vol 6




සදාහරිත කලාපය - 6

ඇතුළත.........................


  • රුහුණුපුර සංවර්ධනය අභිමුව බූන්දල පක්ෂි පාරාදීසය අන්තරායයක
  • රන් දියවර හෙළා ඇදෙන දිය ඇලි අඟනුන් බල මැන 
  • ගොල්ෆ් පිටියක් පිණිස මහා භූමි පූජාවක යෙදී සිඳී යන කොස්ගහමංකඩ වන ප‍්‍රවාහය
  • ගැමි පරිසරයේ ජෛව විවිධත්වයෙන් මතු වූ මාර්ටින් වික‍්‍රමසිංහ පාරිසරික සලකුණ
  • විල්පත්තු පේ‍්‍රරක කලාපයේ වනාන්තර අක්කර 245 ක අලින් ගේ නිජබිමක් එළි පෙහෙළි කෙරේ
  • ප‍්‍රකෘතියෙන් ඈත් වන තරමට මනුෂ්‍යයා ගේ ජීවිතය අවුල් වෙයි
  • කෘෂි තාක්‍ෂණය විශ්ව නීතියට යටත් ද?
  • ඝන අපද්‍රව්‍ය මෙල්ල කිරීමට සියලූ පාර්ශ්වකරුවනි එක්වවු
  • මල් නො තළා රොන් ගන්නා බමර ගණ සේ පරිසරය හා බැඳෙමු
  • මගේ ජීවිතය කියන්නේ පරිසරයමයි ප‍්‍රමුඛ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ
  • අග නගරය සැලැසුම් කරලීම විෂම යන්ත‍්‍රණයට හසු වීම
  •  වනජීවී සංරක්ෂණයේ මහා කාර්යසාධක තක්සලාව ගිරිතලේ වනජීවී පුහුණු මධ්‍යස්ථානය
  • නදී ඝෝෂය
  • කොඩිගහකන්දට සාමයේ කොඩිය පලඳවමු
  • අරණකට පෙම්බැඳ

.............................................................................................................................................................................................................................................


රම්බොඩ දිය ඇල්ල


රන් දියවර හෙළා ඇදෙන

දිය ඇලි අඟනුන් බල මැන


මම කුඩා කල සිට ම පරිසරයට මහත් සේ ඇලූම් කෙළෙමි. ගස්වැල්, කඳුහෙල් දකින විට පවා මා තුළ ඇති වන සතුට ඉමහත් ය. මා ජායාරූප ශිල්පියකු වීම ද මගේ සෞන්දර්යකාමී ජීවිතයට ආහිර්වාදයක් වැන්න. ඔබ මේ සමඟ දකින ජායාරූප මගේ ඒ ප‍්‍රකාශය සනාථ කරයි. 


ඈත අතීතයේ දී මෙරට මහ වන මැද විශාල දිය ඇලි සංඛ්‍යාවක් සැඟව පැවැතිණි. එහි අසිරිය විදගත්තෝ ගස් වැල්, සමනළයන්, බිඟුන්, විහඟුන්, සිවුපාවුන් සහ වනමල් වූ හ. ඔවුන් ද ඉතා ළෙන්ගතු ව මේ සුන්දර දිය ඇලිවල පහස ලබා ගත්තා මිස ඊට හානි පැමිණ වූයේ නැත. වසර ගණනාවක් ගතවීමෙන් පසු මිනිසා ක‍්‍රමයෙන් කාර්මීකරණය දෙසට තල්ලූ වී ගියේ ය. ඔවුන් කෙරෙන් සොබා සෞන්දර්යයට තිබෙන ඇල්ම හීන වන්නට විය.  මේ අතර නොයෙක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඝන වනාන්තර එළි පෙහෙළි කරන්නට ද සිදු විය. වැඩි වන නිවාස ප‍්‍රශ්නය ද ඊට බලපෑවේ ය. මිනිසා ආර්ථික වාසි සලසා ගැනීම සඳහා ද වන සම්පත් බිලි ගත්තේ ය. ඉහත හේතූන් සියල්ල නිසා වනාන්තර තුළ සැඟව තිබුණු දිය ඇලි ද මිනිසා ගේ නෙතට ගැටිණි. එය මේ සුන්දර දිය ඇලිවල පැවැත්මට හිතකර නො වී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද බොහෝ දිය ඇලි සිඳී ගොස් ය. තව සමහරක් නාය යෑම්වලට ගොදුරු වී විනාශ වී ගොස් ය. ඉතිරි වී තිබෙන දිය ඇලිවලින් ද වැඩිහරියක් ඇත්තේ අඩු දිය දහරාවකි. ඒවා ද බොහෝ විට මඬ මිශ‍්‍ර අපිරිසුදු ජල දහරාවන් ගෙන් යුක්ත වේ. ජලාධාර ප‍්‍රදේශ එළි පෙහෙළි කර විවිධ වගා කටයුතු සඳහා යොදා ගැනීමත්, මැණික් ගැරීම් වැනි කටයුතු නිසාත් මේ ඉරණම අත් වී තිබේ. 


මෙරට දිය ඇලි බහුල ව දැකගත හැක්කේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් හා මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙනි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ තිබෙන දිය ඇලි කොටසක් කඳුකර තෙත් කලාපීය දිය ඇලි ලෙස හැඳින්විය හැකි අතර, ඒවා නිරිත දිග මෝසමින් පෝෂණය වේ. ඊසාන දිග මෝසමින් පෝෂණය වන දිය ඇලි කඳුකර වියළි කලාපීය දිය ඇලි ලෙස හැඳින් වේ. 


දිය ඇලි නරඹන විට දී...
ඔබ දිය ඇලි නරඹන විට ඔබේ අවධානය ඒ සුන්දර පරිසරයට හොඳින් යොමු කර ඒ අවට පරිසරය ද හොඳින් නිරීක්ෂණය කළ යුතු ය. ඔබට දිය ඇල්ල පිහිටි පරිසරයේ තිබෙන තුරුලතා, මල්, ඵල, වන සතුන් ද දැකගත හැකි වනු ඇත. ගලා හැළෙන දිය දහරාවල මියුරු හඬට දෙසවන් යොමු කරන්න. ඔබේ ගත සිත ප‍්‍රබෝධවත් වී, විඩාව පහ ව යනු ඇත. ඔබ දිය ඇලි නරඹන විට එහි අසිරිය විඳ ගන්නවා විනා ඒ අවට පරිසරයට හානිවන දෑ කිසිවක් නොකළ යුතු ය. විශේෂයෙන් ම ඔබ රැගෙන යන ආහාරපානවල කොටස් පොලිතින් කොළ හා පොලිතින් මිශ‍්‍ර අපද්‍රව්‍ය, හිස් බීම බෝතල්, බිඳුණු බදුන්, දිය ඇලි ආශ‍්‍රිත පරිසරයට එක් කිරීමෙන් වළකින්න. පරිසරයට මෙන් ම ඔබට ද හානිදායක ලෙස නොහැසිරෙන්න. දිය ඇලි ආශ‍්‍රිත ව තිබෙන පුවරුවල සඳහන් උපදෙස් පිළිපදින්න. ඒවා ඔබේ ආරක්ෂාව සඳහා සහ දැනුම ලබා ගැනීම සඳහා සවිකර තිබේ. ඔබ දකින පරිසර සුන්දරත්වය මතු පරපුරට ද ආරක්ෂා කර දීඹ ඔබේ යුතුකමකි. ඊට හැකි අයුරෙන් දායකවන්න. ඔබ පරිසරය රකින්න. එවිට පරිසරය ද ඔබ රකිනු ඇත. 


දිය ඇලි නිර්මාණය වන අයුරු
වර්ෂාව මඟින් මිහිමතට ඇද හැළෙන ජලය කොටසක් පොළොවට උරා ගන්නා අතර, ඉතිරිය පොළොව මතුපිටින් ගලා යයි. ඊට ඉඩ හළ ජලාධාර ප‍්‍රදේශවලින් ගලා එන උල්පත් ජලාධාරාවන් ද එකතු වී ගංගා නිර්මාණය වීම ආරම්භ වේ. උස් ස්ථානවල සිට පහළට ඇදෙන මේ ගංගා මඟින්, භූමියේ විවිධ භූ රූප නිර්මාණය කරයි. කුඩා දිය පහරක් ලෙස ඇරැුඹෙන දිය දහරාවන් වේගවත් වෙමින් පස ඛාදනය කරමින් :ඪ* හැඩ නිම්න නිර්මාණය කරයි. ගලන ජලයේ ක‍්‍රියාකාරීත්වය නිසා සිරස් හා තිරස් සංඝර්ෂණය ඇති වේ. මින් ගංගා පතුල් හා ඉවුරු ඛාදනය වීමට පටන් ගනී. ගංගාවක් ගලායන නිම්නවල තද හා මෘදු පාෂාණවල ස්වභාවය අනුව ඛාදන ක‍්‍රියාවලීන් සීග‍්‍ර හෝ මන්දගාමී වේ. මෙලෙස දුර්වල පාෂාණ ඛාදනය කරමින් ද තද පාෂාණ මඟහරිමින් ද පහළට ගලා යන ගංගාවලට එකවර ම භූමියේ ඇති කඩතොලූ ස්ථාන හමු වේ. ඒ සේ නැතිනම් ගංගා ගලා යන වේදිකාවේ සිට පහළ වේදිකාවට පිවිසීම සිදු වේ. මෙවැනි ස්ථානයන්හි දිය ඇලි නිර්මාණය වේ. ඇද හැළෙන ජල කඳේ ප‍්‍රමාණය මෙන් ම උස ද වැඩි නම් අපි ඒවා දහර ඇලි ලෙස හඳුන්වන අතර, එතරම් උස් නො වූ පටු දිය ඇලි කඳුරු ඇලි ලෙස හඳුන්වමු. එහෙත් මේ දිය ඇලි නොනැසී පවතින්නේ ඒ බෑවුම්වල තිබෙන පාෂාණවල ස්වභාවය අනුව ය. ඇද හැළෙන දිය ඇල්ලේ වේගයට ඔරොත්තු නොදෙන මෘදු පාෂාණ ස්තර සහිත දිය ඇලි පසුකාලීන ව විනාශ වී යයි. තද පාෂාණ ස්තර සහිත මොහොර බෑවුම් මතින් පහතට ඇදෙන දිය ඇලි සමහරක් බෑවුමේ නොගැටෙන අතර, තව සමහරක් සීග‍්‍ර බෑවුම් මතින් පහළට ගලා යයි. වේදිකාවෙන් වේදිකාවට පනිමින් ගලන සුන්දර දිය ඇලි ද දක්නට ලැබෙන අතර, පාෂාණ ස්තරය මතින් ම මඳ බෑවුම් දිගේ ගලා බසින දිය ඇලි ද දැක ගත හැකි ය. 


රම්බොඩ දිය ඇලි
දිය ඇලි තුනක් එකිනෙකට ආසන්නයේ දැකිය හැකි සුන්දර දසුනක් රම්බොඩ ගම්මානයේ දී දැකගත හැකි ය. රම්බොඩ ගම පිහිටියේ නුවර සිට නුවරඑළිය දක්වා යන මහා මාර්ගයේ කි.මී. 53 ක් පමණ ගමන් ගත් විට ය. රම්බොඩ ගම්මානයට ඒ නම ලැබී ඇත්තේ මේ සේ ය. ගම්පොළ සිටි බුවනෙකබා රජු ගේ දේවියට වැලැඳී තිබූ අධික හිසරදය සුවකර දෙන ලෙස රජු මොරපෙ (කොත්මලේ) කතරගම දේවාලයට බාරයක් වී තිබේ. ඒ බාරය ඔප්පු කිරීමට රන් බොණ්ඩියක් අවශ්‍ය වූ අතර, එය තනා දීම සඳහා භාර දුන් ගම රන්බොණ්ඩිය තැනූ ගම පසු ව රන්බොඩ වී ඇත. රන්බොඩ උප තැපැල් කාර්යාලය ආසන්නයේ පිහිටි මේ දිය ඇලි මහා මාර්ගයට ඉහළින් කොටස් දෙකක් හා මාර්ගයට පහළින් කොටසක් ලෙස දක්නට ලැබෙයි. ඒ පහළ කොටස ද වේදිකා දෙකකින් යුක්ත වේ. 


පිදුරුතලාගල කඳු පන්තිය ආශ‍්‍රිත ව වෙදමුල්ල කන්දෙන් ඇරැඹී වෙදමුල්ල තේ වත්ත හරහා ගලාවිත් තේ වත්ත මායිමෙන් පහළට ඇද හැළෙන දිය ඇල්ලේ ආරම්භක කොටස මීටර 100 ක් පමණ උසකින් යුක්ත වේ. සීග‍්‍ර බෑවුමක් මතින් ගලා එන මේ ඇල්ල ළඳු කැලෑ සහිත ප‍්‍රපාතයකට ඇඳ හැළේ. එ සේ ගලා එන ජල ධාරාව මඟින් රන්බොඩ මහා මාර්ගය අසල ම දක්නට ලැබෙන රන්බොඩ ඇල්ලේ දෙවන කොටස නිර්මාණය කැරේ. එය එතරම් උස නො වූ කුඩා එහෙත් දර්ශනීය ඇල්ලක් ලෙස දිස් වේ. මේ කොටසට මිනිස් ක‍්‍රියාකාරකම් නිසා බොහෝ අපද්‍රව්‍ය එකතු වේ. සංචාරකයන්, ස්නානය සඳහා බොහෝ විට මේ ස්ථානය භාවිත කරන අතර, නොයෙක් ප‍්‍රචාරක කටයුතු සඳහා ද මේ ස්ථානය භාවිත මේ. රන්බොඩ ඇල්ලේ දර්ශනීය ම දසුන දැකගත හැක්කේ මහා මාර්ගයට පහළ කොටසිනි. එය ප‍්‍රධාන මාල දෙකකින් යුක්ත වන අතර, උසින් මීටර 109 කි. මේ ඇලි පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමින් අඩි 3200 ක් ඉහළිනි. රන්බොඩ ඇල්ල නිර්මාණය කරමින් ගලා යන රන්බොඩ ඔය කොත්මලේ ජලාශයට එකතු වේ. ඉතා මනරම් ස්ථානයක පිහිටි රන්බොඩ ඇලි ආශ‍්‍රිත පරිසරයේ දී ෆයිනස්, තෘණ වර්ග, මානා පඳුරු, ගඳපාන ශාක හා කටු පඳුරු දක්නට ලැබේ. සමනලයන්, කොබෙයියන් හා කටුසු වර්ග මෙහි දී දක්නට ලැබේ. 


සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල ශ‍්‍රී ලංකාවේ ‘නයගරාව’ ලෙස මම හඳුන්වමි. එය නයගරාව තරම් ම සුන්දර බැවිනි. ශ‍්‍රී ලංකාව සතු ලස්සන ම දිය ඇලි කිහිපයෙන් එකක් වන මේ ඇල්ල, වැසි කාලවල දී විශාල ජල දහරාවක් රගෙන විත් වේදිකා දෙකකට පතිත වෙමින් මිහිරි නාදයක් මෙන් ම පරිසරය පුරා ම දුම මෙන් පිණි බිදු විසිරුවා හරිමින් දර්ශනීය සාන්ත ක්ලෙයාර් තේ වත්ත අතරින් ගලා බසී. දිය ඇලි දෙකක් ලෙස එක් ගල්තලාවක එකෙකට නුදුරෙන් ගලා හැළෙන මේ ඇලි කුමරියන් ඈතට දිස්වනුයේ තනි ඇල්ලක් ලෙසිනි. ඈත අතීතයේ දී ”මනාලියක ගේ සේලය” ලෙස හඳුන්වා තිබූ මේ ඇල්ල පළලින් ද මුල් තැන ගනී. එහෙත් ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය නිසා සාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ සුන්දරත්වය හීන වී යනු නියත ය.


නුවරඑළිය දිස්ත‍්‍රික්කයට අයත් මේ අති සුන්දර දිය ඇල්ල, හැටන් සිට නුවරඑළිය දක්වා දිවෙන මාර්ගයේ තලවකැලේ නගරයට කි.මී. තුනක් නුදුරින් 84. A7 කණුව ආසන්නයේ පිහිටා තිබේ. එහි උස මීටර 80 ක් පමණ වේ. මේ ඇල්ලේ සුන්දරත්වය දැක ගැනීමට නම් මහා මාර්ගයෙන් බැස අසල තේ වත්තෙන් පහළට බැසිය යුතු ය. විශාල මානා පඳුරුවලින් වසා සිටින මේ ඇල්ල පාමුල ප‍්‍රදේශයේ කූඩැල්ලෝ බහුල ව සිටිති. කොත්මලේ ඔය විසින් නිර්මාණය කරනු ලබන සාන්ත ක්ලෙයාර් ඇල්ල අවසානයේ මහවැලි ගඟ හා එක් වේ. 


දූවිලි ඇල්ල 
මේ ඇල්ල වන මැද සැඟව ගලා බසින ඉතා සුන්දර දිය ඇල්ලකි. එහි උස මීටර 40 ක් පමණ බව මිනුම් අංශ වාර්තා කොට ඇත. සමතලා බිමක සිට තද පාෂාණවලින් යුත් සීග‍්‍ර බෑවුම් සහිත ජල තටාකයකට මේ ඇල්ල ඇද හැළේ, ජලය අඩු කාලවල දී දෙකට බෙදී ගලන මේ ඇල්ල ජලය වැඩි කාලවල දී මුළු ගල්තලාව ම වසා ගෙන තනි ඇල්ලක් ලෙස තටාකයට පතිත වේ. මේ තටාකය අඩි 20 ක් පමණ ගැඹුරෙන් යුක්ත වේ. දූවිලි ඇල්ලට ඉහළින් කුඩා දූවිලි ඇල්ල පිහිටා තිබේ. එය කුඩා වුවත් එයින් වැටෙන ජල කඳ ඉතා කැලැඹිලි සහිත ය. බොහෝ දෙන මෙතැන දිය නෑමට ගොස් අන්තරායන්ට ලක් වෙති. මෙය එතරම් විශාල නො වූ පටු තැනක් වුවත් ජලයෙන් යට ප‍්‍රදේශය අඩි 30 ක් පමණ ගැඹුරු වන අතර, ගං පතුල විශාල ගල් කුහරවලින් යුක්ත වේ. ඒ නිසා මෙතැන අන්තරායදායක බවින් වැඩි ය. ඇල්ල ඇද හැළෙන ගල්තලාව සමීපයට යෑම සඳහා කැලය තුළින් කුඩා මාර්ගයක් ඇත. මේ ඇල්ලේ ඉහළ ප‍්‍රදේහයේ තිබෙන විශාල ගල්තලාවේ ස්වභාවික ව ගල් කුහර පිහිටා තිබෙනු දැක බලාගත හැකි ය.


දර්ශනීය දූවිලි ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ වලවේ ගෙඟනි. සමනොළ කඳු පන්තියෙන් ඇරැඹෙන වලවේ ගඟ දෙමෝදර නමැති ස්ථානයේ දී බෙලිහුල්ඔයේ ජලයට එකතු වේ. එතැන හරස් කොට වේල්ලක් බැඳීමෙන් සමනළ වැව තනා ඇත. ඒ නිසා දූවිලි ඇල්ලට ලැබෙන ජල ධාරිතාව අඩු විය. ඇල්ල හොඳින් බලාගත හැකි වන්නේ සමනළ වැවේ ජල පිටාර දොරටුව විවර කළ කාලවල දී ය. එහෙත් අද දූවිලි ඇල්ල නරඹන්නන්ට ආශිර්වාදයක් වී ඇත්තේ සමනළ වැවේ තිබෙන ජල කාන්දුව නිසා ඉන් පිටතට එන ජලය වලවේ ගඟ පහළට ගලා යයි. එය දූවිලි ඇල්ලෙන් පහතට බැස වලවේ දිගේ ම ගලා ගොස් උඩවලව ජලාශයට එකතු වේ. මේ දර්ශනීය දිය ඇල්ල දූවිලි ඇල්ල ලෙස නම් ලබා ඇත්තේ ඇල්ල පාමුල ජල තටාකයේ සිට සුළඟට දුවිලි මෙන් ඉහළට විසිරෙන පිනි බිඳු නිසා ය. 
කල්තොට ප‍්‍රදේශයේ පිහිටා තිබෙන මේ දිය ඇල්ලට ළඟා වීම සඳහා ඇති දුෂ්කර මාර්ගයක ගමන් කළ යුතු ව තිබිණි. මහ වන මැද පිහිටා තිබුණු මේ ඇල්ල සුරැකි ව තිබුණේ එබැවිනි. එහෙත් මෑතක සිට ඇල්ල අසලට ළඟා විය හැකි පහසු මාර්ගයක් සබරගමුව පළාත් සභාව විසින් සකස් කරනු ලැබ තිබේ. ඉන් බලාපොරොත්තු වන්නේ සංචාරක ආකර්ෂණය ලබා ගැනීම වුවත් මේ සුන්දර දිය ඇල්ලේ විනාශයට ද එය හේතුවන්නට පුළුවන. 


මේ ඇල්ල අවට වනයේ දැව ජාවාරම හා මැණික් ගැරීම සිදුවන අතර ඉන් විශාල පරිසර හානියක් සිදු වේ. කුරුලූ පාරාදීසයක් වන මෙහි ලංකාවට ආවේණික සැලළිහිණියන් බහුල ව දැකගත හැකි ය. අලි ඇතුන් මෙන් ම ගෝනුන්, මුවන්, දිවියන් වැනි සතුන් ද ගිරා මලිත්තන්, පවන් පෙන්දන්, නීල කොබෙයියන් හා සමනළ විශේෂ ද උරඟ වර්ග ද බහුල ව දක්නට ලැබේ. ඉතා වටිනා කළුවර, බුරුත වැනි ශාක වර්ගත්, යෝධ පුස්වැල් හා ඖෂධීය ශාක වර්ගත් මෙහි තිබේ. 


දියළුම ඇල්ල


මීටර 171 ක් පමණ උසකින් යුත් ලංකාවේ තුන්වන උස ම දියඇල්ල වන මෙය, කොස්ලන්ද සානුවේ සිට පහළ ප‍්‍රපාතයට ඇදෙන්නේ සුදු සේලයක් ආකාරයෙනි. පූනගල ඔයෙන් ඇරැඹෙන දිය කඳ මේ ඇල්ල නිර්මාණය කරන අතර, එහි ජලය කුඩා ඔයට එකතු වී පසු ව කිරිඳිඔයට එක්වෙමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් සයුරට එක් වේ. 
හපුතලේ කඳුවැටිය පූනගල බෑවුමේ දකුණට වන්නට පිහිටා තිබෙන මේ ඇල්ල සිහින් රිදී රේඛාවක් මෙන් ඈතට දිස් වේ. බලංගොඩ නගරයේ සිට බෙරගල මාර්ගයේ ගමන් ගන්නා ඔබට කොස්ලන්ද නගරයේ සිට කි.මී. හයක් පමණ දුරින් මේ සුන්දර ඇලි ලලනාව දැකගත හැකි ය. වැල්ලවායේ සිට කොස්ලන්ද දෙසට කි.මී. 13 ක් ගමන් කළ පසු ව ද මීට ළඟා විය හැකි ය. මහා මාර්ගය අසල ම පිහිටා තිබීම නිසා මේ ඇල්ල බොහෝ ජනයා ගේ නෙත ගැටිණි. මේ ඇල්ලට ඉහළ ජල පෝෂක ප‍්‍රදේශයේ තුරුලතා විනාශ කිරීම නිසා, ඇල්ලේ සුන්දරත්වය විනාශ වී ගොස් තිබේ. මධ්‍යම කඳුකරයට වැසි ලැබෙන කාලවල දී මේ ඇල්ලේ සුන්දරත්වය දැකගත හැකි ය. ඒ කාලවල දී දිය ඇල්ලෙන් විසිරෙන දිය බිදු මුළු ප‍්‍රදේශය පුරා ම සුළං හමන දෙසට විසිරී මහා මාර්ගයේ ගමන් යන්නන් පවා තෙත් කරයි.


ජනප‍්‍රවාදයකට අනුව පහතරට සිටි ගෝත‍්‍රික නායකයකු අඩු කුල කුමරියක හා පෙමින් වෙළී සිටියේලූ. තම වර්ගයේ විරෝධය නිසා රහසේ කන්ද උඩරටට පලා යන මේ යුවළට අතරමඟ දී විශාල ගල් පර්වතයක් හමු විය. තම කුමරිය වැල් පොටක ආධාරයෙන් ඉහළට ගැනීමට උත්සාහ දැරීමේ දී වැල්පට කැඞීම නිසා කුමරිය පහළට වැටී මිය ගොස් තිබේ මෙය දුටු දෙවියකු විසින් ඇය සිහිවීම පිණිස දියළුම ඇල්ල නිර්මාණය කළ බව ද සඳහන් වේ. 


තවත් ජනප‍්‍රවාදයක සඳහන් වන්නේ මේ ඇල්ලේ සිරි නැරැඹීමට පැමිණි සුදු ජාතික යුවළක් ඇල්ලේ ඉහළ මුදුනේ සිට කඹයක් ආධාරයෙන් ඇල්ල පහළට බැසීමට තැත් කළ මොහොතේ සුදු ජාතික තරුණයාට එය නොහැකි වූ බව යි. පසු ව තරුණිය සාර්ථක ලෙස කඹය දිගේ බසිනු දුටු සුදු තරුණයා අධික ලැජ්ජාවට පත් වී කඹය කපා සුදු තරුණිය මරණයට පත් කෙළේලූ! දියළුම ඇල්ලෙන් නැෙඟන්නේ ඒ සෝචනීය පුවතේ විලාපය යි. එමෙන් ම දිය හැළුම දියළුම වූ බව ද පැවැසේ. 
දිය ඇලිවලින් බැසීමේ ක‍්‍රීඩාව ඉතා ත‍්‍රාසජනක ය. දියළුම ඇල්ල බසිමින් සිටි දමින්ද තාබෲ කඹය අතහැරීමෙන් ඇල්ල පාමුලට වැටී සඳහට ම අපෙන් සමුගෙන ගියේ ය. එහෙත් නිලන්ත සොයිසාට ඉතා සාර්ථක ව දියළුම ඇල්ල බැසීමට හැකි විය


දියළුම ඇල්ලට ඉහළින් පුංචි දියළුම ඇල්ල පිහිටා තිබෙන අතර, ඒ ප‍්‍රදේශය අවට අලි රංචු දැකගත හැකි ය. සුදු වතුපාලකයන් දිය නෑ ස්වාභාවික දිය තටාකයක් ද මෙහි තිබේ. ඇල්ලට ඉහළ ප‍්‍රදේශයේ හා ඇල්ල අවටින් වල් ඌරන්, ඉත්තෑවුන්, විවිධ සමනළයන්, කොබෙයියන්, වඳුරන් වැනි සතුන් දැකගත හැකි අතර, විෂ සහිත සර්පයන් හා කටුසු වර්ග ද දක්නට ලැබේ. මේ සියලූ දිය ඇලි ඇසුරෙහි සැරිසරන මට සොබාදහම නැමැති රුචිරාණිය ගේ විස්මිත නිර්මාණ කෞශල්‍යය පිළිබඳ ව විමතියක් ඇති විය. 


සමන් විජේසිංහ        

.............................................................................................................................................................................................................................................




ගොල්ෆ් පිටියක් පිණිස 
මහා භූමි පූජාවක යෙදී සිඳී යන 
කොස්ගහමංකඩ වන ප‍්‍රවාහය ! 

බියගත් වන මුදුන් මතින් ඉදහිට රැවු නැගෙන වත රතු මල් කොහා ගේ නදයෙහි යම් සෝකී ස්වරයක් ඇතැ යි මට සිතේ. වෙන දා මා මෙහි දුටු හිසරන් කහ කුරුල්ලා, රත් කොණ්ඩ කොහා, බඩ රතු රාජාලියා වැනි සියොතුන් ගේ ඡුායා මාත‍්‍රයක් හෝ දක්නට නැත. සුළඟ ගිනියම් වෙසින්, කපා ළූ වනයෙහි විවර තුළින් ඇතුළු ව සැරිසරයි. කොස්ගහමංකඩ වන බිම එළි පෙහෙළි කරනට යකුන් ගෙන් වරම් ගත්තවුන් මෙන් යන්ත‍්‍ර නඟන කර්ණ කටුක හඬින් මුළු වනය කම්පිත ව ඇත!


වේලිඔය ව්‍යාපාරය යටතේ යල - මහ දෙකන්නය වගා කළ ජනතාව අවතැන් කරමින්, අලි - මිනිස් සහජීවනය බිඳ හෙළමින්, සොරගුණේ දේවාලයේ නින්දගම් ඉඩම්වලට අයත් කොස්ගහමංකඩ වනාන්තරයේ අක්කර 628 ක් එළි පෙහෙළි වෙයි! “Eco Golf Resort” නමින් ගොල්ෆ් ක‍්‍රීඩා පිටියක් හා හෝටලයක් ඉදිකිරීමට වනාන්තර මැනීම හා ව්‍යාපෘතිය සැලැසුම් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙයි. පසුගිය දිනවල ව්‍යාපෘති භූමියට පිවිසුම් මාර්ග සැකැසීමේ කටයුතු ද ක‍්‍රියාත්මක විය. හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්වන්ගුහාව ග‍්‍රාම නිලධාරී වසමේ දඩයම්පහළගම ග‍්‍රාමයේ පිහිටි වනාන්තර කොටසේ මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ. කොළඹ 07, ධර්මපාල මාවතේ අංක 65/බී දරන ස්ථානයේ පිහිටි  “Alpha and Omega Developers (Pvt) Ltd” නම් සමාගම විසින් මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කැරේ. 


මේ සඳහා යොදා ගන්නා ඉඩම් සොරගුණේ කුඩා කතරගම දේවාලයට අයත් නින්දගම් ඉඩම් වන අතර, ඒ ඉඩම් බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත වනාන්තර ඉඩම් ය. මේ වනාන්තර ඉඩම වේලිඔය වාරි ව්‍යාපෘතියේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන අතර, උඩවලව ජාතික වනෝද්‍යානයට උතුරෙන් පිහිටි අලි - ඇතුන් ගේ සුවිශේෂී වාසස්ථානයකි. 


මේ වනාන්තර බිම් සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ එච්. එම්. ජනක රවීන්ද්‍ර කළුපහන මහතා වරින්වර වංචනික ලෙස විවිධ පුද්ගලයන්ට පැවරීම සිදු කරයි. අංක 1567 (2006.07.21 දින ලියාපදිංචි අංක J152/126 බදුල්ල) දරන ඔප්පුවේ උප ලේඛනගත වනාන්තර ඉඩම් මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන සමාගමේ ආයෝජකයා වන ඇමෙරිකාවේ පදිංචි වාසු රාසයියා නැමැත්තා ලබාගෙන ඇත්තේ ද එලෙස පැවරූ පුද්ගලයකු ගෙනි. මේ ව්‍යාපෘතිය පිටුපස සිටින ප‍්‍රධාන දේශපාලන හස්තය වි. ජ. මු. ලොකු බණ්ඩාර මහතා ගේ පුත් හපුතලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකු බණ්ඩාර මහතා ය. මීට අමතර ව බණ්ඩාරවෙල ප‍්‍රධාන ව්‍යාපාරිකයකු ගේ පුත‍්‍රයකු හා හල්දුම්මුල්ල ප‍්‍රදේශයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු කිහිප දෙනෙක් මේ වනාන්තර ඉඩම් කොල්ලය හා ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ ව සිටිති. මේ දේශපාලන හා නිලධාරී සම්බන්ධය හේතුවෙන් පාරිසරික අනපනත් තුට්ටුවකට මායිම් නොකර මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. 


සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර වනාන්තර ආශ‍්‍රිත නොවන සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. එහෙත් ඊට ප‍්‍රථමයෙන් යෝජිත ව්‍යාපෘති භූමියේ වනාන්තරය පුරා වනාන්තර තීරු එළි පෙහෙළි කරමින් මැනීම් කටයුතු සිදු කිරීම හා මාර්ග සැකැසීම නීති විරෝධී ක‍්‍රියාවකි. මෙලෙස මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාදීමට ප‍්‍රථමයෙන් ඒ සඳහා අනුමැතිය ලැබේ ය යන පූර්ව නිගමනය ඇති ව ව්‍යාපෘති භූමිය සකස් කිරීම, ව්‍යාපෘති යෝජකයන් ගේ විලාසිතාවක් බවට පත් වී තිබේ. ඒ තත්ත්වය මැඩ පැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරිය ඍජු ව මැදිහත් විය යුතු ය. එසේ නොවුණහොත් පුනර්ජනනය කළ නොහැකි මෙවන් සම්පත් ඊනියා සංවර්ධකයන් ගේ ගොදුරු බවට පත් වී වැනසී යනු ඇත.  


මේ වන බිමට ද අත්වෙමින් තිබෙන්නේ එවන් ඉරණමකි. උඩවලව ජාතික වනෝද්‍යානය හා ඒ ආශ‍්‍රිත වනාන්තර පද්ධතිය අලි - ඇතුන් ගේ නිජබිමක් ලෙස අලි - මිනිස් සහජීවනයෙන් යුතු කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින මුත්, දේශපාලන බලපෑම් අනුව අලි - මිනිස් සහජීවනය බිඳ හෙළීමේ ක‍්‍රියාකාරකම් මේ අයුරෙන් නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කිරීම කනගාටුවට කරුණකි. 


උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට උතුරු දෙසට අලි - ඇතුන් ගේ සාංක‍්‍රමණික ගමන් මාර්ගය විහිදී ඇත්තේ දහයියාගල අභය භූමිය හරහා බෝගහපිටිය, සමනළ වැව වනාන්තරය, සොරගුණේ කැලය හා රජවක වනාන්තර ප‍්‍රදේශ දක්වා යි. මේ ප‍්‍රදේශය බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය ලෙසට ප‍්‍රකාශයට පත් කිරීමට වසර ගණනාවක සිට යෝජනා ඉදිරිපත් වී ඇත. එසේ වුවත් අද වන විට ද බෝගහපට්ටිය - සමනළ වැව අභයභූමිය යෝජිත තත්ත්වයේ පවතින අතර, සොරගුණේ කැලය, වන පාළුවන් ගේ රජදහනක් ව පවතී. මේ තත්ත්වය අලි - මිනිස් සහජීවනය බිඳ හෙළීමට ප‍්‍රබල ලෙස බලපා තිබේ. එසේ පවතිද්දී අලි සමීක්ෂණ සිදු කර අලි - ඇතුන් සංරක්ෂණයට ක‍්‍රියාමාර්ග ගන්නා බවට නිලධාරීහු වහසි බස් දොඩවති. එහෙත් මේ වනාන්තරය රක්ෂිත තත්ත්වයට පත් කර අලි - ඇතුන් ඇතුළු වනජීවීන් ගේ රැුකවරණය තහවුරු කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විටත් නො හැකි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ වන බිම ගොල්ෆ් පිටියකට මෙලෙස බිලි වීම පුදුමයට කරුනක් නො වේ.  


යෝජිත ව්‍යාපෘති බිමේ පිහිටි වේලි ඔයේ  පෝෂක දිය දහරාවන්
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිටින අලි - ඇතුන් දහයියාගල අභය භූමිය හරහා බෝගහපට්ටිය, සොරගුනේ හා සමනළ වැව වනාන්තර ප‍්‍රදේශයන්ට සංක‍්‍රමණය වන්නේ එහි පිහිටි කරමැටිය නම් සුවිශේෂී ලවණ නිධියෙන් ලවණ අවශ්‍යතාව සපුරා ගැනීමට ය. මේ ප‍්‍රදේශයට අලින්ට අමතර ව ප‍්‍රමාණයෙන් විශාල ක්ෂීරපායී සත්තු බොහොමයක් ලවණ ලබා ගැනීමට එක්රැස් වෙති. 


සොරගුණේ වනාන්තරය යනු බෝගහපට්ටිය වනාන්තරය හා සම්බන්ධ ව පිහිටි අක්කර 12000 ක් පමණ වන සොරගුණේ දේවාලයට අයත් නින්දගම් ඉඩමකි. යෝජිත බෝගහපට්ටිය අභය භූමියට මේ නින්දගම් ඉඩම ඇතුළත් වේ. තව ද මේ වනාන්තරය කාල්කන්නි වනාන්තරය ලෙස ද හැඳින් වේ. වේලිඔයේ සහ කාල්කන්නි ඔයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශ වන්නේ සොරගුණේ වනාන්තරය යි. වේලිඔය හරස් කර ලබා ගන්නා ජලයෙන් ක‍්‍රියාත්මක වන වේලිඔය වාරි ව්‍යාපාරයේ පැවැත්ම ර`දාපවතින්නේ ද සොරගුණේ වනාන්තර ප‍්‍රදේශයේ සුරක්ෂිතතාව මත ය. වේලිඔය ව්‍යාපාරයෙන් දහයියාගල, මහ නෙටුල, කුඩා නෙටුල, බෝගස් වැව, හම්බෙගමුව, පොකුණුතැන්න, දිවුලාන ප‍්‍රදේශවල පිහිටි වැව් 27 කට පමණ ජලය ලබා දේ. ඒ යටතේ යල - මහ දෙකන්නයේ වගා කරන කුඹුරු අක්කර ප‍්‍රමාණය 3000 ක් පමණ වේ.


යෝජිත ගොල්ෆ් ව්‍යාපෘතියත් සමඟ ම මේ සියල්ල වැනසී යයි. ඊට හේතුව ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය හා හෝටලය ඉදිකිරීම සඳහා ඉවත් කරන වනාන්තර ප‍්‍රදේශය වේලිඔයේ ප‍්‍රධාන ජලධාරා ප‍්‍රදේශය වන නිසා ය. මේ වනය එළි කිරීමත් සමඟ ම වේලිඔය ව්‍යාපාරය උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙනු ඇත. එය තවත් දෙගුණ තෙගුණ වන්නේ ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය නඩත්තු කිරීම සඳහා යෙදීමට සිදු වන අති විශාල ජල ප‍්‍රමාණය නිසා ය. ඒ සඳහා අවශ්‍ය ජලය වේලිඔයෙන් හෝ භූගත ජලයෙන් ලබා ගැනීමට සිදු වනු ඇත. එසේ නොමැති ව ඊට වෙනත් විකල්ප නොමැත. එසේ ජලය ලබා ගත හොත් සිදු වන්නේ වේලිඔය ව්‍යාපාරය යටතේ වගා කරන සියලූ ගොවීන් ජලය නොමැති ව අවතැන් වීම යි. 


වියළි කලාපයේ ගොල්ෆ් ක‍්‍රිඩා පිටියක් ඉදිකර එහි තණ පිටිය කොළ පැහැයෙන් පවත්වා ගැනීමට විශාල ජල ප‍්‍රමාණයක් යෙදිය යුතු අතර ම, යූරියා පොහොර ද විශාල වශයෙන් යෙදිය යුතු වේ. එසේ පවත්වා ගෙන යන තණ පිටියකට කෘමි උවදුරු ප‍්‍රමාණය වැඩි වන අතර, ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා අධික ලෙස කෘමිනාශක යෙදිය යුතු ය. එපමණක් නො ව පාංශූ ඛාදනය වැළැක්වීම සඳහා පස් අංශු බැද තැබීමට ඇළුමිනියම් අඩංගු සංයෝග තණ පිටියට යෙදිය යුතු වේ. මේ ආකාරයෙන් ගොල්ෆ් පිටියට අධික ව යොදන රසායනික ද්‍රව්‍ය අවසානයේ සාන්ද්‍රගත වන්නේ වේලිඔය ව්‍යාපාරයෙන් ජලය සපයන වැව්වල ය. මෙලෙස දූෂණය වන ජලය දෛනික කටයුතු සඳහා භාවිතයට ගැනීමට වේලිඔයේ ජල පාරිභෝගිකයනට සිදු වනු ඇත. ඒ අනුව මේ ප‍්‍රදේශයේ සෞඛ්‍ය ප‍්‍රශ්න රැසක් මතු කිරීමට මේ ව්‍යාපෘතිය හේතු වේ. එපමණක් නො ව වියළි කලාපයේ උග‍්‍ර පානීය ජල හිඟයක් හා ඒ ඔස්සේ සමාජීය ගැටලූ රැසක් ඇති කිරීමට ද මේ ව්‍යාපෘතිය හේතු වනු ඇත.   


සොරගුණේ වනාන්තරය රත්නපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි රජවක යෝජිත රක්ෂිතය, බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් වෙලන්විට යෝජිත රක්ෂිතය හා කොස්ගම යෝජිත රක්ෂිතය හා සම්බන්ධ ව පවතී. මීට අමතර ව මේ වනාන්තරය වලවේ ගඟ දක්වා ම ව්‍යාප්ත ව ඇත. එබැවින් මෙය වලවේ ගෙ`ග් ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ද ක‍්‍රියාත්මක වේ. 


ගොල්ෆ් පිටිය සඳහා කපා ඉවත් කිරීමට යෝජිත ශාක
එසේ ම මේ වන්නාන්තර ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ‍්‍රිත වනාන්තර සහ සැවානා තණ බිම්වලින් සමන්විත ය. මෙහි ශාක විවිධත්වය පිළිබඳ ව මෙතෙක් ප‍්‍රමාණවත් අධ්‍යයනයක් සිදු කර නොමැති මුත්, ඌව ප‍්‍රදේශයට ආවේණික ඌව මැන්දෝරා ශාකය ඇතුළු ව කොන්, මී, කුඹුක්, මිල්ල, බුරුත, වෙලං, මාදං, අරළු, බුළු, නෙල්ලි වැනි ශාක දැකගත හැකි බව නිරීක්ෂණයන් ගෙන් අනාවරණය වී තිබේ. 


බෝගහපට්ටිය - සොරගුණේ - සමනළ වැව වනාන්තර ප‍්‍රදේශයේ සමස්ත පෘෂ්ඨවංශී සත්ත්ව විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර තිබේHerpetological Foundation of Sri Lanka  ආයතනයේ එල්. ජේ. මෙන්ඩිස් වික‍්‍රමසිංහ මහතා විසින් මේ අධ්‍යයනය සිදු කර ඇති අතර, එහි වාර්තාව  “A Vertebrate Faunal Survey of Samanala wewa, Towards Declaration as a Wildlife National Park” නමින් සකස් කර තිබේ. මේ වාර්තාව අනුව බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර පද්ධතියේ පෘෂ්ඨවංගී සත්ත්ව කාණ්ඩ 5 ට අයත් විශේෂ 390 ක් පමණ වාර්තා වී තිබේ. ඉන් විශේෂ 59 ක් ලංකාවට ආවේණික වෙති. ලංකාවේ වාර්තාවන පෘෂ්ඨවංගී සත්ත්ව විශේෂ අතුරින් 40% ක් සහ ලංකාවට ආවේණික පෘෂ්ඨවංශීන් අතුරෙන් 19% ක් මේ වනාන්තර පද්ධතියෙන් වාර්තා වී ඇති අතර, එය මේ වනාන්තරයේ වටිනාකම ඉතා හොඳින් අවබෝධ කර දීමට වැදගත් වේ. 


බෝගහපට්ටිය - සොරගුණේ - සමනල වැව වනාන්තර ප‍්‍රදේශයේ වාර්තාවන පෘෂ්ඨවංශී සත්ත්ව විවිධත්වය
සත්ත්ව කාණ්ඩය විශේෂ ගණන ආවේණික විශේෂ ගණන
මත්ස්‍යයන්                          39                     8
උභයජීවීන්                          23                    11
උරගයන්                            76                    29
පක්ෂීන්                            208                    09
ක්ෂීරපායින්                       44                     03
එකතුව                            390                     59


මේ අධ්‍යයනයට අනුව ඉතා දුර්ලභ සත්ත්ව විශේෂ කිහිපයක් මේ වනාන්තර පද්ධතියෙන් අලූතෙන් වාර්තා කිරීමටත් විද්‍යා ලොවට නව සත්ත්ව විශේෂ කිහිපයක් සොයා ගැනීමටත් හැකි ව තිබේ. එපමණක් නො ව තෙත් කලාපීය වනාන්තරවල පමණක් වාර්තා වන සමහර සත්ත්ව විශේෂ, වියළි කලාපයේ පිහිටි මේ වනාන්තර පද්ධතියෙන් වාර්තා කිරීමට හැකි වීම මේ වනාන්තර පද්ධතියේ සුවිශේෂත්වයට තවත් හේතුවක් වේ. 
මෙහි දියපහරවල ලංකාවට ආවේණික බුලත් හපයා (Puntius nigrofasciatus සහ තල් කොස්සා  (Belontia signataයන තෙත් කලාපීය මත්ස්‍ය විශේෂ වාර්තා වීම සුවිශේෂත්වයකි. 


උභයජීවීන් අතුරෙන් Pseudophilautus ගණයට අයත් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයෙන් අලූතෙන් වාර්තා කිරීමට හැකි ව තිබේ. ඒ විශේෂ දෙක මේ වන විට නාමකරණය කිරීමේ කටයුතු සිදු කැරෙමින් පවතී. 


ගොල්ෆ් පිටියට බිළි වන වනාන්තරය
ලංකාවේ ඉතා ම දුර්ලභ සිවුපා උරගුන් විශේෂ දෙකක් මේ ප‍්‍රදේශයේ වාර්තා කිරීමට හැකි ව තිබේ. එනම් පදුරු කටුස්සන් විශේෂයක් වන Ophisops leschenaultii හා හිකනලූන් විශේෂයක් වන Dasia halianus  . මීට අමතර ව පොළොන් තෙලිස්සන් අයත් වන Hypnale  ගණයට අයත් එක් විශේෂයක් හා පලා පොළොඟුන් අයත් වනTrimeresurus  ගණයට අයත් එක් විශේෂයක් මේ ප‍්‍රදේශයේ අලූතින් සොයා ගැනීමට හැකි ව තිබේ. එකී විශේෂ තව ම නාමකරණය කිරීම සිදු කර නොමැත. තව ද පාංශුවාසී සර්පයන් වන කනඋල්ලන් අයත් වන ඔහචයකදචි ගණයට අයත් විශේෂ දෙකක් ද මේ වනාන්තරයෙන් අලූතෙන් සොයා ගැනීමට එකී අධ්‍යයනයේ දී හැකි ව තිබේ. 


මේ වනාන්තර පද්ධතියෙන් ඉතා දුර්ලභ නේවාසික හා සාංක‍්‍රමණික පක්ෂි විශේෂ ගණනාවක් වාර්තා කර තිබේ. ඒ අතුරෙන් වත රතු මල් කොහා(Red - faced Malkoha)  ගංගාශ‍්‍රිත වනාන්තරවලින් වාර්තා කර ඇත. දුර්ලභ පක්ෂීන් වන හිස රන් කහකුරුල්ලා (Golden Oriole), තඹල බස්සා(Bay Owl),  රත් කොණ්ඩ කොහා (Chestnut - winged Cuckoo),කොඩ කෑරලා (Rufous Woodpecker),  බඩ රතු රාජාලියා (Roufous - bellied Hawk eagle),  ගෙබිකට බස්සා(Frogmouth) යන විශේෂ මේ වනාන්තර ප‍්‍රදේශයේ වාර්තා වෙයි. 


ක්ෂීරපායින් අතුරෙන් අලින් ගේ සැලැකිය යුතු ගහනයක් මේ වනාන්තර පද්ධතියෙන් වාර්තා වෙයි. ලංකාවට ආවේණික දුර්ලභ ක්ෂීරපායී විශේෂයක් වන රන් හෝතඹුවා(Golden Palm civet)ඇතුළු ව විශේෂ රැසක් මෙහි වාර්තා වීම විශේෂත්වයකි. මෙවන් සුවිශේෂී ජෛව විවිධත්වයක් දරා සිටින ලංකාවෙන් අලූතෙන් සොයාගත් ඉතා ම දුර්ලභ හා මුළු ලොවින් ම මේ ප‍්‍රදේශයට පමණක් සීමා වී ඇති වී විශේෂ හයකට වාසස්ථාන සපයන සුවිශේෂී අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශයක් වන බෝගහපට්ටිය - සොරගුණේ - සමනළ වැව වනාන්තර ප‍්‍රදේශය ගොල්ෆ් කී‍්‍රඩා පිටියකට යට කිරීම නො ව ඉතා ම කඩිනමින් ආරක්ෂා කළ යුතු ව ඇත.  


මෙකී සමස්ත ප‍්‍රදේශයේ අලි - මිනිස් සහජීවනය ඇති කිරීම සඳහා ආරක්ෂිත වනාන්තර පද්ධතියක් ගොඩනැඟීම හා ඒ සඳහා නිවැරැුදි ඒකාබද්ධ සැලැසුමක් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක් ව සකස් කළ යුතු ය. එමඟින් සමනළ වැව ජලාශයේ සිට බදුලූදෙන, වේලිඔය, කල්තොට, සොරගුණේ, මහලන්ද, සිරිපුර වැව දක්වා සමස්ත ප‍්‍රදේශය දහයියාගල අභය භූමියට සම්බන්ධ කළ හැකි ය. එතැන් සිට උඩවලව ජාතික වනෝද්‍යානයටත්, වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය හරහා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයටත් එහි සිට යාල වන සංකීර්ණය දක්වාත් අලි - ඇතුන් ගේ වාසස්ථාන සහ සාම්ප‍්‍රදායික සංක‍්‍රමණික මාර්ග සංරක්ෂණය කළ හැකි අතර, වනාන්තර පද්ධතියක් ලෙස මේ ආරක්ෂිත ප‍්‍රදේශ ජාලය වනජීවීන් වෙනුවෙන් සුරක්ෂිත කළ හැකි වනු ඇත.


එපමණක් නො ව මේ වනාන්තර පද්ධතියේ පැවැත්ම හා රක්ෂිත වනාන්තර ජාලයේ පැවැත්ම දෙකඩ කර අලි ඇතුන් ගේ සංක‍්‍රමණික මාර්ග අහුරමින් ඊනියා සංවර්ධන හා පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති වේශයෙන් ස්වාභාවික සම්පත් ගිල ගැනීමට හා ගොවි ජනතාව අවතැන් කිරීමට ”ඉකෝ” ලේබලය යටතේ ක‍්‍රියාත්මක වන ගොල්ෆ් ක‍්‍රීඩා පිටිය ද සම්පූර්ණයෙන් ම නතර කිරීමට පියවර ගත යුතු ව ඇත. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම පරිසර අමාත්‍යංශය ද වහා ම පියවර ගත යුතු ව තිබේ. එපමණක් නො ව මේ අනාරක්ෂිත වනාන්තර ප‍්‍රදේශ කඩිනමින් ආරක්ෂිත වනජීවී කලාපයක් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යංශය කඩිනමින් ක‍්‍රියාමාර්ග ගත යුතු ව ඇත. එතෙක් රටේ ස්වාභාවික සම්පත් රැකගැනීම සඳහා වෙහෙසෙන පරිසරවේදීන් වන අපි අවධානයෙන් බලා සිටිමු.  



.............................................................................................................................................................................................................................................

මල් නො තළා රොන් ගන්නා
බමර ගණ සේ
පරිසරය හා බැදෙමු

”ලෝකයෙහි විචිත‍්‍ර වූ අරමුණු ඇත. කාමය නම් ඒවා කෙරෙහි මිනිසා ගේ සිතෙහි ඇතිවන සංකල්ප රාගය යි. එනම් ඇල්ම යි. විචිත‍්‍ර වස්තූන් ලෝකයෙහි එ සේ ම තිබිය දී නුවණැත්තෝ ඒවා කෙරෙහි වන ඡුන්ද රාග දුරුකර ගනිත්.” (බුදුන් වහන්සේ, නසන්ති සුත්ත, ස.නි.)

ස්වාභාවික බලපෑම්වලට වඩා මිනිසා පරිසරයට කරන බලපෑම් පදනම් කරගනිමින් බහුවිධ අර්බුද රැුසක් මතුවෙමින් පවතී. ඒවා දේශපාලනික ආර්ථික සමාජීය ආගමික ආදි අංශ රැුසකින් ප‍්‍රදර්ශනය වුව ද පරිසරය මත ම පදනම් වෙයි. නව ධනවාදී ගෝලීයකරණ ලෝක ක‍්‍රමය තුළ එහි බලපෑමට නතු නොවන කිසිවෙක් මිහිමත නැත. ලංකාව ද බහුවිධ අර්බුද රැුසකට මුහුණපාමින් සිටී. මෙයට එළැඹීම් දෙකක් මඟින් විසඳුම් සාකච්ඡුා කළ හැකි ය. එනම් පුද්ගල එළැඹුම හා සමාජීය එළැඹුම වශයෙනි. මෙහි දී පාරිසරික අර්බුද අවම කරගැනීමට පුද්ගල එළැඹුම හෙවත් තමන් මැදිහත් විය යුතු ආකාරය සාකච්ඡුා කරන්නේ ලංකාවේ බහුතර ජනයා අදහන බුදු දහම ඇසුරෙනි. 

බුදු දහම මානව කේන්ද්‍රීය දහමකි. කුසල කි‍්‍රයා හෝ අකුසල කි‍්‍රයා මිනිස් මනස ප‍්‍රධාන කොට පවත්නා බව බුදුන් වහන්සේ ඉගැන් වූ හ. බෞද්ධ සදාචාර ධර්ම පදනම් වන්නේ කුසල කි‍්‍රයා මත ය කුසල කි‍්‍රයා තමන් ගේ සහ අන්‍යයන් ගේ යහපත පිණිස අභිවෘද්ධිය පිණිස පවතී. කුසලයෙහි නිරත වන කල්හි දෙආකාර පාරිශුද්ධියක් වර්ධනය වේ. එනම්, ආභ්‍යන්තරික පාරිශුද්ධිය හා බාහිර පාරිශුද්ධිය යි. 

ආභ්‍යන්තරික පාරිශුද්ධිය නම් මනසෙහි යහපත් සිතුවිලි ඇති වීම යි. මනස යහපත් අරමුණු ගෝචර කරගන්නා විට සුපහන් සිතිවිලි ජනිත වෙයි. යහපත් සිතිවිලිවලින් සමන්විත වන කල්හි සෑම කි‍්‍රයාවක් ම යහපත සඳහා ම පවතී. එනම් ආභ්‍යන්තරික පාරිශුද්ධත්වය යි. මනස කුසල මූලික චිත්තයන් ගෙන් සමන්විත වන කල්හි යහපත් කි‍්‍රයවන්හි නිරත වෙයි. එනම් බාහිර පාරිශුද්ධිය යි. එය පරිසර හිතකාමී වෙයි. මිනිස් මනස අකුසල මූලික චිත්තයන් ගෙන් සමන්විත වන කල්හි අයහපත් කි‍්‍රයාවල නිරත වෙයි. එය පරිසර අහිතකාමී වේ. සෑම සචේතනික කි‍්‍රයාවකට ම මනස මූලික වන බැවින්, එය දමනය කරගැනීම සංවර කරගැනීම උතුම් බව බුදුරජාණන් වහන්සේ දෙසූ හ.

මිනිසුන් ගේ ඉතිහාසය වූ කලි අත්පත් කරගැනීමේ ඉතිහාසය යි. මනස තණ්හාවෙන් දැවෙන බැවින් තෘප්තිමත් වන්නේ අත්පත් කර ගැනීමෙනි. තණ්හාවෙන් අධික මිනිසා කාම වස්තූන් දැඩි ව අල්ලා ගනියි. එනම් උපාදානය කර ගනියි. එය අකුසලයට පදනම් වෙයි. මිනිසා ”නව්‍ය ජනන” හැකියාව ඇත්තෙකි. අනෙකුත් සත්ත්වයන් ගෙන් මිනිසා වෙනස් කරලීමේ බෙදුම් රේඛාව එය යි. මේ සහජය සහ තණ්හාවෙන් උපාදානය කර ගැනීම යනු වෙනස් කි‍්‍රයදාමයන් දෙකකි. නව්‍ය ජනන හැකියාවෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කෙළේ මානව යහපත පිණිස ය. එහෙත් තණ්හාවෙන් උපාදානය කරගන්නා මිනිසා තම බලය පිණිස න්‍යෂ්ටික අවි භාවිත කරමින් සිටියි.

මිනිස් ඉතිහාසයේ මානව යහපත පිණිස තක්ෂණික භාවිතයන් රැසක් මිනිසා සොයා ගත්තේ ය. ගල් ආයුධ භාවිතයේ සිට පරිගණක භාවිතය තෙක් එහි ක‍්‍රමික පරිණාමීය ඉතිහාසයක් ඇත. අනෙක් අතට මානව අයහපත පිණිස තම නව්‍ය ජනන හැකියාව භාවිත කරන ඉතිහාසයක් ද ඇත. ගල් අයුධයකින් ඇන ගෝති‍්‍රක නායකයකු ඝාතනය කොට බලය තහවුරු කරගන්නේත්, පරිගණකය භාවිතයෙන් නූතන අපරාධවල නිරත වන්නේත් තණ්හාවෙන් උපාදානය කර ගන්නා බැවිනි.

තණ්හාවෙන් උපාදානය කරගන්නා පුද්ගලයා දැඩි ලෝභයෙන් ග‍්‍රහණය කර ගනියි. එයට සීමාවක් නැත. බුදුන් වහන්සේට අනුව කහවනු වැස්සක් වැස්සත් ලෝභයෙන් මඬනා ලද මිනිසා තෘප්තිමත් නො වේ. සෑහීමට පත් නො වේ. ලෝක උරුම වනාන්තරවල ජල පෝෂක ප‍්‍රදේශවල ජෛව විවිධත්වය විනාශ කරමින් හෝටල් සහ වෙනත් මූල්‍ය ලාභ ගෙන දෙන ඉදිකිරීම් කරවන්නෝ අත්‍යවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි නැති බැරි මිනිසුන් නො ව ධනවත්හු ය. ලෝභයෙන් පෙළෙන මිනිස්සු ඉතිහාසය පුරා ම ස්වාභාවික සම්පත් සූරාකති. එනම් පරිසරය උත්පාදනය කරනවාට වඩා වේගයෙන් සම්පත් පරිසරයෙන් උදුරා ගනිති. 

කාර්මික විප්ලවය අමුද්‍රව්‍ය භාවිතයෙන් භාණ්ඩ නිෂ්පදනය වේගවත් කෙළේ ය. ආර්ථික ප‍්‍රතිපත්තීන් සම්පාදනය වන්නේ නිෂ්පාදනය වේගවත් කිරීමට ය. එහි උපරිම ලෙස කාර්යක්ෂම වන පුද්ගලයෝ මහා ධනවත්තු වෙති. රාජ්‍යයෝ මහා බලවත් රාජ්‍ය බවට පත් වෙති. මහා ධනවතුන් මහා බලවතුන් සිටින්නේ නම් එසේ නොවන කොටස් ද සිටිය යුතු ය. එනම් පාරිසරික සම්පත් අත්පත් කර ගැනීම අනුව සමාජ විෂමතාවක් ද තහවුරු වී ඇත. විෂමතාව අඩුකර ගැනීමට ආර්ථික කි‍්‍රයාවලියෙහි තරගකාරී ව නිරත වීමට සිදු වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමාන මිනිසා ගේ පරිභෝජන රටාව අතිශයින් ම සංකීර්ණ වී ඇත. ඇතැම් පරිභෝගික භාණ්ඩ මිනිසා ගේ අවශ්‍යතාවන්ට වඩා වෙළෙඳපොළ විසින් අප මත පටවන දේවල් ය. එනම් ඇතැම් දේ අපේ අවශ්‍යතා බවට පත් කොට ඇත. මේ තත්ත්වයන් ආර්ථික දේශපාලන සහ වෙනත් අර්බුද රැසක් මතු වීමට හේතු වී ඇත. 

ඉහත පසුබිම ඇසුරේ පුද්ගලයා වඩාත් පරිසර හිතකාමී ජීවන රටාවකට නැඹුරු වීම යෝග්‍ය වේ. ඒ සඳහා අවබෝධයෙන් තමා, තමා තුළ ම විනයක් හික්මීමක් හෙවත් ආත්ම දමනයක් ඇති කර ගත යුතු ය. එහි දී පරිසරය තමන් ගෙන් වියුක්ත වූවක් ලෙස නො සිතා තමන් පරිසරයේ ම කොටසක් බව අවබෝධ කර ගැනීම ප‍්‍රයොජනවත් ය. පටිච්චසමුප්පාදයට අනුව එකිනෙකට අන්තර් පැවැත්මක් ඇත. අව්ව වැස්ස සුළඟ ආදියෙන් ගස් වැල් හා ජීවීන් ගේ පැවැත්ම තහවුරු වේ. ඒ සියලූ ප‍්‍රපංචයන් මත මිනිසා ගේ පැවැත්ම රඳා පවතී. එහෙයින් පරිසරය මිනිසා වෙනුවෙන් මැවීමක් හෙවත් ඊශ්වර නිර්මාණයක් නො වේ. තමන් ගේ පැවැත්ම තහවුරු කරන පරිසරය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම තම පරම යුතුකමකි. කෙළෙහි ගුණ සැලැකීමකි.

ආත්ම දමනයට බුදු දහමේ උගන්වන දාන, සීල, භාවනා යන ති‍්‍රවිධ කි‍්‍රයාවලිය වැදගත් ය දානය නම් අත්හැරීම යි. තම සන්තක ධනය, ශ‍්‍රමය, කාලය අන්‍යයන් ගේ යහපත සඳහා යෙදවීම යි. එනම් පරිත්‍යගය යි. එය තම ජීවිත පරිත්‍යාගය තෙක් පුරුදු පුහුණු කළ යුක්තකි. පරිත්‍යාගශීලී තැනැත්තා ගේ මනස කුසලයෙන් පෝෂිත ය. කරුණාව මෛති‍්‍රය සමඟ මෘදු බව මොළොක් බව නිහතමාන බව වර්ධනය වේ. අත්හැරීම ඇති ව ජීවත්වීම හෙවත් සුඤ්ඤත විහරණයෙන් ජීවත්වන්නා පරිසර හිතකාමී වේ. අනවශ්‍ය ලෙස පරිසරය අවුල් නො කරයි. ලද දෙයින් සතුටු වෙයි. පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් වේ.

සිත කය වචනය සංවර කර ගැනීම හෙවත් තමන් ගේ සහ අන්‍යයන් ගේ යහපත වෙනුවෙන් කායික වාචසික කි‍්‍රයාවන් යෙදවීම සීලය යි. මෙහි දී ආජීව පාරිශුද්ධි සීලය විශේෂ වේ. දැහැමින් ජීවත්වීම ඉන් අදහස් කැරේ. පරිසර සංරක්ෂණයට අදාළ සෘජු දේශනාවන් ආජීව පාරිශුද්ධි සීලය යටතේ දේශනා කළ හ. චුල්ලවග්ග පාලියෙහි මෙන් ම පාචිත්තිය පාලියෙහි ද තමන් ගේ දෛනික සියලූ කි‍්‍රයාවන් පරිසරය දූෂණය නො කොට අලංකාරීත්වයෙන් පවත්වා ගත යුතු ආකාරය විස්තර වෙයි. ජලයට මළපහ කිරීම, කෙළ ගැසීම, ජල සමීපයට නිවෙස්වල කුණු කසළ දැමීම, නොකළ යුතු අගෝචර කි‍්‍රයා ලෙස නම් කර ඇත. ආහාර අනුභවයේ දී ඇදුම් පරිහරණයේ දී යෑම් ඊම්වල දී පවා පරිසර හිතකාමී ව සංවර විය යුතු බව බුදු රජාණන් වහන්සේ දේශනා කළ හ. වනරෝප සූත‍්‍රයට අනුව ‘ආරාම රෝප’ නම් ගෙමිදුල් උද්‍යාන ආදියෙහි මල් පලතුරු වැවීම යි. ‘වන රෝප’ නම් වනාන්තර වැවීම යි. මේවා සදා පින් වැඩෙන පින්කම් ය. මෙවන් කි‍්‍රයා සීලය පරිපූරණය කරයි.

සියලූ ප‍්‍රපංචයන්හි යථාර්ථය අවබෝධයට භාවනාව පහසු මාර්ගයකි. එනම් අත්පත් කරගන්නා දේවල් මෙන් ම තමන් ද අනිත්‍ය බව තේරුම් ගැනීම පරිසරයට අත්තනෝමතික ව මැදිහත්වීම ද පාලනය කැරේ. අනෙක් අතට මෛතී‍්‍ර භාවනාව සියලූ සතුන් කෙරෙහි අවිහිංසාව පුහුණු කිරීමකි. කරණීයමෙත්ත සූත‍්‍රයට අනුව මෛති‍්‍රයට අයත් නොවන කිසිදු ජිවියකු මිහිමත නැත. දාන සීල භාවනා යන ති‍්‍රවිධ කි‍්‍රයාවලිය පුහුණු කරන කල්හි පරිසර හිතකාමී ජීවන රටාවක් නිර්මාණය වේ. 

මලවත්, වර්ණයවත්, සුවඳවත් නො නසා රොන් රස පමණක් ගෙන යන බඹරෙකු මෙන් තම ජීවන පැවැත්ම හසුරුවාගත යුතු බව ධම්මපදයේ සඳහන් ය. මි මැස්සා මල නොතළා රොන් ගනු පමණක් නො ව ශාකයේ අඛණ්ඩ පැවැත්මට පරාග පෝෂණය ද කරයි. මල් රොන්වලින් ඖෂධයක් වන මී පැණි නිෂ්පාදනය කරයි. තම පැවැත්ම තහවුරු කළ යුත්තේ පරිසරයට හානි නොවන ලෙසත් එහි පැවැත්මට දායකවෙමින් ලොවට වටිනා නිෂ්පාදනයන් හඳුන්වා දෙමින් ය. ඒ සඳහා සිතෙහි ඇති වන සංකල්ප රාග දමනය කරගත යුතු ය. කාමරාග උපදින්නේ සිතෙහි ය. විචිත‍්‍ර වස්තූන් එසේ තිබිය දී නුවණැත්තෝ තම සිත දමනය කර ගනිති. මෙය පරිසර හිතකාමී පළමු පියවරයි. 

බටුවංගල සමිද්ධි හිමි
සභාපති
සමාධි පරිසර සහ සමාජ සංවිධානය  



No comments:

Post a Comment