vol 11


සදාහරිත කලාපය - 11


ඇතුළත........................


  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදියද් දී කුට්ටිකර විකුණන මුතුරාජවෙල අභය භූමිය
  • කල්පිටිය සංචාරක ගමනාන්තය මුහුදු ක්ෂීරපායින් ගේ ජීවිතාන්තය ද
  • අන්තරායය කරා යන හැල කිඹුල්ලූ හා ගැට කිඹුල්ලූ
  • පරිසරවේදයේ දුලබ මිනිස් ලකුණ පියල් පරාක‍්‍රම
  • අපේ ශාක නාමාවලියට එක් වන අලූත් අමුත්තා ‘අනිත්ත’
  • සොබාදහමේ පොදුගුණාකාරය
  • පට්ටිකිරි උතුරුවන මී කිරි දෙමහා
  • දකුණු සිරිලක වැසි වනාන්තර
  • සිතකය නිවා සනහන සොබාදහමේ අදිසි ඔසු
  • බළල් පවුලේ ලොකු ලොක්කෝ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මෙහි විසුවෝ ද
  • සොබාදහමේ නාද සෞන්දර්යය ඇසුරේ හමු වන පක්‍ෂි භාෂාව
  • මුළු ලොව කලඹන වාස්තු පරිසරයේ අර්බුදය
  • වඳ වී යන ගමනේ යන රළු ගල්පර මැඬියා
  • දිගත පතල සුවඳැති සුදු සඳුන් ගස


.............................................................................................................................................................................................................................................





අපේ ශාක නාමාවලියට එක් වන අලූත් අමුත්තා
‘අනිත්ත’ 

ලොව ජෛව විවිධත්වයෙන් අති සාන්ද්‍ර ස්ථාන (Hottest hotspots)  08 අතරට ශ‍්‍රී ලංකාව ද ඇතුළත් කර ඇත. ඒ දුරාතීත ගොන්ඞ්වානාලන්තයේ සිට අද දක්වා දිවි ගෙවන ඉතා දුර්ලභ ජීවීන්, ජීවමාන පොසිල (Living Fossils)  ආදිය දැකගත හැකි වීම හා ඒකක ක්‍ෂේත‍්‍රඵලයක් ඇසුරේ ආවේණික ගහන ගනත්වය ඉතා ඉහළ අගයක පැවැතීම හේතු කොට ගෙන ය. ඒ අනුව ශ‍්‍රී ලංකාව හා ඉන්දියාවේ බටහිර ඝාට්ස් ප‍්‍රදේශය එක් කලාපයක් ලෙස සැලැකේ. වර්තමානයේ දී හඳුනා නොගත් ජීවී විශේෂ රැසක් මේ කලාපයේ ජීවත් වෙතැ යි අනුමාන කැරෙන අතර, දිනෙන් දින සත්ත්ව හා ශාක නාමාවලියට අලූතින් එක්වන සාමාජිකයන් ගෙන් බහුතරයක් ද මේ කලාපය තුළ හමු වීම සුවිශේෂත්වයකි. 

මේ අතර, පසුගිය දිනෙක ශ‍්‍රී ලංකාවේ ආවේණික ශාක නාමාවලියෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව ශාක විශේෂයක් ලොවට හඳුන්වා දීමට ශ‍්‍රී ලාංකික පර්යේෂිකාවකට හැකි විය. Acanthaceae  කුලයට අයත් Rhinacanthus flavovirens නමින් උද්භිද විද්‍යාත්මක ව නාමකරණය කරන ලද ”අනිත්ත” නම් මේ නව ශාක විශේෂය හඳුන්වාදුන් ඇය ප‍්‍රභා අමරසිංහ නම් වෙයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා උපාධිධාරිනියක වන ඇය, තම විද්‍යාපති උපාධි අධ්‍යයන කටයුතු සමඟින් ශාක පිළිබඳ පර්යේෂණයන්හි ද නිරත වෙමින් සිටී. ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා ගේ උපදේශකත්වය යටතේ 2008 වසරේ දී ආරම්භ කළ අනිත්ත ශාක විශේෂය හඳුනා ගැනීම අදාළ පර්යේෂණයන්හි ප‍්‍රතිඵලය ලෙස පිළිගත් අතර, Edinburgh Journal of Botany හි 08 වන වෙළුමෙහි තෙවන කලාපය මඟින් ඒ බව ප‍්‍රකාශයට පත් කරන ලදි. 

Acanthaceae කුලයෙහි Rhinacanthus ගනය තුළ විශේෂ 30 කට ආසන්න ප‍්‍රමාණයක් හමු වේ. මේ අතරින් Rhinacanthus nasutus  හා Rhinacanthus polonnaruwensis  නම් ශාක විශේෂ යුගලය මින් පෙර මෙරටෙහි වාර්තා වී ඇති අතර, මින් Rhinacanthus polonnaruwensis ඇබිසි නම් විශේෂය ශ‍්‍රී ලංකාවට ආවේණික ය.Rhinacanthus flavovirens නම් වූ අනිත්ත විශේෂය දෙමළ බසින් නාගමුල්ලි ලෙස ද, ඉංග‍්‍රීසි බසින් White crane flow ලෙස ද හැඳින් වේ. අනිත්ත ශාකයේ රූපීය විද්‍යාත්මක ලක්ෂණ ලෙස සෙ.මී. 20 - 80 පමණ උසැති කඳකින් ද,  ඕවලාකාර පත‍්‍රයන් ගෙන් යුතු වීම ද ශාකයෙහි අතු අර්ධ ලෙස ඍජු ව වැඞීම ද හඳුනාගත හැකි ය. පත‍්‍ර දාරය මදක් රැලි සහිත ස්වභාවයක් ගනී. පත‍්‍රයන්හි ප‍්‍රධාන නාරටිය සමඟ ද්විතීයි නාරටි යුගල 4 - 5 පමණ දක්නට ලැබේ. පුෂ්පයෙහි මි.මී. පහක් පමණ දිගැති මනිපත‍්‍ර පහක් සහිත මනිපත‍්‍ර වලයකි. සෙ.මී. 3.4 - 3.7 ක් පමණ දිගැති ඉහළ දෙසට වක‍්‍ර වූ කහ - කොළ පැහැති දළ පත‍්‍ර නාළයකින් හා ඒ කහ - කොළ වර්ණයෙන් ම යුතු දළ පත‍්‍රවලයකින් පුෂ්පය සමන්විත වේ. පුෂ්පයේ කීලය සෙ.මී. 3.6 - 3.9 පමණ දිගැති වන අතර, ඩිම්බ කෝෂය මි.මී. දෙකක් පමණ වේ. පුෂ්පයේ පූමාංගී සූත‍්‍රිකා මි.මී. 6 - 7 ක් පමණ දිගැති ය. ජූලි - දෙසැම්බර් කාලයේ දී අනිත්ත ශාක පුෂ්ප දැකගත හැකි අතර, මි.මී. 2.5 - 3 ක් පමණ විෂ්කම්භය සහිත කළු පැහැ  ඕවලාකාර හැඩැති බීජ හටගනී. 
ශ‍්‍රී ලංකාවේ උතුරු මැද, මධ්‍යම හා දකුණු පළාත්වල ව්‍යාප්තිය පෙන්වන මේ ශාක විශේෂය වියළි පහත් බිම්වල විශාල ගස්වල සෙවණ ප‍්‍රදේශ ඇසුරේ දිය දහරාවන්ට සමීප ව දක්නට ලැබේ. උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හබරණ,කැකිරාව සහ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පොලොන්නරුව ප‍්‍රදේශයේ ද, බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ යක්කල ප‍්‍රදේශයේ ද, මධ්‍යම පළාතේ මාතලේ දිස්ත‍්‍රික්කයේ කුමාරකන්ද ප‍්‍රදේශයේ ද, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කතරගම මැණික් ගඟ අසල පිහිටි ද්විතීය වනාන්තර ප‍්‍රදේශයක සහ යාල ජාතික වනෝද්‍යානය ආදී ස්වභාවික පරිසර පද්ධතීන්හි නිදර්ශන හමු ව ඇත. 


Rhinacanthus flavovirens ශාකය කෙන්යාවේ වෙරළබඩ ප‍්‍රදේශවල හා ටැන්සානියාවේ හමු වන Rhinacanthus dichotomus ශාකයට බොහෝදුරට සමානකම් දැක්වූ ව ද Rhinacanthus flavovirens ශාකයෙහි සාපේක්‍ෂ ව සිහින් කඳ සහ කහ - කොළ පැහැති ඉහළ දෙසට යොමු වුණු මනි පත‍්‍ර නාළය සහිත කහ - කොළ පැහැති මනිපත‍්‍ර වලය නිසා එය වෙන්කර හඳුනාගත හැකි ය. Rhinacanthus polonnaruwensis ශාකයේ තෙත් කලාපීය ප‍්‍රභේදයෙහි වියළි කලාපයේ දක්නට ලැබෙන ප‍්‍රභේදයට වඩා වෙනස් වන්නේ තෙත් කලාපීය ප‍්‍රභේදයෙහි ශාකයේ කඳෙහි රෝම ස්වභාවය සාපේක්ෂ ව අඩු වීම, පත‍්‍ර කෙටි වීම, ශාකයෙහි පත‍්‍ර වෘන්ත ආදිය හමු වන ගැට දෙකක් අතර හෙවත් පර්වයක් අතර දුර සාපේක්ෂ ව වැඩි වීම ආදිය හේතුවෙනි. මේ ආකාරයට Rhinacanthus ගණය ඇසුරේ ලොව පුරා ශාක විශේෂ රැසක් පවතින අතර, ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබෙන විශේෂයන් තුත යම් යම් ක්‍ෂුද්‍ර ලක්ෂණ නිසා වෙන්කර හඳුනාගත හැකි ය. Rhinacanthus nasutus  විශේෂය මෙරට ඇතැමුන් චර්ම රෝග, ප‍්‍රති සර්ප විෂ ලෙස භාවිතයට ගන්නා අතර, එහි ප‍්‍රති පිළිකාකාරක ගුණය මෙන් ම ප‍්‍රති බැක්ටීරියාකාරක, ප‍්‍රති දිලීරකාරක මෙන් ම ප‍්‍රති වෛරසකාරක ගුණයන් පවතී. ඊට හේතු වන මේ ශාක ගණය සතු රසායනික සංඝටකය අයිනකැන්තීන් ය. අලූතින් සොයාගත් Rhinacanthus flavovirens  ශාකය සතු රසායනික සංඝටකයන්, එහි ආවේණික භාවය ඇතුළු සාධක පිළිබඳ අධ්‍යයනයන් තවදුරටත්, සක‍්‍රීය මට්ටමක පවතී. 


මනෝරි අතුකෝරල
............................................................................................................................................................................................................................................


අන්තරායය කරා යන හැල කිඹුල්ලූ හා ගැට කිඹුල්ලූ


 ගැට කිඹුලා Crocodylus porosus 


ලොව විශාලතම කිඹුල් විශේෂය වන ගැට කිඹුලා බහුල ව වාර්තා වන්නේ ශී‍්‍ර ලංකාවෙනි. දැනට කිඹුල් විශේෂ 23 ක් ලොව පුරා වාර්තා වන අතර ගැට කිඹුලා ඇතුළු ව විශේෂ දෙකක් මෙරට වාසය කරයි. එහෙත් ඇලිගේටරයන්, කයිමනයන් හා ගැවියලයන් වැනි දැවැන්තයෝ මෙරටින් හමුනොවෙති.


ඇලිගේටරයන් (Alligators),කයිමනයන් (Caimans), ගැවියලයන්(Gharials) සහ කිඹුලන් (Crocodiles) අයත් වනුයේ උරග ලෝකයේ දැවැන්තයන් අයත් වන Crocodylidae කුලයට ය. උරග විශේෂඥයන් පවසන පරිදි මොවුන් ගේ ඉතිහාසය පූර්ව ටි‍්‍රයැසික් යුගය (Upper Triassic Period)  එනම් අවුරුදු මිලියන 200 ක් දක්වා අතීතයකට දිව යයි. නූතන Crocodylidae  කුලයට අයත් උප කුල තුනක් වෙයි. Alligatorinae උප කුලය යටතේ ඇලිගේටරයන් හා කයිමනයන් වර්ග කර ඇත. Crocodylinae උප කුලය යටතේ කිඹුලන් ද Gavialinae උප කුලය යටතේ ගැවියලයන් ද වර්ග කර තිබේ.


මීට අමතර ව තවත් එක් උප කුලයක් (Tamistominae)  යටතේ ව්‍යාජ ගැවියලයන් (False Gharials) වර්ග කිරීමට ද යෝජිත ය. මේ කුලයට අයත් එක ම විශේෂය වන Tomistoma schlegelii  විශේෂය දැනට Crocodylinae උප කුලය යටතේ වර්ග කර ඇත. 


පොදුවේ ගත් කල මොවුනට පෘෂ්ඨෝධරිය ව පැතලි අනාකූල හැඩැති ස්ථූල ශරීරයක් ඇත. ඉතා ඝන කොරපොතුවලින්(Scutes) ආවරණය වී ඇති අතර, උදරීය කොරල තරමක් සුමුදු ය. සියලූ ම කිඹුලන් පෘෂ්ඨීය ව කළු, අළු, දුඹුරු හෝ ඔලිව් කොළ පැහැය දරන අතර, උදරයේ සුදු පැහැයේ සිට කහ පැහැය දක්වා වර්ණ පවතී. 


කිඹුලන් ගේ ශරීරය සම්පූර්ණයෙන් ම අනුවර්තනය වී ඇත්තේ ඔවුන් ජීවත් වන ජලජ පරිසරයටත්, දඩයම් කිරීම සඳහාත් වාසිදායක වන ආකාරයට ය. මොවුන් ගේ පෘෂ්ඨීය වර්ණය හේතුවෙන් දිවා කාලයේ දී සූර්යාලෝකය අවශෝෂණය කර ගැනීම පහසු වන අතර, ජලය තුළ දී පිටතින් සිටින අයකුට දැකීම අපහසු ය. කිඹුලන් ගේ නාස් සිදුරු හොම්බේ කෙළවර පෘෂ්ඨීය ව පිහිටා ඇත. මේ නිසා හිසෙහි ඉතා ම සුළු කොටසක් ජලයෙන් පිටත සිටින සේ තබා ගෙන ජලය තුළ සැඟැ වී පිහිනා යා හැකිය. දිවා කාලයේ දී කිඹුලන් ගේ ඇසේ කණිනිකාව ඉතා සිහින් ඉරක් ආකාරයට දිස් වේ. රාත‍්‍රී කාලයේ දී කණිනිකාව රවුම් වී විශාල වන අතර, දෘෂ්ඨිවිතානයට(Retina)  පිටුපසින් ඇති ආලෝකය පරාවර්තනය කළ හැකි ස්තරය නිසා ඇසට විශාල ආලෝකයක් ඇතුළු වූ විට බළලූන් ගේ ඇසෙහි මෙන් පරාවර්තනයක් සිදු වේ. තව ද පරිණාමික ව දියුණු මේ ඇස් මඟින් වර්ණ දෘෂ්ටියක් ද, හිසෙහි පෘෂ්ඨීය ව පිහිටා ඇති නිසා ත‍්‍රිමාන දෘෂ්ටියක් ද කිඹුලන්ට හිමි ය. ජලය යට දී ඇස් විවෘත ව තබා ගැනීමට හැකි වන පරිදි විනිවිද පෙනෙන සුලූ පටලයකින් ඇස් ආවරණය වී ඇත. මෙමඟින් ඇසට ආරක්ෂාව ද සැලසේ. තව ද ගොඩබිම සිටින විට මේ විනිවිද පෙනෙන සුළු පටලය තිරස් අතට කිරීමටත්, ඇසි පිය සිරස් අතට විවෘත කිරීමටත් කිඹුලන්ට හැකියාව ඇත. 


මේ සතුනට ශක්තිමත් හනු පිහිටන අතර, උරහිසේ සහ ගෙලෙහි වන මාංශ පේශී ශක්තිමත් ය. මේවා උපයෝගී කරගෙන ගවයකු සීබ‍්‍රාවකු වැනි විශාල සතකු ගේ බාහුවක් ක්ෂණයකින් ඉරා කඩා ගැනීමට මේ බිහිසුණු උරගයන්ට හැකි ය. විශාල කිඹුලකුට සිය විවෘත කළ හනු ටොන් 13 ක ස්කන්ධයකට සමාන බලයක් යෙදෙන පරිදි ශක්තිමත් ලෙස හා වේගයෙන් වැසිය හැකි ය. එහෙත් මුඛය විවෘත කිරීමට භාවිත කරන මාංශ පේෂී ඉතා දුර්වල බැවින් එය විවෘත කළ නොහැකි වන ලෙස රබර් පටියකින් වුව ද බැද තැබිය හැකි ය. 


මොවුනට ජලයේ පිහිනා යෑමට අනුවර්තන රාශියක් ඇත. පාදවල බැඳි පටල තිබීම, සමට යටින් ඇති මේද ස්තරය, අධික ලෙස මේදය තැන්පත් වූ හබලක් ලෙස භාවිත කළ හැකි වලිගය හා අනාකූල හැඩැති දේහය ඉන් සමහරකි. වැඩුණු කිඹුලකුට ආහාර හිඟ අවස්ථාවල වලිගයේ තැන්පත් ව ඇති මේදය උපයෝගී කර ගෙන වසර දෙකක් වුව ද ජීවත් වීමට හැකි ය. නියඟයක් පවතින අවස්ථාවන්හි ශරීරයේ ශක්තිය වැය නොවනු පිණිස මඩ තුළ ගුලක් හාරා ඒ තුළට වී සිටීම සාමාන්‍ය සිරිතකි. 


කිඹුලන් ගේ දත් සියල්ල ම උල් වන අතර ඇතුළත කුහර ආකාර වේ. වැටුණු දත් වෙනුවට නැවත අලූත් දත් වැඞීමක් ජීවිත කාලය පුරාම සිදු වේ. කිඹුලන් වයස් ගත වන විට මේ ක‍්‍රියාකාරීත්වය වඩා සෙමින් සිදු වේ. හනු පළල් කිඹුල් විශේෂ විශාල ගොදුරු ආහාරයට ගන්නා අතර, ගැවියලයන් වැනි හනු ඉතා පටු, විශේෂ මත්ස්‍යයන් ආහාරයට ගනී. කුඩා ප‍්‍රමාණයේ සිට විශාල ව වැඩෙන විට කිඹුලන් ගේ ආහාර රටාව වෙනස් වන අතර, එය කුඩා මත්ස්‍යයන් ගේ සිට පක්ෂීන් ද අනතුරු ව ප‍්‍රමාණයෙන් විශාල ක්ෂීරපායින් දක්වා ද වෙනස් වේ. විශාල ක්ෂීරපායින් ගොදුරු කර ගනු ලබන්නේ සම්පූර්ණයෙන් ම වැඩුණු විශාල කිඹුලන් පමණි. කිඹුලන්ට දිවක් පිහිටන අතර, එය මුඛයේ පතුලට වන්නට සවි වී ඇත. 


හැල කිඹුලා  Crocodylus palustris
කිඹුලන් ගේ ආහාර ජීර්ණය පිළිබඳ ව ඇති වඩාත් සිත් ගන්නා සුලූ කාරණය වන්නේ ඔවුන් ගේ ආමාශයේ ඇති ගල් ය. නොවිකා ගිලින ලද ආහාර, ජීර්ණය පහසු වීමට කිඹුලන් විසින් ගල් කැබලි ගිලිනු ලැබේ. සාමාන්‍යයෙන් කිඹුලකු ගේ බරින් 1% ක ප‍්‍රමාණයකට හේතු වන්නේ උදරයේ ඇති මේ ගල් ය (Gastroliths). කිඹුලකුට තම අවශ්‍යතාවට උචිත වන ලෙස මේ ගල් සොයා ගත නොහැකි වූ විට ඒවා ලබා ගැනීමට විශාල දුරක් ගමන් කරයි . ඉතා අතීතයේ විසූ කිඹුලන් ගේ ෆොසිල සමඟ ද මෙවැනි ගල් හමු වී ඇත. 


කිඹුලන් ගේ වලිගය ගොඩබිම ඇවිදීමේ දීත් ජලයේ පිහිනීමේ දී හා පාවෙමින් සිටින විට දීත් ශරීරය සමබර ව තබා ගැනීමට උපකාර වේ. අනෙක් උරගයන් බොහොමයක ගේ මෙන් කිඹුලන් ගේ ගැහැනු, පිරිමි බව පිටතින් නිරීක්ෂණය කළ නොහැකි ය. එහෙත් සාමාන්‍යයෙන් සියලූ ම විශේෂයන්හි පිරිමි සතුන්, ගැහැනු සතුන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල ව වර්ධනය වේ. ගැවියලයන් ගේ පමණක් පිරිමි සතා පරිණත වූ පසු හොම්බේ අග කෙළවර විශාල ගැටිත්තක් ආකාරයට වර්ධනය වේ. 


කිඹුලන් හට ඉතා තියුණු ශ‍්‍රවණ හැකියාවක් ඇත. මොවුන් ගේ කර්ණ පටහ පටලය ආරක්ෂාව පිණිස තුනී සමකින් ආවරණය වී ඇත. තව ද මොවුනට ඉහළ පරාසයක ශබ්ද ශ‍්‍රවණය කළ හැකි ය. උදාහරණ ලෙස ක්ෂීරපායි සතුන් ගේ ශබ්දය ආශ‍්‍රයෙන් ඒ සතා සිටින දිශාව දැන ගැනීමට ද, කිඹුල් මවකට අඟල් කිහිපයක පස් තට්ටුවක් යට බිත්තරවලින් එළියට ඒමට ආසන්න තම පැටවුන් නඟන ශබ්දය ජලය තුළ දී ශ‍්‍රවණය කිරීමට ද ඇති හැකියාව දැක්විය හැකි ය. 


පිරිමි සතා සාමාන්‍යයෙන් වයස අවුරුදු හතක් පමණ වන විට ද ගැහැනු සතා අවුරුදු නවයක් පමණ වන විට ද ලිංගික ව පරිණත වේ. කිඹුලන් රංචු වශයෙන් වාසය කරන අතර, ප‍්‍රජනන සමයේ වුව ද යුගල් ලෙස වාසය නො කරයි. ලිංගික ව එක් වූ පසු ව ද ගැහැනු හා පිරිමි කිඹුලන් අතර, සම්බන්ධතා නො පවතී. බිත්තර දැමීමට ආසන්න වන විට ගැහැනු සතා කූඩුවක් පිළියෙල කරන අතර, එය ආකාර දෙකකට සිදු වේ. බොහෝ කිඹුල් විශේෂ කන්දක් ආකාරයට කූඩුව සාදයි. මේ සඳහා පස්, මැටි, වියළි කෝටු හා කොළ රොඩු ආදිය උපයෝගී කර ගනී. අනෙක් කිඹුල් විශේෂ මඬ තුළ වළක් හාරා බිත්තර තැන්පත් කරයි. මේ සඳහා ගං ඉවුරක් තෝරා ගන්නා අතර, බිත්තර දැමීමෙන් පසු ගැහැනු සතා ඒ අවට ගැවසේ. සමහර අවස්ථාවල කන්දක් ආකාරයට තනන කූඩුව මත ද ලැග සිටියි. කූඩුව අසලට එන  ඕනෑ ම සතකු පසු පස එළවා පහර දීමට ගැහැනු සතා උත්සාහ කරයි. බොහෝ විට කබරයන්, වල් ඌරන්, හයිනාවන්, උගුඩුවන් හා සමහර කොකුන් විශේෂ ද මේ බිත්තර ආහාරයට ගනිති. බීජෞෂණ කාලය (Incubation period) කිඹුල් විශේෂය අනුව වෙනස් වන අතර, පැටවුන් ගේ ගැහැනු, පිරිමි බව තීරණය වන්නේ සමහර උරගයන් ගේ මෙන් බිත්තර අවට පරිසර උෂ්ණත්වය අනුව ය. මේ උෂ්ණත්ව පරාසයන් කිඹුල් විශේෂය අනුව වෙනස් වේ. බිත්තර තුළ වැඩෙන කිඹුල් පැටවුන් ගේ හොම්බේ ඉදිරිපස කටුවක් වැනි ව්‍යූහයක්(Egg - tooth) ඇත. බිත්තර කටුව ඉරා ගෙන ඒමට මෙය උපකාරී වන අතර, එය පැටවා ඉපදී දින කිහිපයකින් නැති වී යයි. පැටවුන් බිත්තරවලින් බිහි වූ විට ශබ්දයක් නඟන අතර, කිඹුල් මවට එය ශ‍්‍රවණය කළ හැකි ය. කිඹුල් මව මෙවිට කූඩුව වෙත පැමිණෙන අතර, පස් තට්ටුව ඉවත් කර කූඩුව තුළින් පැටවුන් එළියට ගෙන තම පැටවුන් මුඛය තුළ රඳවා ගෙන ජලාශයේ ආරක්ෂා සහිත ස්ථානයකට රැගෙන යයි. එයින් සති කිහිපයක් ගත වන තුරු පැටවු මව සමඟ ගැවසෙති. සමහර අවස්ථාවල කිඹුල් මව බිත්තර කටුව දත්වලින් ඉරා පැටවුන්ට බිහිවීම ද පහසු කරයි. කුඩා කාලයේ දී මාළුන්, පක්ෂීන් හා අනෙකුත් විශාල කිඹුලන් කුඩා පැටවුන් ව ආහාරයට ගනිති. කුඩා කිඹුල් පැටවුන් බිත්තරය තුළ දී බීජාන්න පැසෙන් පෝෂණය ලබති. එය ශරීරයට සම්බන්ධ වන්නේ පෙකනිවැල වැනි ව්‍යූහයකිනි. එය ඉපදී සති කිහිපයක් යන තුරු ශරීරයට සම්බන්ධ ව තිබෙනු දැකිය හැකි ය. කුඩා කිඹුල් පැටවු කුඩා මාළුන්, ගෙම්බන් සහ කෘමින් ආහාරයට ගනිති. 


පී. ඊ. පී. දැරණියගල මහතා ගේ වාර්තාවලට අනුව ලංකාවේ වාර්තා වන මේ විශේෂ දෙක ම උප විශේෂ මට්ටමින් ශ‍්‍රී ලංකාවට ආවේණික ය. ලංකාවේ සුලබ ව වාර්තා වන්නේ ගැට කිඹුලා ය. ඉංග‍්‍රීසියෙන් Estuarine Crocodile  ලෙස ද විද්‍යාත්මක ව Crocodylus porosus යනුවෙන් ද භාවිත වන අතර ලංකාවේ වාර්තා වන උප විශේෂය Crocodylus porosus minikanna ලෙස නම් කර ඇත. ලංකාවේ සීමිත ප‍්‍රදේශයක පමණක් වාර්තා වන අනෙක් විශේෂය වන්නේ හැල කිඹුලන් ය. ඉංග‍්‍රීසියෙන් Marsh Crocodile හෝMugger ලෙස ද විද්‍යාත්මක ව Crocodylus pulustris  ලෙස ද හඳුන්වයි. ලංකාවේ වාර්තා වන උප විශේෂය Crocodylus pulustris kimbula  ලෙස නම් කර තිබේ. මේ කිඹුල් විශේෂ දෙක වෙන් කර හඳුනා ගැනීමට ඉතා පහසු ය. ගැට කිඹුලා ලංකාවේ  ඕනෑම පරිසර පද්ධතියක දැක ගත හැකි ය. එනම් ගංගා, වගුරු බිම්, කිවුල් දිය සහිත කලපු, මෝය ආශ‍්‍රිත ව ය. හැල කිඹුලා වාර්තා වනුයේ වියළි කලාපයේ ගංගා හා වැව් ආශ‍්‍රිත ව පමණි. 


ගැට කිඹුලා ගේ ශරීර වර්ණය පෘෂ්ඨීය ව තද කොළ - කළු වර්ණයකි. ශරීරය මධ්‍යයේ සමහර ස්ථානයන්හි කහ පැහැති පුල්ලි දැකගත හැකි ය. පැටවුන් පෘෂ්ඨීය ව තරමක් ළා පැහැති ය. ගැට කිඹුලන් ගේ උදරීය වර්ණය ළා කහ පැහැති වේ. හැල කිඹුලන් පෘෂ්ඨීය ව අළු - දුඹුරු වර්ණයකි. කහ පැහැති පුල්ලි මොවුනට පිහිටා නැත. උදරීය වර්ණය සුදු පැහැති වේ. මීට අමතර ව Crocodilinae  උප කුලයේ අනෙක් සියලූ ම සාමාජිකයන්ට සාපේක්ෂ ව (ඇලිගේටරයකු ගේ මෙන්) මොට වූ හොම්බක් හැල කිඹුලන්ට ඇත. වැඩුණු හැල කිඹුලන් ගේ ගෙල මහත් වන අතර, මස් එල්ලා වැටෙන ස්වභාවයක් ඇත. ගැට කිඹුලාට වඩා හැල කිඹුලන් ගේ ඇස් සමීප ව පිහිටන අතර, අක්ෂි කුහරය අසල සිට හොම්බ දක්වා දාර දෙකක් ඇත. 



ගැට කිඹුලන් කන්දක් ආකාරයට කූඩුව සාදන අතර, වරකට බිත්තර 40 - 60 දක්වා ප‍්‍රමාණයක් දමයි. බීජෞෂණ කාලය දින 80 - 100 අතර වේ. හැල කිඹුලන් වළක් හාරා බිත්තර දමන අතර එය වරකට බිත්තර 20 - 35 අතර සංඛ්‍යාවක් වේ. බීජෞෂණ කාලය දින 50 - 65 අතර වේ. 


මේ කිඹුල් විශේෂ දෙක ම රතු දත්ත වාර්තාවලට අනුව අන්තරායයට ලක් වූ විශේෂ වේ. මේ සතුන්ට ඇති ප‍්‍රධානතම තර්ජනයක් වන්නේ වාසස්ථාන අහිමි වීම හා බිය නිසා මිනිසුන් විසින් මරා දමනු ලැබීම යි. 


ලංකාවේ හැරුණු විට ගැට කිඹුලන්  ඕස්ටේ‍්‍රලියාව, බංගලාදේශය, බෲනායි, මියන්මාරය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීන දූපත්, සොලමන් දූපත්, වියට්නාමය හා තායිලන්තය වැනි ආසියාතික රටවල ද වාර්තා වේ. හැල කිඹුලන් වාර්තා වනුයේ ලංකාවේ හා ඉන්දියාවේ පමණි.


විජය ආනන්ද් 


............................................................................................................................................................................................................................................





පට්ටිකිරි උතුරුවන 
මී කිරි දෙමහා 


නවම් - මැදින් දෙමාසය අපේ ඇත්තන් හඳුන් වන්නේ ‘මීකිරි දෙමහා’ ලෙසිනි. ඒ පෙබරවාරි - මාර්තු දෙමාසය යනු ඉපනැලි සමය වන බැවිනි. මේ ඉපනැල්ල බක්මහ ඉපනැල්ල ලෙසින් ද හැඳින් වෙයි. ඒ මාස් අස්වනු නෙළා අවසන් වීමත් සමඟ ය. මහට ගොයම් ගස් සාරයට වැවේ. සරු වී අස්වැන්නක් ද හිමි වේ. එය සොබාදහමේ ක‍්‍රියාවලියකි. මන්ද යල් කන්නට ගොයම එතරම් සරු නොවන්නේ යල් වැනි හිඟ බැවිනි. මාස් ඉපනැල්ල උදාවත් සමඟ ම හරක් ගාල්වලින් ගවයන් කෙතට නිදහස් කරනු ලබයි. එවිට එළ - මී ගවයන් නිදහසේ කෙතේ සැරිසරන අවදිය එළැඹේ. එ සේ ම මාස් ඉපනැල්ලට වහු දරුවන් ගේ බෝවීම ද ඉහළ යන්නේ ය. එය ද සොබාදහම හා බැඳුණු ක‍්‍රියාවලියකි. මේ නිසා යහමින් ගවපට්ටිවලට කිරි ලැබේ. ඊට අනුව නවම් - මැදින් දෙමාසය මී කිරි මහ ලෙස හැඳින් වෙයි. වෙනදාට වඩා සරු මී කිරි අස්වැන්නක් නිත්තෙන් ම හිමි වන හෙයිනි. 


ගොයම් කපා යාය නිදහස් කළාට පසු ව හිමි වන වහු පැටවුන් වාසනාවන්ත බව පිළිගත් මතයකි. ඊට හේතුව නම් උන්ට නිසි ආරක්ෂාව ලැබෙන හෙයිනි. කෙත්යායේ අහර තිබෙන හෙයින් ළඳු දෙණි ගානේ උලාකමින් යා යුතු නො වේ. එ ලෙස වන බැඳිවල ගව පට්ටි රංචු ගැසෙන විට අලූත උපන් පැටවුන් විනාශවීමට තිබෙන ඉඩ වැඩි ය. නැතිනම් පැටවකු අකල් ගොදුරක් වීමෙන් විනාශ වේ නම් ඒ දෙන ගෙන් කිරි ලබාගත හැකි කාලය ද වහා කෙටි වේ. නිරුපද්‍රිත ව වහුදරුවා සිටින විට දෙන ගෙන් යහමින් කිරිගත හැකි යි. එමෙන් ම වෙල් එළිය නිදහස් වටාපිටාවකි. ලියැදි අතර කුඩා වහුපැටවුන්ට දුව පැන යා හැකි ය. ඊට නිදහස් ස්ථානයක් වෙනත් නැති තරම් ය. වැව් පිටිවල, බඩවැටිවල හෝ අත්හළ හේන් කනතුවල මෙලෙස නිදහසේ දුවගෙන යෑමට ඉඩ නැත. වහු දරුවන් ගේ පැටි වියේ මුල් දිනවල දී වැඩිය ම සිදු කරන ක‍්‍රියාව වන්නේ මව ගෙන් ඈතට දිව ගොස් පිම්මේ පැමිණීම හා ඒ ආ ගමන් කිරි බීම ය. වෙල් එළියේ දුවගෙන යෑමට ද කිරි වැඞීමට තරම් ප‍්‍රමාණවත් තණකොළ ආහාර ද තිබේ. කුඩා පැටවුන් ලියැදි අතර දිවීම මඟින් අත් පා සවිබල ගැන්වීම නිරායාසයෙන් සිදු වේ. 


එක රංචුවට වහු පැටවුන් දිව යෑම, කිරි බීම හා උන් ගේ දඟකම් දැකීම හරක් පට්ටියක කිරි බෝවීමට හේතු වන වාසනාවක් ලෙසින් සැලැකේ. රංචු රංචු සාමූහික ව තණ උලාකමින් කෙත් යායේ ඇවිදීම මඟින් නිරායාසයෙන් කෙත්බිම පොහොර වීම ද සිදු වේ. එයට අමතර ව පළින් පළ ලියැදි හෝ කනටි තෝරාගෙන රාත‍්‍රියට පට්ටි බැඳීම ද දැකගත හැකි ය. මන්ද යායේ සියලූ ම ලියැදි එක හා සමාන ලෙස සරු නො වන බැවිනි. ඇතැම් ලියැදි නිස්සාර ය. එවැනි ලියැදි සශ‍්‍රික කිරීම පිණිස කෙත් අස් කළ සමය යොදා ගැනේ. එවිට පුරා සතියක් නැතිනම් දින හතර පහක් ගවයන් පට්ටිය ම එක ම ලියැද්දකට ගාල් කරවනු ලබයි. ඒ ලියැදි වටා කුඩාවට අතුරිකිලි උපයෝගී කරගෙන වැටක් බැඳ ගනී. ඒ අයුරින් ලියැදි හඳුනාගෙන පොහොර කරවා ගැනීම ද මේ සමයේ දී සිදු වේ. 


මෙලෙස කෙත් යායට නිදහසේ ගවයන් මුදා හැරීමට පෙර ගවපට්ටිය හා බැඳුණු චාරිත‍්‍රයක් ඉටු කිරීම ද කළ යුත්තකි. එනම් මී කිරි දෙමහා ගෙවීමට මත්තෙන් ‘පට්ටිකිරි ඉගිරුමක්’ කිරීම ය.  ඊට නවම් මස හෝ මැදින් මාසය යොදා ගනී. පට්ටිකිරි ඉතිරීම ගංකරයේ සියලූ ගවපට්ටි හිමිකරුවන් කරන්නකි. 
මෙයට කෙම්මුර දොහක් යොදාගත යුතු ය. පළමුවෙන් ම පාන්දර ඉර නැෙඟන්නට පෙර ගවපට්ටිය හිමිකරුවාතම ගව පට්ටිය කරා ළඟා වෙයි. ඒ යන්නේ නැවුම් මැටි මුට්ටියක් අතැති ව ය. එ සේ ගොසින් කතා බස් නොකර පට්ටියේ දෙනුන් ගේ බුරුල්ල සෝදා කිරි ගනී. මුට්ටිය පිරෙන්නට වුවමනා තරම් කිරි දොවාගත් පසු ව අනෙක් උදව්කාරයෝ හරක් පට්ටිය අසලට ගොස් පට්ටි කිරි ඉතිරීමට උදව් ලබා දෙති. බොහෝ විට පට්ටියේ කඩුල්ල අද්දර නැතිනම් පට්ටිකඩුල්ල සමඟ පට්ටියේ සිවුකොන තෝරා ගෙන කිරි ඉතිරවීම සඳහා සූදානම් වෙති. 


පට්ටි කිරි ඉතිරීම සඳහා ඒ පට්ටියෙන් කිරි දොවා ගන්නවා හැර වෙනත් පට්ටියකින් කිරි ගැනීම තහංචි ය. තව ද ඊට පොල්කිරි යොදා ගැනීම ද සිරිත් සම්මත තහංචියකි. 


පට්ටිකිරි උතුරන්නේ මංගර දෙවියන් මුල්කර ගෙන ය. මංගර පිදිල්ලේ දී පොල්කිරි ගැනීම තහංචි ය. එහෙයින් පට්ටිකිරි උතුරුවනු ලබන ගවපට්ටියෙන් ම කිරි දොවා ගනිති. පසු ව පට්ටියේ කොන් හතරේ කුඩා මැටි මුට්ටි හතරක් තබා ඒවාට දොවාගත් කිරි දමා උතුරවති. එ සේ ම පට්ටිකඩුල්ල අසල නැවුම් මුට්ටියක ද කිරි උතුරුවා ඊට සහල් දමා කිරිබත් පිස ගනී. සිවුකෙත උතුරා ගිය මුට්ටිවලින් සහ ප‍්‍රධාන මුට්ටියේ කිරි ගෙන එය කොහොඹ නැතිනම් දෙහි හෝ පැඟිරි අත්තක ආධාරයෙන් පට්ටිය වටා ඉසිති. එ ලෙස කිරි උතුරුවා කිරි ඉසීමේ දී දෙවියන් උදෙසා කෝල්මුර කවි ගායුනා කරති. එමඟින් පට්ටියේ සිටින ගවයන් ගේ ආරක්ෂාව ඉල්ලා සිටීම විශේෂත්වයකි. 


මෙලෙස කිරි උතුරා එය සෙත් ශාන්තියක් ලෙස පට්ටිය වටා ඉසීම සිදු කළ ද පට්ටියේ කඩුලූ ඇරීම තහංචි ය. ඒ සඳහා පට්ටිකිරි ඉතිරීමේ පූජා කර්මයේ දී ‘මංකඩුල්ල’ අද්දර මුට්ටියේ කිරි උතුරා පිසගත් කිරිබත්වලින් දෙවියන් උදෙසා ගොටු තැබිය යුතු ය. එහි දී ද ප‍්‍රධාන ගොටුව වෙන් වන්නේ මංගර දෙවියන්ට ය. ගම්බාර, කතරගම, අයියනායක, කඩවර ආදී දෙවියන් සඳහා ගොටු තබන්නේ ඊගාවට ය. එ ලෙස පට්ටි කිරි ඉතිරවීම අවසන් කළාට පසු ව පට්ටිකඩුල්ල හැර ගවයන්ට නිදහසේ කෙත් යායේ ආහර පිණිස යෑමට ඉඩ දෙති. 


මේ පට්ටි කිරි ඉතිරීම සෑම වසරක දී ම මී කිරි දෙමහට කළ යුතු සත්කාරයකි. එයින් ගවයන් ගේ චිරජීවනය හා පට්ටියේ වහුදරුවන් ගේ බෝවීම අපෙක්ෂා කැරේ. තව ද මාස් ගොයම බණ්ඩි අවදියේ සිට කපා පාගා අවසන් කළ ද ගවයන් හණ ගැසීම හා නාම්බන් ගේ නාස්ලණු දැමීම සඳහා නහවිඳීම තහංචි ය. ඒ සඳහා අවසර ලැබෙන්නේ මී කිරි දෙමහේ පට්ටිකිරි ඉතිරීමෙනි. අනෙක් අතට බක්මහට පෙර පට්ටිකිරි ඉතිරීම බක්මහ ආශිර්වාදයක් ලස ද පිළිගැනේ. මන්දයත් ගවයන්ට හණගැසීම, අංකැපීම, නහවිදීම මෙන් ම අලූතින් ලාඩම් ගැසීම වැනි කරුණු කෝණ මංගල්ලයට පෙර කළ යුතු වතාවත් ලෙස සැලැකෙන බැවිනි. ඊට අවසර ගැනීමට නම්, මී කිරි දෙමහා උදාවීමත් සමඟ ම පට්ටිකිරි ඉතිරීම කළ යුතු ය. 


මහින්ද කුමාර දළුපොත   
          


No comments:

Post a Comment