සදාහරිත කලාපය - 1
ඇතුළත....................
- දුම්බර අඩවියේ සැඟැවුණු පහතරට වැසි වනාන්තර
- ලොව ජීවී විශේෂ සංඛ්‍යාව ඉහළ යයි
- මස් වැද්දන් ගේ ගොදුරු බවට පත්වූ ලංකාවේ ඉබ්බෝ
- ආයු සැප බල දැරූ ජීවන රටාවක ගති සොබා
- ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්
- හරිත දේශපාලනයේ මාර්ග සිතියම
- නීති මගින් විනාශයේ හෙළනකප්රුක
- සොබාදහම් ගවේෂකයකු ගේ සදාඅනුස්මරණීය රූප චාරිකාව
- සොබාදහමේ ප්‍රීති උදානය
- දුර්ලභ දුහුදු රැකගනිමු
- පේටන්ට් තුළ සැඟැවෙන ජෛව හොරු
- බෝගහපට්ටිය සොරගුනේ සමනළ වැව අහිමි අභයභූමිය
- ඉතිහාසයේ න්‍යෂ්ටික ඛේදවාචකය 'ජපානය'
.............................................................................................................................................................................................................................................
ලංකාවේ උඩවැඩියා එකතුවට නව සාමාජිකයෙක්
Nervilia plicata |
වර්ෂ 1898 දී උද්භීද විද්‍යාඥ ජේ.ඞී. හූකර් (J.D.
Hooker) විසින් නර්වේලියා (Nervilia) ගණයට අයත් හඳුනා නොගත් විශේෂවල නිදර්ශක කිහිපයක් පේරාදෙණිය ශාකාගාරයේ ඇති බව සඳහන් කර තිබේ. නර්වේලියා ගණයට අයත් විශේෂයක් 1968 දී උද්භිද විද්‍යාඥ ඞී. මුයිලීර් බොම්බොයිස් මහතා(D.
Mueller Bombois) යාල වනෝද්‍යානයෙන් වාර්තා කර තිබේ. මේ විශේෂය එක් නිදර්ශකයකට පමණක් සීමා වී ඇති නිසා, නිසියාකාර ව හඳුනා ගැනීමට අපහසු ය. එහෙත් මේ නිදර්ශකය නර්වේලියා ජුලියානා(Nervilia
juliana) නමින් නම් කර ඇති අතර, එය දැනට පේරාදෙණිය ශාකාගාරයේ තැන්පත් කර තිබේ. අප විසින් ඉහත සියලූ ම නිදර්ශක අධ්‍යයනය කරනු ලැබීමේ දී තහවුරු වූයේ නර්වේලියා ජුලියානා සහ නර්වේලියා ප්ලිකේටා යන විශේෂ දෙකට ම අයත් නිදර්ශක අදාළ එකතුවේ අන්තර් ගත වන බව යි.
නර්වේලියා ප්ලිකේටා බීජ පලය |
නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ 100 ක් පමණ අප‍්‍රිකාවේ සිට ඉන්දියාව, චීනය, මැලේසියාව, ඕස්ටේ‍්‍රලියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඔරිස්සා, මියන්මාරය, තායිලන්තය හා ජාවා වැනි රටවල වාර්තා වේ.
නර්වෙලියා උඩවැඩියා විශේෂ භෞමික රයිසෝමයකින් සමන්විත වන අතර, පත‍්‍ර සහ පුෂ්ප එක ම අවස්ථා වේ නො හටගනී. මේ නිසා නර්වේලියා විශේෂ පිළිබඳ අධ්‍යයනය අසීරු වී ඇති අතර, හඳුනාගැනීම සඳහා වැඩි කාලයක් ගත වේ. නර්වේලියා ගණයට අයත් උඩවැඩියා විශේෂ එක් පත‍්‍රයකින් පමණක් සමන්විත වන අතර, විශේෂ අනුව පුෂ්ප එකක්, දෙකක් හෝ කිහිපයක් හටගනී.
අනෙකුත් උඩවැඩියා විශේෂවලට වඩා වෙනස් වූ පත‍්‍ර වින්‍යාසයක් ඇති නිසා මේ ගණයට අයත් විශේෂ හඳුනාගැනීම පහසු ය. පත‍්‍ර වියළී ගිය පසු පොළොව තුළ ඇති රයිසෝමය නිද්‍රා ගත වන අතර, නව වර්ධනයත් සමඟ පුෂ්ප හටගැනීම සිදු වේ. මල් කිනිත්ත වියළී යෑමෙන් පසු ඒ රයිසෝමයෙන් ම නව පත‍්‍ර හට ගැනීම සිදු වේ. පත‍්‍ර සහ පුෂ්ප එකවර දැකිය නො හැකි නිසා බොහෝ විට මේ විශේෂය මෘතෝපජීවී උඩවැඩියා විශේෂයක් ලෙස වරදවා වටහාගැනීමට හැකියාව පවතී.
හෘදාකාර හැඩයක් ගන්නා නර්වේලියා ප්ලිකේටා ශාක පත‍්‍රයේ පළල සෙ.මී. 7.7 ත් 10.8 ත් අතර වේ. පත‍්‍රයේ දිග සෙ.මී. 7.5 ත් 11.1 ත් අතර වේ. පත‍්‍ර පොළොව මත ඇලී පවතී. පත‍්‍ර දෙපස ම බූව සහිත ය. පත‍්‍රයේ ප‍්‍රකට ව නාරටි විහිදී පවතී. නාරටි මත ද බූව පිහිටයි. පත‍්‍ර තද දම් පැහැයක් හෝ තද කොළ පැහැයක් ගනී. ආලෝකය ලැබෙන ප‍්‍රමාණය අනුව පත‍්‍රවල පැහැය තීරණය වේ. මල් නටුව සෙ.මී. 6.4 ත් 14.5 ත් අතර උසින් යුක්ත වේ. සාමාන්‍යයෙන් පුෂ්ප දෙකක් හටගනී. පුෂ්ප දම් සහ කොළ පැහැයක් ගනී. පුෂ්ප සුවඳවත් ය. හොඳින් විවෘත වූ විට පුෂ්පයක විශ්කම්භය සෙ.මී. 6 ක් පමණ වේ. ප‍්‍රධාන වශයෙන් පුෂ්ප පහතට නැමී පවතී. මනි පත‍්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. මනි පත‍්‍රවල පළල සෙ.මී. 1
. 5 - 2
. 5 ත් අතර වේ. මනි පත‍්‍රවල දිග සෙ.මී. 2
. 5 ත් 4 ත් අතර වේ. දළ පත‍්‍ර දුඹුරු පැහැයට හුරු කහ පැහැයෙන් හෝ දම් පැහැයෙන් යුක්ත වේ. එහි නාරටි දම් පැහැයට හුරු රතු පැහැයක් ගනී. දළ පත‍්‍රවල පළල සෙ.මී 1
. 4 - 2
. 2 ත් අතර වේ. දිග සෙ.මී. 2
. 5 - 3 අතර වේ. අධරයේ මධ්‍යය දුඹුරු පැහැයට හුරු කහ පැහැති ය. එහි දුඹුරු පැහැයට හුරු දම් පැහැති නාරටි සහිත ය. මුල් සහ ධාවක කොටස් බොහෝ විට එක හා සමාන ස්වරූපයක් ගනී. සත්‍ය මුල් ඉතා කෙටි ය. එය රයිසෝමයේ බැඳී පවතී. මාංසල රයිසෝමයේ ජලය ගබඩා කර ගත හැකි ය.
නර්වේලියා ප්ලිකේටා පත්‍රය |
රයිසෝමය පොළොව යට දී ලා කහ - සුදු පැහැයෙන් යුක්ත වේ. මෙය සූර්යාලෝකයට නිරාවරණය වූ විට හරිතප‍්‍රද නිපදවමින් කොළ පැහැයට හැරේ. එවිට පත‍්‍ර හා පුෂ්ප හට ගැනීම ඉක්මන් වේ. රයිසෝමයේ පත‍්‍ර වියළුණු ස්ථාන වලින් නව පුෂ්ප හටගැනීම සිදුවන අතර හරස් ගැටිති වලින් නව පත‍්‍ර හටගනී. වියළි කාලයේ නිද්‍රාගත වන අතර වර්ෂා කාලය ආරම්භයත් සමඟ පත‍්‍ර වර්ධන සිදු වේ. මඳ ආලෝකය යටතේ මේ ශාක වර්ධනය වීම විශේෂත්වයකි.
පුෂ්ප හටගැනීම මාර්තු, අපේ‍්‍රල් හා මැයි මාසවල සිදු වේ. පුෂ්ප හටගැනීමෙන් දින 4 - 5 ක් ඇතුළත මල් වියළී යයි. ශාකාගාර නිදර්ශකවල මල් අඩංගු නො වීමට මේ තත්ත්වය බලපා තිබේ. මල් වියළී යෑමට පෙර පරාගණය සිදු වුව හොත් බීජ ඵලයක් හට ගන්නා අතර, අප ගේ නිරීක්ෂණවලට අනුව බීජ ඵලය දින 15 ක දී පුපුරා බීජ ව්‍යාප්තිය සිදු වේ. මෙය අප දන්නා සියලූ ම උඩවැඩියා විශේෂ අතුරින් ඉතා කෙටි කාලයක දී බීජ ව්‍යාප්තිය සිදු වන විශේෂය ලෙස සැලකිය හැකි ය.
අප ගේ අධ්‍යයනයන්හි දී මේ විශේෂය පළමු වරට කොස්ලන්ද ප‍්‍රදේශයෙන් වාර්තා කිරීමට හැකි විය. පසු ව රාවණා ඇල්ල, බලංගොඩ යන ප‍්‍රදේශවලින් ද වාර්තා කරන ලදී. මේ ප‍්‍රදේශවල මීටර 700 ත් 1000 ත් අතර උච්චත්ව පරාසයේ දී වාර්තා විය. වාර්තා වූ ප‍්‍රදේශවලින් ලබා ගන්නා ලද නිදර්ශක පේරාදෙණිය උද්භිද උද්‍යානයේ, ශාකාගාරයේ අංකA.P.
2011/3/1-PDA, A.P. 2011/3/2 - PDA yd A.P.
2011/3/3 - PDA යටතේ තැන්පත් කර තිබේ.
මේ විශේෂය වාර්තා වූ සියලූ ම ස්ථාන අතරමැදි කලාපයේ සැවානා වර්ගයට අයත් අරළු, බුළු, නෙල්ලි ආදී ශාකවලින් යුත් පරිසර පද්ධති වීම විශේෂත්වයකි. ඒ පරිසරවල තෙතමනය සහිත තණ බිම්වල මේ ශාකය වාර්තා වේ. යෝජිත උමාඔය ව්‍යාපෘතියේ විදුලි රැුහැන් පද්ධතියේ ගමන් මාර්ගය තැනීමට නියමිත ප‍්‍රදේශය මීට ඇතුළත් වේ. ඒ තත්ත්වය මේ ශාකයේ පැවැත්මට කෙතෙක් දුරට බලපානු ඇද්ද යන්න පිළිබඳ ව අවධානය යොමු කිරීම ඉතා ම වැදගත් වේ.
ශාකය වාර්තා වන පරිසර පද්ධතිය |
ශ‍්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ හමු වන මේ උඩවැඩියා විශේෂය ඒ ප‍්‍රදේශවල බහුල ව සිදු වන පතන් ගිනි තැබීම හේතුවෙන් විනාශයට ලක් වේ. මේ ප‍්‍රදේශවල සැවානා වනාන්තර ඉඩම් අනවසරයෙන් එළි පෙහෙළි කර සිදු කරන රබර්, තේ සහ අනෙකුත් ගෙවතු වගාවන් හේතුවෙන් මේ ශාක විශේෂයේ වාසස්ථාන විනාශයට පත් වෙමින් පවතී. මීට අමතර ව පතන් බිම්වල පයිනස් සහ යුකලිප්ටස් වන වගා ඇති කිරීම නිසා මේ උඩවැඩියා විශේෂයේ වාසභූමි තර්ජනයට ලක් ව ඇත.
ඌව සැවානා පරිසර පද්ධති ඉතා අල්ප වශයෙන් අධ්‍යයනයට ලක් වී ඇති නිසා තවත් මෙවැනි ශාක වාර්තා වීමේ හැකියාව පවතින බැවින් වැඩිදුර අධ්‍යයනය කළ යුතු ව ඇත.
අජන්ත පලිහවඩන
.............................................................................................................................................................................................................................................
දුර්ලභ ”දුහුදු” රැකගනිමු
දුහුදු පලය |
2009 වසරේ දී වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශේධනය කිරීමේ දී දුහුදු, ආරක්ෂිත ශාක ලැයිස්තුවට ඇතුළත් කර ඇත.මෙයට හේතුවී ඇත්තේ ශාකයේ දුර්ලභත්වය සහ ඖෂධීය වටිනාකම බව අවබෝධ කර ගැනීම අපහසු නො වේ.
දේශීය වෛද්‍ය විද්‍යාවේ දී දුහුදු ජනප‍්‍රිය වී ඇත්තේ ජ්‍යෝතීෂ්මතී යන නාමයෙනි. ද්‍රවිඩ බසින් ‘‘මල්ලගම්’’ ලෙස නම් කැරෙන අතර, ප‍්‍රචලිත හින්දි වදන ‘‘මල්කාංගනී’’ වේ.
එම්. ඞී. දසනායක සහ ඩබ්. ඞී. ක්ලේටන් විසින් සංස්කරණය කරණ ලද ශ‍්‍රී ලංකාවේ තුරුලතා පිළිබඳ අත් පොතෙහි 10 වැනි වෙළුමට අනුව අප දිවයිනෙහි පහතරට තෙත් කලාපය, දුහුදු ශාකයේ ව්‍යාප්තිය සඳහා යෝග්‍ය බව සදහන් වුව ද, අතර මැදි හා වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශවලින් ද වාර්තා වේ.
මේ දුර්ලභ ශාකයේ ව්‍යාප්තිය ඌවට මායිම් වූ සබරගමු පළාතේ රජවක, බෙලිහුල්ඔය හා වෑඑළිය අවට සිදු වී ඇති බව පෙනේ. මෑතක දී නිල්ගල කඳු පන්ති ඇසුරෙහි හා මහියංගනයෙන් ද හුදෙකලා වූ දුහුදු වැල් දැක බලා ගැනීමට හැකි වී තිබේ.
ගෝලීය වශයෙන් දුහුදු වැඞී තිබෙන වෙනත් භූූුමි අතර, ඉන්දියාව, නේපාලය, තායිලන්තය, මියැන්මාරය, පකිස්තානය, ඕස්ටේ‍්‍රලියාව හා චීනය ප‍්‍රමුඛස්ථානයක් ගෙන ඇත.
දුහුදු ශාකය හඳුනා ගැනීම ඉතා පහසු ය. මෙය තුරු මත අතුපතර විහිදී වැඩෙන විශාල වල්ලීය ලතාවකි. දුහුදු ශාකයේ ළපටි කඳෙහි පොත්ත මත සුදු පැහැයට හුරු පුල්ලි මෙන් වා සිදුරු දක්නට ලැබේ. පත‍්‍ර සරල ය. එහි දාරය දැති සහිත ය. ජායාංගී හා පූමාංගී පුෂ්ප වෙන වෙන ම පිබිදේ. අතු අග ඇතිවෙන පුෂ්ප මංජරියක මල් හට ගන්නා අතර එල්ලා වැටෙන පොකුරු වශයෙන් ඵල දැරූ විට දැකගත හැකි ය. ළා කොළ පැහැයට හුරු ළපටි ඵල පරිණත වන විට තැඹිලි කහ පැහැයට හැරේ. ඵලය කුටීර තුනකින් යුක්ත ය. එතුළ බීජ 3-6 ක් පිහිටයි. ඉදීගෙන එන ඵලය පුපුරා දීප්තිමත් රත් පැහැයක් ගන්නා බීජ පිටතට විවෘත වේ. මේ බීජ ආහාරයට ගැනීමට පක්ෂීහු ළැදියාවක් දක්වති.
මූලික වශයෙන් ඖෂධීය ගුණාත්මය සැඟව ඇත්තේ බීජ තුළ ය. සාම්ප‍්‍රදායික ‘පැහැ’ යොදාගෙන නිස්සාරණය කැරෙන දුහුදු තෙල් ස්නායු උත්තේජක මෙන් ම බුද්ධි වර්ධක ගුණාංගයන් ගෙන් පොහොසත් ය. ආයුර්වේදීය ග‍්‍රන්ථයන්හි ජ්‍යෝතීෂ්මතී තෛලය ලෙස හඳුන්වා දී ඇත්තේ දුහුදු තෙල් වේ. එසේ ම අස්ථි හා හන්දි ආබාධ සුවපත් කිරීමේ දී බාහිර ආලේප ලෙස දුහුදු තෙල් යොදා ගැනේ. බලංගොඩ අවට මුල්ගම හා මුත්තෙට්ටුව ආදී ගම්මානවල දේශීය වෛද්‍යවරු ඈත අතීතයේ සිටම දුහුදු තෙල් නිශ්පාදනයට මෙන් ම ඔසු පිණිස භාවිත කිරීමට ද දැනගෙන සිටියෝ ය. ළපටි පත‍්‍ර අඹරා ආලේප කිරීමෙන් චර්මරෝග සුවපත් වේ. ආහාර මාර්ගයේ ආබාධ මගහරවා ගැනීමටත්, කුසගිනි වැඩිවීමටත්, පොතු තම්බා ගත් පානය අනුමත කර ඇත. බීජ තෛලයෙහි මුත‍්‍රා ජනන මෙන් ම ස්වේද ජනන ගුණාංග ඇති බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී ඇත. එසේ ම එළකිරි සමඟ පානය කිරීමෙන් ශරීරයේ ඉදිමුම මඟහැරී යන බව ද ප‍්‍රකාශ වේ.
බීජ තෙල් නිස්සාරණය කර ගැනීම දුෂ්කර ක‍්‍රියාවලියකි. වෘක්ෂ මත වැඞී ඇති දුහුදු ලතාවන් ගෙන් බීජ එක් රැුස් කිරීමේ අපහසුතා මෙන් ම, ඵල දරන ශාක දුර්ලභ වීම ද මෙයට බලපා ඇත. එසේ ම ලබා ගත හැකි තෙල් ප‍්‍රමාණය ද අල්ප ය. ජ්‍යෝතීෂ්මතී තෛලය රක්තවර්ණ කහ පැහැයෙන් යුක්ත වන අතර ම තරමක් දුරට තිත්ත රසයෙන් යුක්ත ය. කෙසේ නමුත් බුද්ධි වර්ධක ශාක ඖෂධයක් වශයෙන් ගෝලීය වෙළෙඳ පොළට පිරිසිදු දුහුදු තෙල් සපයා දීමෙන් ආර්ථික ප‍්‍රයෝජන ලබා ගත හැකි බව පැහැදිලිව පෙන්වා දිය හැකි ය. දුහුදු දුර්ලභ ඖෂධීය ශාකයක් ලෙස නම් කිරීමට බලපා ඇති කරුණු කිහිපයකි. එහි ව්‍යාප්තිය සීමාසහිත ප‍්‍රදේශ කිහිපයකට සීමා වීම, බීජ මඟින් ප‍්‍රචාරණය වීමේ දුර්වලතාව, ශාකය නිවැරැදි ව හඳුනා නොගැනීම හේතුවෙන් කෘෂිකාර්මික හා වෙනත් මානව ක‍්‍රියාකාරකම් මඟිින් විනාශ වීම, පස මතුපිටට ආසන්නයේ ඇති ළපටි රිකිළි හා දළු ගෝණුන් වැනි ශාක භක්ෂක සතුන් ගේ ජනප‍්‍රිය ආහාරයක් වීම ඒ අතුරෙන් වැදගත් වේ.
නිවැරැුදිව හඳුනා නොගැනීම හේතුවෙන්, හේන් වගා කිරීමේ දී ශාකය කපා දැමීම, වනාන්තර වීනාශය සහ ස්වාභාවික වශයෙන් ව්‍යාප්ත වීමේ දී දක්වන සහජ දුර්වලතාව වැනි කරුණු ඇසුරෙන් දිනෙන් දින තුරන් වී යන මේ අගනා ලතාව අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීම පැහැර හැරිය යුතු කරුණක් නො වේ.
මෙවන් කරුණු සැලැකිල්ලට ගැනීමේ දී දුහුදු ලතාව පිළිබඳ අවබෝධයක් පාසැල් දරු දැරියන් ඇතුළු ශ‍්‍රී ලාංකේය ජනතාව වෙත ලබා දී එය නිවැරැුදි ව හඳුනාගෙන ස්වාභාවික නිකේතන සංරක්ෂණය කරමින් දුහුදු තෙල් නිපදවීම දිරිමත්කර, එහි ඖෂධීය භාවිතය ප‍්‍රචලිත කිරීමට කාලය පැමිණ තිබේ.
දුහුදු ශාකයේ අනාගත පැවැත්ම උදෙසා ඉටු කළ යුතු තවත් වැදගත් කාර්යභාරයක් වන්නේ බඳුන් පැළ නිශ්පාදනය කරමින් ඒවා ජනතාව අතර බෙදා හැර වගා කටයුතු දිරිමත් කිරීම යි. සරු බීජ මඟින් පමණක් නො ව, අතු කැබැලි මඟිින් මෙන් ම මුලෙන් හටගන්නා කිණිති භාවිතයෙන් ද බඳුන්ගත කිරීමට රෝපණ ද්‍රව්‍ය සපයාගත හැකි ය. මෙවන් බඳුන් පැළ වර්ෂා සමයේ දී නැවත වනාන්තර තුළ රෝපණය කිරීම ද අමතක කළ යුතු කරුණක් නො වේ.
කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ
.............................................................................................................................................................................................................................................
මස් වැද්දන් ගේ ගොදුරු බවට පත් වූ
ගොඩබිම වියළි තැන්හි ජීවත්වීම සඳහා අනුවර්තනය වූ පළමු පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩය වන උරගයන් මීට වසර මිලියන ගණනාවකට පෙර පෘථිවියේ රජ කළ සත්ත්වයෝ වෙති. මෙසෝසොයික සමය හෙවත් උරග යුගයේ දී (ත‍්‍රියාසික සමයේ සිට ඉහළ ක‍්‍රිටේසීය සමය දක්වා ව්‍යාප්ත ව පැවැති ) දියුණුව පැවැති මේ උරගයන් ගෝත‍්‍ර 16 ක් යටතේ වර්ගීකරණය කරනු ලැබූව ද දැනට ඉතිරි ව ඇත්තේ ඉන් ගෝත‍්‍ර 4 කට අයත් උරගයන් පමණි. එනම් Chelonia, Crocodilia, Squamata හාRhynchocephalia නම් ගෝත‍්‍ර 4 යි. Rhynchocephalia ගෝත‍්‍රය හැර අනෙක් ගෝත‍්‍ර 3 ට අයත් උරග විශේෂ 206 ක් පමණ ලංකාවේ ජීවත් වේ. Rhynchocephalia ගෝත‍්‍රයට අයත් එක් විශේෂයක් ලෝකයේ ජීවත් වේ. එනම් නවසීලන්තයේ ජීවත් වන ටුවාටරා ^Sphenodon punctatus) ය.
මේ ගෝත‍්‍ර අතුරෙන් Chelonia ගෝත‍්‍රය යටතේ ලෝකයේ ඉබ්බන් හා කැස්බෑවන් විශේෂ 300 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. මේ අතුරින් විශාලතම ඉබ්බන් ජීවත් වන්නේ ගලපගෝස් දූපත් ආශ‍්‍රිත ව ය. මොවුන් දිගින් 120cm ක් පමණ ද, බරින් 112kg ක් පමණ ද වේ. මේ ගෝත‍්‍රයට අයත් කරදියේ ජීවත්වන කැස්බෑවුන් විශේෂ 8 කි. මෙසෝසොයික සමයේ දී Archelon නම් කැස්බෑවුන්ට සමාන සත්ත්ව විශේෂයක් කරදියේ ජීවත් වී ඇත. දිගින් 3.6 m ක් වූ මොවුන් ගේ ගාත‍්‍රා අවල්පත් ලෙස විකරණය වී තිබී ඇත.
Chelonia ගෝත‍්‍රයට අයත් සතුන් ගේ විශේෂ ලක්ෂණයක් වන්නේ අණ්ඩාකාර හැඩයට සමාන කවචයකින් ආවරණය වූ දේහයක් දැරීම යි. මෙකී කවචය වූ කලී නිශ්චිත රටාවකට පිළියෙල වූ එකිනෙකට ළඟින් ඇදුණු අස්ථි ස්තරයකින් ද ඒ ස්තරය මත්තේ ක‍්‍රමවත් ලෙස පිළියෙල වූ කොරොස් වරූථක ආවරණයකින් ද සමන්විත වීම යි. කවචයෙහි පෘෂ්ඨීය ව උත්තල කොටස උඩු කබොලයි. වඩාත් පැතලි උදරීය කොටස යටි කබොල යි. උරස් කශේරුකා හා පර්ශු සාමාන්‍යයෙන් අස්ථිමය උඩු කබලට සවි වී ඇත. සමහර සතුන් ගේ හම් වැනි ආවරණයකින් උඩු කබොල සමන්විත වන අතර, කවචය දුර්වල ලෙස අස්ථිභවනය වී ඇත. (මෙය ජලයේ ගැඹුරට පිහිනා යන සතුන් ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. ) මොවුන් ගේ හණු, දත් නොදරන අතර, ආහාර තළා පොඩි කිරීම සඳහා සහය වීමට කොරොස් කොපු ස්ථරයක් පිහිට යි.
Chelonia ගෝත‍්‍රයට අයත් විශේෂ 8 ක් ලංකාවේ වාර්තා වේ. ඉන් කරදියේ ජීවත් වන කැස්බෑවුන් විශේෂ 5 ක් ද ගොඩබිම හා මිරිදියේ ජීවත් වන ඉබ්බන් විශේෂ 3 ක් ද වේ. මේ ලිපියෙන් දීර්ඝ ව සාකච්ඡා කැරෙන්නේ ඉබ්බන් විශේෂ තුන පිළිබඳ ව ය. මොවුන් කුල තුනක් යටතේ වර්ගීකරණය කර ඇත.
Bataguridae කුලය යටතේ ගල් ඉබ්බා (Melanochelys trijuga) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල කොරොස් වරූථක ආවරණයකින් සමන්විත වේ. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද පිහිටයි. ගාත‍්‍ර යුගල් දෙකේ බැදි පටල යාන්තමින් දැක ගත හැකි ය. පාදවල පහළ කොටස් කොරළවලින් වැසී ඇත. කුඩා පැටවුන් ගේ හිසේ රතු පැහැ පුල්ලි පිහිට යි. ප‍්‍රමාණයෙන් වැඩෙත් ම මේ අල්ලි නො පෙනී යයි. මොවුන් ගේ නාස් විවර හොම්බේ ඉදිරියෙන් ඉහළට වන්නට කුඩා සිදුරු යුගලක් ලෙස පිහිටා ඇත.
ගල් ඉබ්බා (Melanochelys trijuga) |
ලංකාවේ තෙත් සහ වියළි කලාපයේ හමුවන ගල් ඉබ්බා උප විශේෂ දෙකකට අයත් වන බව සත්ත්ව විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගල මහතා සඳහන් කර ඇත. Melanochelys trijuga parkeri නම් උප විශේෂය ලංකාවේ උතුරු කලාපවල මුහුදු බඩ පහත් ප‍්‍රදේශවල වාර්තා වේ. ලංකාවට ආවේණික මේ උප විශේෂය ප‍්‍රමාණයෙන් විශාල ය. දිග 34.5 cm ක් වන අතර පළල 24.6 cm ක් වේ.
Melanochelys trijuga thermalis නම් උප විශේෂය තෙත් කලාපයේ අඩි 4200 ක් දක්වා කඳුකරය වන තෙක් වාර්තා වේ. මොවුන් ගේ දිග 27.1 cm ක් ද පළල 19.7 cm ක් ද වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Manochelys trijuga sinhaleya නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධිය හෙවත් අවසාන මහා ග්ලැසියර අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත. අද වන විට වඳ වී ගොස් ඇති මේ උප විශේෂය දැනට ලංකාවේ ජීවත්වන උප විශේෂයන්ට වඩා ප‍්‍රමාණයෙන් විශාල වී ඇත.
Trionychidae කුලය යටතේ කිරි ඉබ්බා (Lissemys punctata) විස්තර කැරේ. මේ විශේෂයේ උඩු කබොල දුර්වල ලෙස අස්ථිභවනය වී ඇති අතර, මොළොක් සමකින් ආවරණය වී ඇත. බැඳි පටල සහිත පාද හබලක් ලෙස හොඳින් සැකැසී ඇත. හොම්බේ ඉදිරියෙන් පිහිටන නාස් සිදුරු යුගල කපාට සහිත ය. ඉහත අනුවර්තනවලින් යුත් කිරි ඉබ්බා ඉතා හොඳින් ජලජ ජීවිතයට අනුවර්තනය වී ඇත.
කිරි ඉබ්බා (Lissemys punctata) |
ලංකාවේ තෙත් හා වියළි කලාපයේ ජීවත් වන කිරි ඉබ්බා Lissemys punctata punctata උප විශේෂයට අයත් වේ. දැරණියගල මහතා ගේ විස්තරවලට අනුව Lissemys punctata sinhaleya නම් උප විශේෂය ප්ලයිස්ටොසීන අවධියේ දී ලංකාවේ ජීවත් වී ඇත.
Testudinidae කුලය යටතේ තරු ඉබ්බා (Geochelone elegans) විස්තර කරයි. මේ විශේෂය හැඳින්වීමට විවිධ ප‍්‍රදේශවල විවිධ නම් රාශියක් භාවිත වෙයි. තාරකා ඉබ්බා, වෛරන් ඉබ්බා, මූකලන් ඉබ්බා, මේවර ඉබ්බා, හූනියම් ඉබ්බා, මෑකරල් ඉබ්බා, වැටකෙයා ඉබ්බා ඒ අතරින් සමහරකි. පූර්ණ වශයෙන් ගොඩබිම ජීවිතයට අනුවර්තනය වූ විශේෂයකි. හොඳින් අස්ථි භවනය වී ඇති දෘඪ උඩු කබොල වර්ණවත් වරූථක ආවරණයකින් සමන්විත වේ. ශරීරය කහ පැහැ කොරළවලින් සම්පූර්ණයෙන් ම ආවරණය වී ඇත. පූර්ව ගාත‍්‍රා යුගලේ නඛර පහක් හෝ හතරක් ද අපර ගාත‍්‍රා යුගලේ නඛර හතරක් ද දැක්ක හැකි ය. ප‍්‍රධාන වශයෙන් ශාක භක්ෂක විශේෂයකි. වියළි කලාපයේ ජීවත් වන අතර, පතොක් පඳුරු ආශ‍්‍රිත ව බහුල ව හමුවන මේ සත්තු පතොක් ගෙඩි ආහාරයට ගැනීමට වැඩි ප‍්‍රිය බවක් දක්වති.
ඉහත විස්තර කරන ලද්දේ ලංකාවේ ජීවත් වන දේශීය ඉබ්බන් විශේෂ තුනක් පිළිබඳ ව ය. මීට අමතර ව සිංගප්පුරුවෙන්, මෙරට විසිතුරු ජල ජීවී කර්මාන්තය සඳහා පසුගිය කාලයේ දී ගෙන්වන ලද ගල් ඉබ්බන් විශේෂයක් ද වේ.
Trachymis scripta නම් විද්‍යාත්මක නාමයෙන් හදුන් වන මේ විශේෂය ඉතා වර්ණවත් ය. ගාත‍්‍රාවල හා ශරීරයේ ලා කොළ මිශ‍්‍ර කහ පැහැ තිරස් ඉරි පිහිටයි. හිසේ කර්ණ විවරය ප‍්‍රදේශයේ රතු පැහැ පුල්ලියකි. මේ නිසා ඉංග‍්‍රීසියෙන් Red - eared Terrapin ලෙස හැඳින් වේ. යටි කබොල ඉතා අලංකාරවත් වන අතර, කහ පැහැයෙන් වෛරන් වැටී ඇත. මේ ලක්ෂණ හේතුවෙන් දේශීය ගල් ඉබ්බා ගෙන් මේ විශේෂය ඉතා පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ය.
මේ විශේෂයේ කුඩා පැටවුන් සැල්මොනෙල්ලා ඒක ෙසෙලික ජීවියා ගේ ධාරකයකු ලෙස ක‍්‍රියා කරන බව සොයාගෙන ඇත. මීට අමතර ව මේ විශේෂය ලංකාවේ ජලාශවල බෝවීමට පටන් ගත හොත් බොහෝ තර්ජන එල්ලවීමට ද ඉඩ ඇත. දැනට එවැනි තර්ජනයක් නැතත්, සුළු වශයෙන් හෝ මේ සතුන් ආනයනය කිරීම තහනම් කළ යුතු ය.
2007 IUCN රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ ඉබ්බන් විශේෂ අතරින් තාරකා ඉබ්බා සහ කිරි ඉබ්බා වඳ වී යෑමේ අවදානමකට ^Vulnerable& මුහුණ පා ඇති සතුන් ලෙස ද, ගල් ඉබ්බා ආසන්න තර්ජිත ^Near Threatented& විශේෂයක් ලෙස ද දක්වා ඇත. මේ තත්වය ඇතිවීමට ප‍්‍රධාන හේතුව මස් වැද්දන් ගේ ගොදුරු බවට මේ සතුන් පත්වීම යි. 1970 දශකයේ අවසානය හා 80 දශකයේ මැද භාගය වන තෙක් ම ගල් ඉබ්බා හා කිරි ඉබ්බා සුලභ ව වාර්තා වී ඇත. මොවුන් ඇළ, දොළ හා වැව්වල පමණක් නො ව, ගල් කැඞීම නිසා හෑරී ඇති විශාල ගල් වළවල් තුළ ද ජීවත් වී ඇත. එහෙත් අද වන විට ආහාර පිණිස සීග‍්‍රයෙන් මැරීම නිසා මේ සතුන් දුර්ලභ විශේෂ බවට පත් වී ඇත. මීට අමතර ව දුටු හැම ඉබ්බකු ම (තරු ඉබ්බා හා ගල් ඉබ්බා බහුල වශයෙන්) ගෘහාශ‍්‍රිත ව ඇති කිරීම සඳහා අල්ලාගෙන යෑම ඔවුන් ගේ බෝවීමට තවත් තර්ජනයකි.
පසුගිය වකවානුවේ අපරීක්ෂාකාරී ලෙස සිදු වූ ඊනියා සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා මේ සතුන් වඳ වීමට රුකුලක් වී ඇති බව කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය නිර්මාණයේ දී සිදු වී ඇති සිද්ධීන්ගෙන් පැහැදිලි වේ. මේ ඉදිකිරීම් සිදු කළ වැඩබිමක සේවා කළ පුද්ගලයකු ගෙන් දැනගන්නට ලැබුණු තොරතුරුවලට අනුව මෙකී ප‍්‍රදේශයේ ජිවත් වූ අති විශාල ගල් ඉබ්බන් ප‍්‍රමාණයක් එහි සේවය කළ කම්කරුවන් ගේ ආහාරය බවට පත් වී ඇත. තව ද මේ සතුන් ඉතා හිංසාකාරී ලෙස මරා දමා ඇති බව ද දැනගන්නට ලැබිණි. සමහර අවස්ථාවන්හි අල්ලා ගත් ගල් ඉබ්බන් පණපිටින් ළිප මත තබා පුලූස්සා මරණයට පත් කරන අතර, තවත් සමහර අවස්ථාවන්හි වාහනවල ටයරයට හසු කර දිගු දුරක් පොළවේ ඇතිල්ලෙමින් තල්ලූ කරගෙන යෑමෙන් මරණයට පත් කරන බව ද දැනගන්නට ලැබිණි.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ මේ සතුන්ට නෛතික ආරක්ෂාව සලසා ඇත. මරණයට පත් කිරීම, තුවාළ කිරීම හෝ හානි කිරීම, අල්ලා ගැනීම, බිත්තර විනාශ කිරීම, මරණ ලද හෝ අල්ලා ගනු ලැබූ සතකු ළග තබා ගැනීම සහ සතකු හෝ කොටස් විකිණීම හෝ ප‍්‍රදර්ශනය කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. මෙවැනි ක‍්‍රියාවක් කරන්නකු හට රු. 20 000 - රු. 50 000 දක්වා දඩයක් හෝ වසර 2-5 දක්වා සිර දඩුවම් හෝ දඩුවම් දෙක ම ලබා දිය හැකි ය.
මෙවන් නෛතික ආරක්ෂාවක් ලබා දී ඇත්තේ වඳ වී යෑමේ එළිපත්තේ සිටින මේ සතුන් රැුකගැනීම පරිසර පද්ධතිවල තුළිතතාවට ඉතා ම වැදගත්වන නිසා ය.
සජීව චාමිකර
apage watina me sampath rakaganeemata baladaringe as me wetha yomuwewa..!!!
ReplyDeleteVery important.
ReplyDeleteමා සතුව දුහුදු තෙල් තියේ ඔන අයට.
ReplyDeleteමා සතුව දුහුදු තෙල් තියේ ඔන අයට.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete