෙරෙහි වනරතන නා හිමි බුදු බව ලබන දින තම හට පිට දෙනු ඇතැ යි පතන්නාක් මෙනි. 
උපසන්තාරාමයෙහි වැඩ විසූ නාමධම්ම යතිනායක තෙරිඳුන් ගේ ගුණ කඳ මෙනෙහි කරමින් මම දස වසරකට පසු ව උන්වහන්සේ හදා වඩා පෙහෙණි කළ ඒ ශුද්ධස්ථානයට ළඟා වෙමින් සිටිමි. එහි ඇති නා තුරු තවමත් නාමධම්ම තෙරිඳුන් ගේ නිකැළැල් ගුණ සුවඳ දනවන බුදු මතුරු මතුරනු ඇද්ද?


උපසන්තාරාමයේ මහ දොරෙහි රැඳී හුන් රැකවල්කරුවෙක් උදෑසන ම එහි පිවිසෙන මා දෙස සැක මුසු බැලූම් හෙළී ය. මට පෙරාතු ව පැමිණි වන්දනාකරුවන් ගේ ගමන් මලූ ද සුපරීක්ෂාවට ලක් වනු පෙනිණි. සංඝාවාසය අබියස මළුවෙන් එපිට පුළුල් වාහන අංගණය උපසන්ත කඳු බිමෙහි පාද තලය කපා සමතලා කිරීමෙහි ඵලයකි. බලගතු දෙවොල පුද බිමෙහි මුදුනත ය. එවෙත ආ බැතිමතුන් ගේ දිවියෙහි පිළිඹිඹු පළකරමින් අංගණයෙහි වූ රිය පෙළ මහේශාඛ්‍ය මුහුණෙන් යුතු ව විවේක සුව වලඳනු වැන්න. බිඟු රැවු පිළිරැවුවල එතුණු නා තුරු පෙළ සිතෙහි ම ශේෂ ව නැවතුණු සිහිනයක් වැනි විය. 


බදාම අතුරා කළ එක් මඟක් අර්ධ කවාකාර ව ඇඳී ගොස් පුද බිම මුදුනෙහි උපසන්ත ධර්ම මන්දිරය  වෙත යොමු වෙයි. විහාර භූමියෙහි දර්ශනශ‍්‍රියට හේතු වූ හොර, දොරණ, කැකුණ, යකහළු වැනි මහ වන තුරු නැඟී සිටි තැන්වල දැන් අහස ම පමණකි ! එදා රැවු දුන් පිරිත් ගාථා නො ව යාතිකාවක හඬ බෝ මළුව දක්වා පැතිරෙයි ! බැතිමත්හු මේ උදැහැන පවා දෙවොල අබිමුව පෙළ සැදී තම වාරය එන තුරු නොඉවසිලි ව පසු වෙති. 


පුරා දස වසකින් මා මෙහි පැමිණියේ යොවුන් වියෙහි මා මෙහි දුටු ප‍්‍රීති සහගත සෞන්දර්යය යළි දැක විඳ තුටු වනු පිණිස ය. ඉදිරියෙන් හෝ පසු පසින් අනෙකකු නො දක්නා ලැබෙන කායික හුදෙකලාවෙහි ඇලූණ භික්ෂු කෙනකුන් වන්නට පැතූ නාමධම්ම මහ තෙරුන් වහන්සේ ගේ නිවුණු ප‍්‍රමුදිත මුහුණුවර සිත්හි මවා ගැන්මට වුව අද මේ පරිසරයෙන් අනුබල නො ලැබෙයි. එ හිමියන් පැතූ ආරාමික ජීවිතය සුඛ ප‍්‍රතික්ෂේපයට ඉඩ නොදෙන බලවේගයන් විසින් කළඹනු ලැබිණි. සියල්ල විපරිණාම වෙමින් පැවැති මින් දස වසරකට පෙර දිනෙක මහා දායක සභාවක් අමතා උන්වහන්සේ දේශනාවක යෙදුණු අයුරු මට සිහිපත් වෙයි.


එදින ප‍්‍රභූහු දෙදෙනෙක්, නවීන අංගෝපාංග සහිත භාවනා මන්දිරයක් ගොඩනඟනු පිණිස ධන පරිත්‍යාගක යෙදෙනු කැමැති ව සිය අදහස දක්වූ හ. ඒ සඳහා භූමිය සැකැසීමේ දී පුදබිමෙහි එක් පසෙක රමණීය තුරු වැටිය පෙරළා දැමිය යුතු විය. පහළ මළුවෙන් නොනැවතී ඒ දහම් මැඳුර වෙත රථවලින් ළඟා විය හැකි ලෙස මඟ තැනීමට භූමියේ එක් බෑවුම් පෙදෙසක් කපා දැමීම කළ යුතු විය. සුව පහස් සහිත ආවාස තැනීමේ දී වන බිමෙහි සොබා සොඳුරු මුහුණුවර කෙලෙසෙනු ඇතැ යි කිසිවෙක් කල්පනා නො කළ හ. 


අවසන, නාමධම්ම හිමියෝ ධන පරිත්‍යාගයට කැමැති ව සියලූ යෝජනා ගෙන ආ පින්වතුනට කෘතඥතාව පළ කරමින් කතා කරන්නට වූ හ. 


”අද මේ ඉදිරිපත් වුණු සියලූ යෝජනා සමඟ අප කල්පනා කළ යුතු යමක් තිබෙනවා. අප දන්නවා අපේ ශරීරගත ඉන්ද්‍රියයන් ගෙන් එකකට හෝ අනෙක් ඉන්ද්‍රියයන් ගෙන් වෙන් ව පැවැත්මක් නැති බව. හැඩයෙන් එකකට එකක් වෙනස් වුවත්, කරන කාර්යයන් ගෙන් වෙනස් වුවත්, ඒ එකකට හෝ අනෙක් ඉන්ද්‍රියයන් ගෙන් වෙන් වූ පැවැත්මක් නැති බව. වෙන් ව පවතින බවක් පෙණුනත් ඒවා එකිනෙක සම්බන්ධ යි. සාගරයේ අනන්ත අප‍්‍රමාණ රළ තරංග ඔබ දැක තිබෙනවා. ඒ හැම රළක් ම තවත් රළක් හා සම්බන්ධ යි. අප තුළ ම වන ඉන්ද්‍රියයන්, පෙණහලූ, රුධිරය, ආමාශය සහ ඒ සමඟ පවතින වාතය යන සියල්ල එක ම සම්බන්ධතාවක පවතිනවා. ඒ වගේ ම අපෙන් බැහැර කුදු මහත් හැම දේ ම අප හා සම්බන්ධ යි. ඉතින් මේ විහාර භූමියට අයත් කඳු මුදුනෙ තිබෙන රමණීය වන මණ්ඩියත්, මේ භූමියත් අතර තිබෙන්නෙ එබඳු ම ලේ නෑකමක්. ඒ තුරු වැටිය මේ බිම සමඟ පමණක් නොවෙයි. ඔබ සමඟත් සම්බන්ධ යි. මේ කඳු බිමේ බෑවුමකින් පාරක් කැපිය හැකි යි. ඒත් ඒ කැපෙන භූමිය මුළු මහත් පුද බිම හා සමඟ දැඩි බැඳීමකයි පවතින්නෙ. මේ පුද බිමේ ම පැවැත්මට ඒ කැපෙන ප‍්‍රමාණය බලපානවා. ඉතින් පින්වතුනි, කිසිවක තනි පැවැතුමක් නැත කියන මේ ධර්මතාව වටහා ගත්තොත් අපට සොබාදහමේ පැවැත්මට අත පොවන්න බැහැ” 


එ දවස යෞවනයකු සේ මෙහි ආ ගිය නෙක වර මෙ බිම පැවතුණු ශුද්ධත්වයට හේතු වූවෝ නාමධම්ම හිමි ඇතුළු පිරිවර මහ සඟ ගණ ය. ධර්මය දකිමින් ම බුදුන් දුටු උන්වහන්සේ ම ශුද්ධත්වයට හේතු වූ හ. ශුද්ධ හෝ අශුද්ධ භාවයට හේතු වන්නේ පුද්ගලයා ඒ සියල්ල කෙරෙහි බලපාන ස්වභාව ය අනුව නො වේ ද? 


පමා බව නො පමා වීමෙන් ජයගනු පිණිස වෙහෙසුණු පුරුෂ ශ්‍රේෂ්ඨයකු විසූ බිමෙක අර්හත් ධජය දරාගත් කිසිවකු ආධාර පතා යකඩ කටකින් හඬ තළනු ඇසේ ! නා තුරු සෙවණ පැතිර ගිය බිම දිවා හිරු ගේ ගිනියමින් දැ වෙයි !


නන්දන වීරසිංහ  
  

.............................................................................................................................................................................................................................................




අප‍්‍රිකා දිවයින් ගිලගන්නා අපේ සොඳුරු ආක‍්‍රමණිකයා

ලොව ජෛව පාලන ඉතිහාසයේ ලාංකික මං සලකුණ

නුවරඑළියේ සිට වැලිමඩ පාරේ යන විට හමු වන බොරගස් නම් කඩමංඩිය ඔබට මතක ද? වැලිමඩ සිට හපුතලේ යන විට ඇති පාරේ බොරලන්ද කුඩා නගරයට ඔබ ගොස් තිබේ ද? බොරගස්, බොරලන්ද ප‍්‍රදේශවලට මේ නම ලැබී ඇත්තේ ඇයි? ඒ එකී ප‍්‍රදේශයන්ට ආවේණික බොර හෙවත්Ligustrum robustum ලෙසින් විද්‍යාත්මක ව හඳුන්වන ශාකයක් හේතු කොටගෙන ය. බොර පැහැය හෙවත් ළා කහ පැහැයෙන් යුක්ත මේ ශාකය අඩි 10 - 30 දක්වා උස වන අතර, අගෝස්තු මාසවල දී කහ පාට මලින් ද නොවැම්බර් කාලවල දී දම්පාට කුඩා ඵලවලින් ද වැසී යයි. එබැවින් මේ කාලවල දී දහස් ගණනක් වන පක්ෂීන් හට තෝතැන්නක් වන බොර ශාකය, වැලිමඩ, බොරලන්ද, හඟුරන්කෙත, බෙලිහුල්ඔය ආදී ප‍්‍රදේශයන්හි ද උඩරට තේ වතු ආශ‍්‍රිත බංගලා උද්‍යානයන්හි විසිතුරු ශාකයක් ලෙස ද නොවැරැදී ම දක්නට ලැබේ.Oleacea  කුලයේ හෙවත් සමන්මල් කුලයේ ශාකයක් වන බොර ශාකයේ උප විශේෂයක් ලංකාවට ආවේණික වේ.

එහෙත් මේ බොර ශාකය, මේ වන විට ලොව අතිශය භයානක ආක‍්‍රමණකාරී ශාකයක් ලෙස හඳුනාගෙන ඇති බව ඔබ දන්නවාද? ICUN ආයතනය මඟින් ප‍්‍රකාශනයට පත් කරන ලොව වනාන්තර ආශ‍්‍රිත භයානක ම ආක‍්‍රමණික ශාකයක් ලෙස හඳුන්වා දී ඇති බොර ශාකය පාලනය කිරීම කිසිදු රසායනික හෝ භෞතික ක‍්‍රමයකින් අසීරු වී ඇත. 

මදක් ඉවසන්න, බොර ශාකය ආක‍්‍රමණිකයකු වී ඇත්තේ ලංකාවේ නො වේ. අප ගේ දේශීය ශාකයක් වන බොර ශාකය, අප හට සොබා සිරියෙන් සහ ජෛව සම්පතින් සපිරි මිල කළ නො හැකි සොබා සම්පතකි. උඩරට ඇතැම් ගම් සහ නගරවලට මේ ශාකයේ නම ලැබීමෙන් ම එහි වටිනාකම තවත් තහවුරු වේ. 

එසේ නම් අප ගේ බොර ශාකය ලොව ප‍්‍රබල ආක‍්‍රමණිකයකු වුයේ කෙසේ ද? එය ආක‍්‍රමණිකයකු ලෙස ක‍්‍රියා කරන්නේ ලොව කවර ප‍්‍රදේශයන්හි ද? බොර ශාකයේ ආක‍්‍රමණික භාවය නැති කළ හැක්කේ කෙසේ ද? එමඟින් අප රටේ එවන් ආක‍්‍රමණකාරී ශාක විශේෂ පාලනය කිරීමට කටයුතු කළ හැක්කේ කෙසේ ද? මේ සියලූ කරුණු පිළිබඳ ව දීර්ඝකාලීන සහභාගිත්ව පර්යේෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය සහ කෘෂිකර්ම පීඨය සමඟ මහා බි‍්‍රතාන්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කෘෂිකර්ම ආයතනය (CABI Bioscience)  සහ පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානය විසින් සිදු කරන ලදි. ප‍්‍රංශ රජය මේ පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සැපැයී ය.

මේ පර්යේෂණ පිළිබඳ ව තවදුරටත් සොයා බැලීම සඳහා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, එච්. එන්. පී. විජේගුණසේකර, කෘෂිකර්ම පර්යේෂණ ප‍්‍රතිපත්ති සභාවේ මහින්ද සකලසූරිය සහ පේරාදෙණිය උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ, අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර යන මහත්වරුන් හමු වීමු.

අපි දැන් ඉහත ගැටලූව පර්යේෂකයන් වෙත යොමු කරමු
බොර ශාකය දැනට දකුණු අප‍්‍රිකාවට ආසන්න මුරුසි සහ රියුනියන් දූපත් රාජ්‍යයන් ආශ‍්‍රිත ව ඒ දිවයින්වල ඇති උප නිවර්තන වනාන්තරවල පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කර ඇති ශාකයකි. අප රටේ මෙවන් ආක‍්‍රමණික ශාක වන යෝධ නිදිකුම්බා සහ හිඟුරු වැනි ශාක මෙන් ඝන ව වැඩෙන මේ ශාකය 1890 දශකයේ දී පමණ ඉංග‍්‍රීසි ජාතිකයන් මුරුසි දිවයිනට ගෙන ගොස් ඇත්තේ ඒ දිවයින්වල ඉංග‍්‍රීසි ජාතිකයන් විසින් ආරම්භ කරන ලද කොනිපර වගාවන් මුවන් ගෙන් බේරා ගැනීම සඳහා යි. ලංකාව මෙන් ම මුරුසි දිවයින ද ඒ වන විට ඉංග‍්‍රීසි යටත් විජිත ලෙස පැවැති අතර, සිංහලේ අන්තිම රජු වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ද පිටුවහල් කැරුණේ මෙකී මුරුසි දිවයිනට යි. අන්නාසි ශාකයේ මුරුසි ප‍්‍රභේදය අප රටට ලැබණේ මේ දිවයිනෙනි.  

කෙසේ හෝ මේ ශාකය පසුකාලීන ව අදාළ පරිසර පද්ධතියේ දී ආක‍්‍රමණකාරී ශාකයක් බවට පත් වූ අතර, අසල ඇති මැඩගස්කර සහ රියුනියන් දූපත්වලට ද සංක‍්‍රමණය විය. 

ලංකාවේ බොර ශාකය මෙසේ ආක‍්‍රමණකාරී හැසිරීමක් පෙන්නුම් කරන්නේ කෙසේ ද?  
පැළෑටියක් සිය නිජබිමේ වසර දහස් ගණනක් එකී පරිසරයේ ජීවත් වන වෙනත් ශාක සහ සත්ත්ව විශේෂ සමඟ සම්බන්ධතා පවත්වනවා. පරිණාමික ක‍්‍රියාවලිය සමඟ වන මේ අති දිගුකාලීන සංසිද්ධියේ දී, පරිසරයේ ජීවත්වන කෘමීන්, සිවුපාවුන්, ක්ෂුද්‍ර ජීවීන් මෙන් ම මිනිසා ද ඇතුලූ සියලූ සංරචක සමඟ අන්තර්ක‍්‍රියා රාශියක් සිදු කරනවා. මේ ක‍්‍රියාවලිය හරහා කෘමීන්, සිවුපාවුන්, ක්ෂුද්‍ර ජීවීන් වසර කෝටි ගණනක් සිය වාසස්ථාන, ආහාර අවශ්‍යතා සඳහා සබඳතා ගොඩනංවා ගන්නා අතර, එහි ප‍්‍රතිඵලය වන්නේ අදාළ ජීවීන් හට ඒ පරිසරයෙන් ඈත ව සිය ජීවන චක‍්‍රය ක‍්‍රමවත් ව ගොඩන`ගාගත නො හැකි වීම යි. සොබාදහමේ අපූරු සමතුලිත ක‍්‍රියාදාමයක් වන මෙහි දී, කිසිදු ජීවියකුට තවකකු අභිබවා යෑමට හැකියාවක් ලැබෙන්නේ නෑ. ස්වාභාවික ව සියලූ ජීවීන් පාලනයකට ලක් වී ඇති අතර ම එයින් ඒ ජීවියා ගේ මෙන් ම අනෙකුත් ජීවීන් ගේ පැවැත්ම ද තහවුරු වෙනවා. එසේ ම සියලූ පරිසර සාධක උදාහරණ ලෙස ජලය, පෝෂණය, හිරුඑළිය ආදි සියලූ සම්පත් එකෙකා අතර සම ව බෙදා හැරෙනවා. 

පෙරදි මිනිසා ද මෙසේ ස්වාභාවික පරිසරයේ සමතුළිත සාධකයක් වුව ද, ඔවුන් ගේ අවිධිමත් ක‍්‍රියාකාරීත්වයන් හේතුවෙන් මිනිසා පරිසරයේ අසමතුළිත සාධකයක් වී ඇත. එසේ නම් යම් සතකු හෝ ශාකයක් ආක‍්‍රමණිකයකු වන්නේ කෙසේ ද? එසේ ම මිනිසා විසින් සිය අවශ්‍යතා සඳහා යොදා ගන්නා සතුන්, කෘෂිකාර්මික ශාක මේ සමතුළිතයෙන් බැහැර ව ඇත. 

මෙහි දී යම් පරිසරයක ජීවත්වන සතකු හෝ ශාකයක්, මිනිසා ගේ අවශ්‍යතා සඳහා මේ ජීවියා ගේ ආසන්න නෑ සබඳකම් නොමැති ජීවීන් සිටින පරිසරයකට හඳුන්වා දෙයි. ඉතා කලාතුරකින් ස්වාභාවික සංසිද්ධි මඟින් මෙසේ ආගන්තුක ජීවීන් පරිසර පද්ධති වෙත ඇතුළු වූ බවට සාධක ඇත. ස්වාභාවික පරිසරයේ ඒ ජීවියා ගේ සමතුළිතතාව රකින ජෛව සාධක කිසිවක් නව ආගන්තුක පරිසරයේ නොතිබීම හේතුවෙන් අදාළ ශාකයේ හෝ සත්ත්වයා ගේ ගහනය, වර්ධනය සහ ක‍්‍රියාකාරීත්වයන් අදාළ පරිසරයේ ස්වාභාවික ව ජීවත්වන ජීවීන්ට සාපෙක්ෂ ව අසාමාන්‍ය ලෙස වැඩි වේ. මෙහි දී ආගන්තුක පරිසරයේ පාරිසරික සාධක නව ජීවියාට හිතකර වූ විට ඒ ජීවියා ගේ ගහන ඝනත්වය ඉතා විශාල ලෙස වර්ධනය වන අතර, බොහෝ ශාක ආගන්තුක පරිසරයේ ඝන ස්තරයක් ලෙස වර්ධනය වෙමින් අනෙකුත් පැළෑටි හා සතුන් ගේ වර්ධනය නවත්වා ලීමට සහ වළකාලීමට කටයුතු කරයි. 

මෙවැනි අවස්ථාවක අදාළ ජීවියා ආක‍්‍රමණකාරී ලෙස හැසිරෙන බව දක්වනු ලැබේ
අප ගේ බොර ශාකය ද මෙසේ දකුණු අප‍්‍රිකාව ආසන්න දූපත්වලට හඳුන්වා දීමෙන් අනතුරු ව ස්වාභාවික පරිසරයේ ඇති වරණීය සාධක නොමැති වීමත්, හඳුන්වා දුන් පරිසරයේ ඇති දේශගුණික සාධක සුදුසු වීමත් හේතු කොට ගෙන ආක‍්‍රමණික ශාකයක් බවට පත් වුණා. කුඩා දිවයින් දූපත්වන මුරුසි සහ රියුනියන් රටවල්වල ඊට ආවේණික ඉහළ ජෛව විවිධත්වයක් තිබෙනවා. බොර ශාකය ඒ පරිසර පද්ධතියට ඉතා විශාල හානියක් කර තිබෙනවා. 

ජෛව පාලනය බොර ශාකයේ ආක‍්‍රමික බව පාලනයට යොදා ගැනුණේ කෙසේ ද?
බොර ශාකයේ මල්
ජෛව පාලනයේ මූලික හරය යම් ආගන්තුක පරිසරයකට මුදා හැරීමෙන් පසු ආක‍්‍රමණිකයකු හෝ හානිදායක බවට පත් වූ ජීවියකු ගේ ආක‍්‍රමණකාරී ගතිලක්ෂණ අවම කිරීම යි. මෙහි දී විද්‍යාත්මක ක‍්‍රමවේදයන් මඟින් අදාළ ජීවියා ආගන්තුක පරිසරයේ තවත් ස්වාභාවික සංරචකයක් බවට පත් කරනවා. එයින් ඒ ජීවියා විනාශ කිරීමෙන් තොර ව ස්වාභාවික සමතුළිතතාවයකට පත් කරනවා. මේ ස්වාභාවිකකරණය හරියට වැරදි කරන ළමයකු හොඳ ළමයකු බවට පත් කිරීමට කරන පුනරුත්ථාපන ක‍්‍රියාවලියකට සමාන යි.

මේ කාර්යය සඳහා ලොව සියලූ රටවල් පිළිගන්නා ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මඟින් එළිදක්වන ලද විද්‍යාත්මක ක‍්‍රමවේදය භාවිත කරනවා. එය ඉතා සංකීර්ණ විද්‍යාත්මක ක‍්‍රමයක් වන අතර, සියලූ ඇගැයීම් ක‍්‍රියාවලීන් සඳහා විද්‍යාඥයන් සිය ගණනක් සහභාගි වෙනවා. 

මුලින් ම අප ආක‍්‍රමණකාරී බොර ශාකයේ නිජභූමිය නිවැරදි ව සොයා ගැනීමට මහන්සි වුණා. අප හැමට ම මෙන් ශාකවලටත් නිජබිමක් හෙවත් පරිණාමන මධ්‍යස්ථානයක් තිබෙනවා. ජෛව පාලන වැඩසටහනක දී මේ නිජබිම සොයා යෑම තීරණාත්මක යි. වාසනාවක් මෙන් මුරුසි දිවයින සහ ලංකාව අතර වසර 1890 දී පමණ කරන ලද පැළෑටි හුවමාරුවක් මඟින් බොර ශාකය මුරුසි දිවයිනට ලංකාවෙන් ගෙන ගොස් ඇති බව සොයා ගැණුනු අතර නූතන ජෛව තාක්ෂණික ක‍්‍රමවේදයන් මඟින් එය තහවුරු කැරුණා. එසේ ම ලංකාවේ බොර ශාකය බොරලන්ද ආශ‍්‍රිත ව පරිණාමනය වී ඇති බවත් සොයා ගැනුණා. මේ නිජබිම් සොයා යෑමෙන් අප බලාපොරොත්තු වන්නේ බොර ශාකයේ පරිණාමන කාලයේ වසර කෝටි ගණනක් ඒ ශාකය සමඟ ජීවත් වුණ කෘමි සහ ක්ෂුද්‍ර ජීවීන් සොයාගැන්මේ හැකියාව යි. මෙහි දී විද්‍යාඥයන් එක්තරා කාල ගවේෂණයක් කරනවා. වසර කෝටි ගණනක පරිණාම ක‍්‍රියාවලිය සොයා, අදාළ ජීවියාට චරිත සහතිකයක් (Character Certificate) දීම මඟින් ජීවියා ගේ ආහාර රටා, ජීවන රටා ඔහු ගේ වෙනත් ආශ‍්‍රිත ජීවීන් (යාළුවන් - ස්වාභාවික පරිසරයේ සතුරන්* සොයා යෑමයි මෙහි අරමුණ. 

මේ පර්යේෂණයේ දී බොර ශාකය ආශ‍්‍රිත ව ජීවත්වන කෘමි විශේෂ 25 ක් පමණ අපට සොයා ගත හැකි වුණා. එයින් විශේෂ හතක් බොර ශාකය මත ම ජීවත් වන සිය ආහාර සහ වාසස්ථානය ඒ ශාකයෙන් ම සම්පූර්ණ කර ගන්නා කෘමින් වන අතර, ඔවුන් ගෙන් පස් දෙනකු ලංකාවට ආවේණික බව සොයා ගැනුණා. 

ජෛව පාලනය සඳහා යොදා ගැනීමට අදාළ කෘමි විශේෂ, බොර ශාකය හැර අන් කිසිදු ශාකයක් ආගන්තුක පරිසරයේ දී ආහාරයට නො ගත යුතු යි. එසේ වුව හොත් ඒ කෘමියා නව පරිසරයේ දී පළිබෝධකයකු විය හැකි යි. එය තහවුරු කර ගැනීම සඳහා දිගුකාලීන ව විද්‍යාගාර පර්යේෂණ රාශියක් කළ යුතු වෙනවා. මෙහි දී බොර ශාකය මෙන් ම ඊට සමානකම් දක්වන ශාක වර්ගීකරණයේ දී ළඟින් සබඳතා පවත්වන ශාක රාශියක් කෘමින් ගේ ආහාරයට ලබා දී ඔවුන් ගේ ආහාර රටා අධ්‍යයනය කළ යුතු වෙනවා. තව ද කෘමින් ගේ සමීප සබඳකම්, ඔවුන් ගේ ස්වාභාවික හැසිරීම් රටා, ස්වාභාවික සතුරන් මෙන් ම නව පරිසරයේ දී ඔවුන් කෙසේ හැසිරේ ද යන්න අධ්‍යයනයට ලක් කළ යුතු වෙනවා. මේ සම්පූර්ණ ක‍්‍රියාවලිය දැඩි අන්තර්ජාතික තත්ත්ව පරීක්ෂණ ක‍්‍රියාදාමයකට යටත් ව කළ යුතු අතර ම, එමඟින් ජෛව පාලනයට ලක් වන කෘමියා ගේ විශේෂිත බව තහවුරු කර ගත යුතු වෙනවා. එසේ ම සත්ත්ව වර්ගීකරණය යටතේ යම් සතකු ගේ ළඟ සබඳතාවක් ඇති කෘමියකු ලොව කොතැනක හෝ පළිබෝධකයකු ලෙස වාර්තා වෙනවානම් අදාළ කෘමියා ජෛව පාලකයකු ලෙස යොදා ගන්නා අවස්ථා අඩු යි.  

බොර ශාකයේ ජීවත් වන ඉතා කුඩා සලබ විශේෂයක් මේ සියලූ පර්යේෂණ මඟින් බොර ශාකයට විශේෂිත කෘමි සතකු බව සොයා ගැනුණා. එහෙත්, මුරුසි සහ රියුනියන් දිවයින්වලට මුදා හැරීමට පෙර පර්යේෂණගාරවල දී තවදුරටත් මේ සතා පිළිබඳ ව ගවේෂණයන් කෙරෙනවා. 
මේ අධ්‍යනය මඟින් අප රටට ලැබෙන වාසි කවරේ ද?

අප පෙර සඳහන් කළ ආකාරයට ලංකාව, රියුනියන්, මුරුසි මේ සැම එකක් ම කුඩාදූපත්. ජෛව විද්‍යාවේ දූපත් සඳහන් වන්නේ ජෛව පරිණාමයේ විද්‍යාගාර ලෙසට යි. ලොව ඉතා ම ඉහළ ජෛව විවිධත්වයක් මේ සියලූ දිවයින්වල දක්නට ලැබෙනවා. වෙනකක් තබා පරිණාමවාදය බිහි වුණේ ද ගලපාගෝස් නම් කුඩා දිවයිනක් කේන්ද්‍ර කර ගෙන යි. එසේ ම ආගන්තුක ජීවීන් ගේ ක‍්‍රියාකාරීත්වයන් මඟින් මෙවැනි දූපත්වල ජෛව විවිධත්වයට වන හානිය මිල කළ නො හැකි තරම්.  

ලංකාවට ආක‍්‍රමණික ශාක මඟින් වී ඇති හානිය අති විශාල යි. ආර්ථික ව එය යුද්ධයෙන් පොදු දේපලවලට කළ හානියට වඩා වැඩි වුවත් අඩු වන්නේ නෑ. 
බොර ශාකයේ පල

වෙනකක් තබා ලෝකයේ අංක එකේ භයානක ආක‍්‍රණිකයකු ලෙස දක්වා ඇති බොර ශාකය අප රටේ ද එනම් ස්වකීය නිජ බිමේදී, යම් තර්ජනයකට ලක් ව ඇති ශාකයක් බව අන්තර්ජාතික පර්යේෂකයන් පෙන්වා දුන්නා. ඊට හේතුව බොර ශාකයේ ස්වාභාවික වාසස්ථාන ලංකාවට මෑත ඉතිහාසයේ දී හඳුන්වා දී ඇති විවිධ ශාක මඟින් ආක‍්‍රමණය කර තීබීම යි. එදා හෙළදිව ග‍්‍රන්ථය ලියූ රොබට් නොක්ස්, ඔහු බෙලිහුල්ඔය ප‍්‍රදේශයේ කළ සංචාරයේ දී කහ පාටට හුරු ශාකයක් ඒ ප‍්‍රදේශයේ ඉතා සුලබ බව දක්වා තිබෙනවා. එය බොහෝ විට බොර විය හැකි යි. එහෙත්, මේ වන විට බොර ඒ තරම් ප‍්‍රමුඛ ශාකයක් නො වේ. 
එසේ ම විවිධ පුද්ගලයන් විසින් ගෙන එන ලද මේ ආක‍්‍රමණකාරී ශාක විශේෂ අප රටේ ස්වාභාවික පරිසරයට මෙන් ම කෘෂිකර්මාන්තයට, වන සම්පතට, ජෛව විවිධත්වයට මෙන් ම මානව සෞඛ්‍යට ද එල්ල කරන හානිය අති විශාල යි. මේ ශාක බොහොමයක් මුළුමනින් ම තුරන් කිරීම ප‍්‍රායෝගික ව කළ නො හැකි ය. එබැවින්, ජෛව පාලන ක‍්‍රම මඟින් මේ ශාක යම් ස්වාභාවිකරණයකට ලක් කිරීම එක ම විස`දුම යි. මේ ක‍්‍රියාවලිය සඳහා ඇති විශේෂඥ දැනුමක් මෙන් ම අත්දැකීම් සහ අදාළ ජීවීන් නිවැරදි ව හඳුනා ගැනීමට ජෛව කෞතුකාගාර, පර්යේෂණ මධ්‍යස්ථාන අප සතු ව පැවැතිය යුතු ය. එහෙත් ලංකාවේ අපට එවැනි පහසුකම් නැති නමුත් අපට ඒ පිළිබඳ ව විශේෂඥයන් බිහි කළ හැකි යි. මෙවැනි අති සූක්ෂම පර්යේෂණ එයට මහත් පිටිවහලකි. එමඟින් අප රටේ ඇති එවන් ශාක සහ සත්ත්ව විශේෂ පාලනය කර ගැන්මට අවශ්‍ය දැනුම මෙන් ම ලොව ඒ සඳහා වැඩ කරන පොදු රාජ්‍ය මණ්ඩල කෘෂි ආයතනය වැනි ආයතන සමඟ කටයුතු කිරීමට සහයෝගීතාවක් ගොඩනගා ගත හැකි ය. 
අවසාන වශයෙන් ලංකාවෙන් වෙනත් රටකට සංක‍්‍රමණය වූ ශාකයකට පළමු වතාවට සිදු කැරුණ මේ ජෛව පාලන ක‍්‍රියාවලිය, ලංකාවේ ජෛව ඉතිහාසයේ ඉතා වැදගත් සංසිද්ධියකි. එසේ ම අප පෙර සඳහන් කළ ආකාරයට බොර ශාකයේ නිජබිම සෙවීම සඳහා ලොව ප‍්‍රථම වතාවට නවීන ජෛව තාක්ෂණය යොදා ගැනුණේ මේ පර්යේෂණයට යි. එසේ ම බොර ශාකය අයත් වන ඔෙලේසියේ (Oleacea)  කුලයේ හෙවත් සමන්මල් කුලයේ ශාකයක් ජෛව පාලනයට යොදා ගැනුණේ මේ ව්‍යාපෘතියෙනි. 

අපේ රටේ ජෛව පාලනය සැල්වීනියා ශාකය සඳහා යොදා ගැනුණා. එය ඇමේසන් වනාන්තරය ආශ‍්‍රිත ව වැඩෙන ස්වාභාවික පැළෑටියක්. අපට මේ ශාකය පාලනය සඳහා ද අන්තර්ජාතික සහයෝගිතාව ලැබුණා. වාසනාවකට මෙන් ලංකාවේ ආක‍්‍රමණික ශාක බොහොමයක් තවත් රටවල ද ආක‍්‍රමණකාරී ශාක ලෙසට වාර්තා වෙනවා. එසේ ම ඒ ශාක බොහොමයක් පාලනය සඳහා ජෛව පාලනය යොදා ගැනීම පිළිබඳ ව පර්යේෂණ සිදු කැරෙමින් පවතිනවා. මේ පර්යේෂණ ආයතන සමඟ සබඳතා පවත්වා ගැන්මෙන් එබ`දු පර්යේෂණවලින් අපට ඉතා වැදගත් ප‍්‍රතිඵල ලබා ගත හැකි යි.

මහින්ද බණ්ඩාර සකලසූරිය 





No comments:

Post a Comment