vol 2 - 3





සදාහරිත කලාපය - 2-3
ඇතුළත....................


ගුරුළුරාජ ඉරුරාජ සඳරාජ අපෙන් සමුගන්නට පෙරාතුව 
කිලිදොස් නැතුවා කොහොඹා දෙවියනි හිමේ යන්ට දැන් අවසර අයැදිමි
එනමල් ඉමල්ෂන් වර්ණ ලෝකයේ සැඟැවුණ අදිසි මාරයා
වැනැසී ගියැ යි කී නුවර කුරුගෙම්බා ගේ පුනරාගමනය          
මෝසම් වැස්සේ ආධ්‍යාත්මික රිද්මය      
අන්ධ සංවර්ධනයේ මහා ප‍්‍රහාරය ආදිවාසීන්ට යි
ජීවීන් අතර පණිවිඩ හුවමාරුවේ අබිරහස් 
වතුර මත පා රඳවා පිපාසව සිටිය යුතු හෙට දවස
ටකය බැඳෙන ගෙඩි වාරේ 
කඳු මුඳුනත පාළු දෙවොල
මාකන්දාව මහා ජෛව පාරාදීසය අන්තරායයේ
පානම වනාන්තර ඉඩම් හා කෘෂිකාර්මික භූමි කොල්ලය
අරංගයා ගේ ජීවන රංගනය 
කැලෑ ගිනි වැළැක්වීමේ මහා අභියෝගය 

          
............................................................................................................................................................................................................................................


අරංගයා ගේ ජීවන රංගනය


විද්‍යාත්මක ව Myiophoneus blighi ලෙස හඳුන්වන මේ පක්ෂි විශේෂය ඉංග‍්‍රීසි බසින් Sri Lanka Whistling Thrush  ලෙස හඳින් වේ. ශ‍්‍රී ලංකා අරංගයා නමින් සිංහලෙන් හඳුන්වන අප රටට ආවේණික මේ අපූරුතම පක්ෂි විශේෂය 1872 වසරේ දී හෝල්ඞ්ස්වර්ත් විසින් නුවරඑළිය ප‍්‍රදේශයෙන් සොයා ගන්නා ලදි. දුර්ලභ පක්ෂීන් අතර එක් සාමාජිකයකු වන අරංගයා 2007 වසරේ නිකුත් කළ ශ‍්‍රී ලංකා රතු දත්ත ලේඛනයට අනුව අන්තරායයට (Endangered) ලක් වූ විශේෂයක් ලෙස හඳුනා ගෙන ඇත. 2011 වසරේ ලෝක රතු දත්ත ලේඛනයට (The IUCN Red List of Threatened species)  අනුව ද අන්තරායයට ලක් වූ විශේෂයක් ලෙස මේ විශේෂය නම් කර ඇත. ඩිලෙකර් (Delacour) නම් විද්‍යාඥයාට අනුව මේ විශේෂ ඇතුළත් ගණයට අයත් විශේෂ 11 ක් පමණ ලොවින් සොයා ගෙන ඇති අතර, ඉන් එක් විශේෂයක් වන ශ‍්‍රී ලංකා අරංගයා අප රටින් පමණක් හමු වේ. 

ශ‍්‍රී ලංකා අරංගයා මීටර් 900 වඩා ඉහළ උප කඳුකර සහ කඳුකර වනාන්තර ආශ‍්‍රිත ව ජීවත් වන පක්ෂි විශේෂයකි. භෞමික ව ජීවත් වන විශේෂයක් වන අරංගයා වැඩි වශයෙන් ඝන කඳුකර වනාන්තර ආශ‍්‍රිත දියපහරවල් සහ කුඩා පොකුණු ආශ‍්‍රිත ව වෙසෙයි. 

වසර 2001 දී Bird Life International  වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ පක්ෂියා ගේ අභිජනන කාල සීමාව වසරකට වාර දෙකකට සීමා වේ. එනම් පළමු අභිජනන සමය වසරේ ජනවාරි මස සිට මැයි දක්වාත්, දෙවන අභිජනන සමය සැප්තැම්බර් මාසයෙනුත් ආරම්භ වේ. මේ පක්ෂියා කූඩු සෑදීම සඳහා සැමවිට ම දිය පහරක් ආසන්නයේ ගල් බිත්තියක් මතුපිට හෝ දිය පහරක් අවට ඇති ගස් දෙබලක් මත හෝ දිය පහරක් අසල ඇති ගස් දෙබලක් තෝරා ගනී ඉතා කුළෑටි පක්ෂියකු වන අරංගයා ශ‍්‍රී පාද අඩවියේ මිනිසුන් ගැවසෙන ස්ථානයන්හි කැළි කසළ රැඳවුම් ආශ‍්‍රිත ව දක්නට ලැබේ. ආහාර සොයා ගැනීම, කූඩු සෑදීම වැනි කටයුතු සඳහා දවසේ උදේ සහ සවස් කාලය යොදා ගනී. දහවල ඝන ශාක ආවරණයක් සහිත වනාන්තරයේ කුඩා පඳුරු මත විවේකී ව සිටී. 

මොහු ශරීර ප‍්‍රමාණයෙන් මයිනකු තරම් විශාලත්වයෙන් යුතු කුඩා පක්ෂියෙකි. පිරිමි පක්ෂියා කළු පැහැ වන අතර හිස ඉතාමත් කළු පැහැති ය. හොඳින් ආලෝකය ඇති අවස්ථාවන්හි සිරුර කළු මිශ‍්‍රිත නිල් පැහැයට දිස් වේ. ගැහැනු පක්ෂියා තද දුඹුරු වර්ණයෙන් යුක්ත වන අතර, උදරය ප‍්‍රදේශය දුඹුරු මිශ‍්‍ර රත් පැහැය ගනී. පිහාටු කළු පැහැති ය. අඳුරු දුඹුරු පැහැති හිස සහ උරස කැපී පෙනේ. තව ද පිරිමි සහ ගැහැනු පක්ෂීන් ගේ හොටය සහ පාද කළු පැහැති වන අතර ඇස් දුඹුරු පැහැති ය. උරස ප‍්‍රදේශයේ තද නිල් පැහැති දීප්තිමත් පැල්ලමක් දක්නට ලැබේ. 

මුලින් සඳහන් කළ ආකාරයට මීටර් 900 ට වඩා ඉහළ උපකඳුකර වනාන්තර ආශ‍්‍රිත ව ජීවත් වන මේ පක්ෂි විශේෂය පිළිබඳ ව නකල්ස් කඳුකරයේ නැත හොත් දුම්බර කඳුකරයේ ව්‍යාප්තිය පිළිබඳ ව හා එහි ජීවත් වන ගහනය පිළිබඳ ව අධ්‍යයනය සඳහා මුලින් ම උනන්දුව ඇති වූයේ අනපේක්ෂිත අයුරිනි. එනම් 2004 වසරේ දී වෙනත් පර්යේෂණයක නියුතු අවස්ථාවක කැදැල්ලක් සෑදීමේ නිරත වන ගැහැනු අරංගයකු නිරීක්ෂණය වීමත් සමඟ ය. මේ විශේෂය පිළිබඳ ව පෙර පැවැති වාර්තා සොයා බැලීමේ දී අල්ප තොරතුරු ප‍්‍රමාණයක් නකල්ස් කඳුකරය ආශ‍්‍රිත ව හමු විය. වසර ගණනාවක් කැදලි තැනීම සහ ඔවුන් ගේ චර්යා රටා අධ්‍යයනයකින් පසු 2009 වසරේ සිට වසර දෙකක කාලයක් අඛණ්ඩ ව නකල්ස් කඳුකරයේ අරංගයන් ගහනයේ ව්‍යාප්තිය සහ ජීවන තොරතුරු රැස් කෙළෙමි. මින් වැඩි උනන්දුවක් දැක්වූයේ දෛනික චර්යා රටා, අභිජනනය, කූඩු තැනීම, බිත්තර රැකීම, පැටවුන් ගේ වර්ධනය හා ආහාර පුරුදු, කූඩුවෙන් නික්මයෑම වැනි කරුණු කෙරෙහි ය. 

මේ සතුන් පිළිබඳ ව ප‍්‍රකාශිත ග‍්‍රන්ථ අනුව මේ පක්ෂි විශේෂයේ ප‍්‍රථම අභිජනන කාලසීමාව තුළ එනම් උදෑසන 6.30 සිට සවස 6.30 පමණ වනතුරු ඔවුන් ගේ හැසිරීම් නිරීක්ෂණය කෙළෙමු. ඒ අනුව මාර්තු මාසය වන විට කුඩා දිය ඇල්ලක් ආසන්නයේ ගල් බිත්තියක් මත තැනූ ප‍්‍රථම කූඩුව නිරීක්ෂණය කළ හැකි විය. දිරා ගිය කොළ රොඩු, පර්ණාංග මුල් සහ පාසි ආදිය උපයෝගී කොට ගෙන ගැහැනු පක්ෂියා පමණක් කූඩු තැනීමට වෙහෙසෙනු දක්නට ලැබිණි. 

කූඩුව විවෘත කෝප්පයක (Cup)  හැඩැති ය
කූඩුවේ උස - 190.33  mm  - 250 mm
කූඩුවේ පළල - 138.23 mm  - 152.5 mm
ගැඹුර - 60.00  mm  - 68.46 mm
කූඩුවේ අභ්‍යන්තර පළල - 90  mm  - 90.87 mm

මේ පක්ෂියා පොළොවේ සිට මීටර් 1 - 2½ දක්වා උසකින් යුතු ව කූඩුව සාදයි. එමෙන් ම දිය ඇල්ලක් ආසන්නයේ නොතෙමෙන ගල් විවරයක් තුළ කූඩුව නිර්මාණය කරයි. 

බිත්තර දැමීමේ දී දිනකට එක් බිත්තරයක් බැගින් දින දෙකක දී බිත්තර දෙකක් දමනු නිරීක්ෂණය කෙළෙමු. බිජුවල හැඩය  ඕවලාකාර හැඩයක් ගන්නා අතර ඉතාමත් ළා කොළපාට බිත්තර මත තද දුඹුරු සහ සුදු මිශ‍්‍ර තිත්, බිජුවේ විශාල අන්තයේ වැඩිපුර දක්නට ලැබේ. මෙවැනි බිත්තර දෙකක් එක් කූඩුවක දක්නට ලැබේ. 

කිරිල්ලිය විසින් බිත්තර රැකීම සිදු කරනු ලබන අතර මුළු රාත‍්‍රී කාලය පුරා අඛණ්ඩ ව බිජු රකින්නී ය. දිවා කල වරින් වර කූඩුවට පැමිණෙන අතර ආහාර සොයා ගොස් පැමිණ නැවත බිජු රැකීම සිදු කරයි. අපේ‍්‍රල් මස දිනක දී එක් බිත්තරයකින් උදෑසන එක් පැටවකු බිහි වූ අතර අනෙක් බිත්තරය නිරුපද්‍රිත ව තිබෙනු දක්නට ලැබිණි. එහෙත් දින හයක් පසු වීත් ඒ බිත්තරයෙන් පැටවකු පැමිණ නොසිටි අතර, දින හයකට පසු බිත්තරය කූඩුව තුළ නොවිණි.

මේ කාරණය පිළිබඳ ව වෙනත් රටවල මේ පක්ෂි ගණයට අයත් විශේෂ පිළිබඳ ව පර්යේෂණ පවත් වන පර්යේෂකයන් ගෙන් විමසූ විට ඔවුන් ලබා දුන් පිළිතුරක් ඇත. එනම් ආහාර දුලබ කාලයන්හි කලින් බිහි වූ පැටවා කෙරෙහි මහත් උනන්දුවක් දක්වන අතර අනෙක් බිත්තරය රැකීමට අවස්ථා උපයෝගී කොට නො ගන්නා බව යි. 

ඒ වසරේ කූඩු තුනක් පමණ මෙලෙස ස්ථාන කිහිපය නිරීක්ෂණය කළ අතර, ඉන් එක් කූඩුවක් විනාශ කර දමා තිබිණි. බිත්තර ද අතුරුදහන් ව තිබිණි. මෙහි දී මේ බිජු ආහාරයට ගන්නා විලෝපිකයන් පිළිබඳ ව වැඩි තොරතුරු සෙවීම ඉතා වැදගත් කරුණකි. තෙවන කූඩුවේ බිත්තර දෙකෙන් පැටවු දෙදෙනා ම බිහි වූහ. පැරැණි කූඩුව විලෝපිකයන් විසින් කඩා දැමුණු අවස්ථා සහ වෙනත් බාධා නොපැමිණි විට මේ පක්ෂීහු ඒ පරණ කූඩුව කඩා දමා ඊළඟ වසරේ දී නැවත ඒ ස්ථානයේ ම කූඩුව ඉදි කරති. 

එක ම මාපිය යුවළක් විසින් කූඩු 2 - 3 ක් ඉදි කැරුණු අවස්ථා නිරීක්ෂණය කෙළෙමි. මින් එක් කූඩුවක් නියම උස සහ පළලින් යුක්ත වීම අනුව තීරණය කළ කූඩුවේ බිත්තර තැන්පත් කරයි. බිත්තරයෙන් පිටතට පැමිණි පැටවා ගේ ඉතා ස්වල්ප වශයෙන් කෙදි පිහාටු දක්නට ලැබේ. බිජුවලින් පැටවුන් බිහි වී දින හයක දී සම්පූර්ණයෙන් ඇස් විවෘත වන අතර කෙඳි, පිහාටුවලින් ආවරණය වී ඇත. පූර්ව ගාත‍්‍රා මත පිහාටු ඇති වීමට අවශ්‍ය බට පිහාටු වර්ධනය වීම ආරම්භ වේ. 
දින 06 සිට 14 දක්වා ක‍්‍රමයෙන් දේහයේ වර්ණ දුඹුරු පැහැති වන අතර පාදවලින් සිට ගැනීම ආරම්භ කරති. 

මේ පැටවු දින 14 සිට 21 දක්වා කාලයෙහි වරින් වර කූඩුව මත සිට ගනිති. දින 18 ළඟා වන විට කූඩුව තුළ සිටගෙන වේගයෙන් තටු සලන අතර කූඩුව තුළ සිටගෙන බොහෝ වේලා හිඳිති. 21 වන දින (බිත්තරයෙන් බිහි වී දින 21 පසු උදෑසන 6.30 පමණ වැඩිහිටි පැටවා මවත් සමඟ කූඩුවෙන් නික්ම යයි. තවමත් පැටවා ගේ උරහිස මත ඇති තද නිල් පැල්ලම ප‍්‍රමුඛ ව දක්නට නොලැබෙන අතර වලිගය හොඳින් වැඞී නැත. 

පැටවුන් පෝෂණයට කුරුල්ලාත් කිරිල්ලියත් යන දෙදෙනා ම ආහාර රැගෙන එති. ආහාර කැවීම දෙදෙනා විසින් ම සිදු කරනු ලැබේ. එමෙන් ම පැටවා ගේ වසුරු, මව හෝ පියා විසින් කූඩුවෙන් පිටතට හොටයෙන් රැගෙන ගොස් ජල පහරක් මතට හෙළනු ලැබේ. පැටවුන්ට ලබා දෙන ආහාර ගෙම්බන්, කෘමීන්, කටුස්සන්, සර්පයන් හා ක්ෂීරපායින් ආදී වර්ග 35 කට අධික ප‍්‍රමාණයක් වාර්තා කළ හැකි විය. ඉදිරියේ දී මෙවැනි ලිපියකින් සවිස්තර ව ආහාර ප‍්‍රභවයන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට අදහස් කරමු. 

පැටවුන් කූඩුවෙන් පිටතට නික්ම ගිය පසු ආහාර සොයා යෑමත්, නැවත කූඩුවට පැමිණීමත් මෙතෙක් වාර්තා වී නැත. පැටවුන් කූඩුවෙන් නික්ම දින දෙකක් පමණක් නිරීක්ෂණය කෙළෙමි. හැමවිට ම මව හෝ පියා පැටවුනට ආරක්ෂාව සපයා දෙයි. කූඩු තැනීමේ සිට සියලූ නිරීක්ෂණ සඳහා කූඩුවේ සිට මීටර 15 දුරින් සාදාගත් දිරාගිය කොට එකතු කර සාදාගත් බංකරයක් තුළ සිට නිරීක්ෂණය කෙළෙමු.

ප‍්‍රදීප් සමරවික‍්‍රම

............................................................................................................................................................................................................................................



ටකය බැඳෙන ගෙඩි වාරේ


මේ උදාවී ඇත්තේ රඹුටන් වාරය යි. කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන් හි පාර දෙපස රක්ත වර්ණයෙන් සහ කහ වර්ණයෙන් බැබැළෙන රඹුටන් සුලබ එහෙත් රමණීය දසුනකි. තරමක් උෂ්ණ පලතුරක් ලෙස සැලැකුණ ද රඹුටන් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලූමකි. ”නිෆේලියම් ලපාසියම්”(Nephelium lappaceumහෙවත් රඹුටන් ”සැපින්ඬේසි”(Sapindaceae)  කුලයට අයත් වේ. මෙහි සම්භවය වන්නේ අග්නිදිග ආසියාව යි. ශ‍්‍රී ලංකාවේ ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්ක රඹුටන් වගාව සඳහා ප‍්‍රසිද්ධියක් උසුලයි. විශේෂයෙන් බියගමට නුදුරු ”මල්වාන” ප‍්‍රදේශය රඹුටන් නිසා ම ලොව පුරා ප‍්‍රසිද්ධ ය. ඒ ප‍්‍රදේශය හැරුණු විට කළුතර, මහනුවර, රත්නපුරය, ගාල්ල, කෑගල්ල වැනි දිස්ත‍්‍රික්කයන්හි ද සුළු වශයෙන් රඹුටන් වගා කැරේ. මේ පළතුරු මුහුදු මට්ටමේ සිට මීටර 450 ක් පමණ දක්වා වන ප‍්‍රදේශයන්හි හොඳින් වගා කළ හැකි පළතුරකි. රඹුටන් මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශයන්හි සාර්ථක ව වගා කළ නොහැක්කේ මුහුදු සුළං හේතුවෙන් පත‍්‍ර පිලිස්සීමක් වන බැවිනි. වසර පුරා පැතිරුණු මි.මී. 1500 - 2000 පමණ වන වර්ෂාපතනයක් ලැබීම සාර්ථක රඹුටන් වගාවක් සඳහා සුදුසු වන අතර දිගු වියළි කාලයක් පැවැතීම මේ ශාකයට දරා ගැනීමට නොහැකි ය. පරිසර උෂ්ණත්වය 270 - 300 ක් සහ සාපේක්ෂ ආර්ද්‍රතාව 75% - 80% පමණ ප‍්‍රමාණයක පැවැතීම රඹුටන් ශාකයට වඩාත් හිතකර දේශගුණික තත්ත්වයක් වෙයි. වඩාත් උචිත පස් වර්ගය වනුයේ, ජලය නිසි ලෙස බැස යන ලොම් පසයි. 


එ සේ ම රඹුටන් යනු ඉහළ පෝෂණීය අගයකින් යුත් පලතුරකි. රඹුටන් 100ට ක් තුළ ජලය  ග්රෑම්  82 ක්, ශක්තිය කිලෝ කැලරි 64 ක්,

ප්‍රෝටීන් - 1.0g
මේදය - 0.1 g
කාබෝහයිඩ්‍රේට් - 16.5 g
කැල්සියම් - 20 mg
පොස්පරස් - 15 mg
යකඩ - 1.9 mg
තයමින් - 10 mg
රයිබොෆ්ලේවින් - 60 mg
නයිසින් - 0.4 mg
විටමින් සී - 53  mg   අඩංගු ය.


රඹුටන් සඳහා දේශීය මෙන් ම විදේශීය වශයෙන් ද පවතින්නේ ඉහළ ඉල්ලූමකි. ඉහළ මිල ගණන් යටතේ අලෙවි වන රඹුටන්, ‘ටින්වල’ අසුරන ලද පලතුරක් වශයෙන් සහ ‘අලූත් පලතුරක්’ යන දෙයාකාරයෙන් ම අපනයනය කරනු ලැබේ. විවිධ රඹුටන් වර්ග අතරින් වෙළෙඳපොළ ඉහළ ඉල්ලූමක්, ‘මල්වාන ස්පෙෂල්’, ‘මැලයන් රතු’ සහ ‘මැලයන් කහ’ යන වර්ගයන් සඳහා තිබේ. 

 ‘මල්වාන ස්පෙෂල්’ වර්ගයේ ඉදුණු රඹුටන් ගෙඩියක් අලංකාර තැඹිලි මිශ‍්‍ර රතු රවුම් හැඩයක් ගනී. මේ ගෙඩියක සාමාන්‍ය බර  ග්රෑම් 40 - 50 ත් අතර වේ. එ සේ ම මදය අධික පැණි රසයෙන් යුතු ය. යුෂ අධික ය. පහසුවෙන් මදය ගැලැවේ. රඹුටන් අස්වැන්න ලබාගැනීමෙන් පසු දින 4 - 6 ක් පමණ කාලයක් ගෙඩිය දුර්වර්ණ නො වී පැහැය රදවා තබා ගත හැකි ය. 

‘මැලයන් රතු’ වර්ගයේ ගෙඩි දිගටි, ඉලිප්සාකාර හැඩයක් ගනී. ගෙඩියක සාමාන්‍ය බර  ග්රෑම් 28 - 35 ක් පමණ වෙයි. පැණි රසැති මදය ඉතා පහසුවෙන් ගැලැවේ. අස්වැන්න ලබා ගැනීමෙන් පසු දින තුනක් පමණ කාලයක් හොඳින් පැහැය වෙනස් නො වී පවතී. ‘මැලයන් කහ’ වර්ගයේ ඉඳුණු අලංකාර රඹුටන් ගෙඩිය දීප්තිමත් කහ වර්ණයෙන් යුතු ය. දිගටි ය. හොඳින් ඉදුණු ගෙඩියක්  ග්රෑම්  30 - 38 ක් පමණ බරින් යුතු ය. 

ප‍්‍රණීත රසයෙන් යුත් මදය පහසුවෙන් ගැලැවෙන නමුත්, රඹුටන් අස්වැන්න නෙළා ගැනීමෙන් පසු හොඳ තත්ත්වයෙන් තබාගත හැක්කේ දිනක පමණ කෙටි කාලයකි. ඉන්පසු පිට පොත්ත දුර්වර්ණ වීමට පටන් ගනී. මේ වර්ගයන්ට අමතර ව ජාවා ස්පෙෂල්, ජාවා ලබුකබෝලා, ජාවා සිමඞ්පරාන්, ජාවා සීඞ්ලස්, ජාවා සින්ජන්ජාන් වැනි රඹුටන් ප‍්‍රභේද ද වගා කැරේ.

රඹුටන් වගාවේ දී මේ පළතුරු සඳහා බොහෝ විට පිටි මකුණන් ගෙන් සහ දිමියන් ගෙන් හානි පැමිණෙයි. එ සේ ම වඳුරන්, ලේනුන්, කපුටන් සහ වවුලන් වැනි පක්ෂීන් ගෙන් ද මේ රසවත් පලතුරට හානි සිදු වෙයි. විශේෂයෙන් ම මේ සතුන් ගේ ඉහළ ආකර්ෂණයක් රඹුටන් වෙත තිබේ. මේ සඳහා රඹුටන් ගස් සහ රඹුටන් වතු හිමියන් විසින් රඹුටන් ගස්වල ටක බැඳීම, රතිඤ්ඤා පිපිරවීම සහ රාත‍්‍රියට විදුලි බලයෙන් ගස් ආලෝකමත් කිරීම සිදු කරනු ලබති. 

‘පිටි මකුණන්’ වෙතින් රඹුටන් වගාවට ඍජු ව හානියක් සිදු නො වන නමුත්, ඒ සතුන් ගෙඩි මත සිටීම මඟින් අස්වැන්නේ ගුණාත්මක අගය පහත වැටේ. එහි වෙළෙඳපොළ අගය අඩු වේ. කෘමියා විසින් ශ‍්‍රාවය කරනු ලබන ද්‍රව්‍යයක් නිසා පිටි වැනි සුදු පැහැ ද්‍රව්‍ය තැවරීමෙන් ගෙඩි සුදු පැහැ ගනී. තව ද, කෘමියා ගේ සිරුරෙන් පිට වන සීනි අඩංගු අපද්‍රව්‍ය මත තවදුරටත් දිලීර වර්ධනය වේ. එවිට පිට පොත්තේ කළු පැහැගත් පැල්ලම් ද ඇති වෙයි. මෙය මුළු රඹුටන් වගාව පුරා ම ව්‍යාප්ත කරනු ලබන්නේ කුහුඹුවන් මඟින් නිසා වගාව පිරිසුදු ව තබා ගැනීමට සැලැකිලිමත් විය යුතු ය. 

එ සේ ම ගෙඩි විදින පණුවන්, පලතුරු මැස්සා, කඳ විදින කුරුමිණියා, කඳ විදින පණුවා මඟින් ද රඹුටන් වගාවට හානි සිදු වේ. රඹුටන් ගස් වටා වල් පැළෑටි වැවෙන්නට ඉඩකඩ සාදා නො දී අවට පිරිසුදු ව තැබීමෙන් වඩාත් ඉහළ අස්වැන්නකට හිමිකම් කිය හැකි ය. මුළු අවුරුද්ද පුරා ම සෑම කාලයකට ම අපට රස බැලීමට නොලැබෙන නමුත් රඹුටන්වල රසයත්, ගුණයත්, අලංකාරයත් එහි මතකයත් නිමා නො වී තවත් රඹුටන් වාරයක් පැමිණෙන තුරු ම අපට රසවත් මතකයක් ඉතිරි කරයි. ඒ මතකය ද රඹුටන් තරමට ම රසවත් ය. විචිත‍්‍රවත් ය.

මධුරි ද සේරම්  


............................................................................................................................................................................................................................................


පානම වනාන්තර ඉඩම් හා කෘෂිකාර්මික භූමි කොල්ලය

රණවිරු ගම්මානයක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ සූදානමක් 







නාවික හමුදාව හා විශේෂ කාර්ය බලකාය අම්පාර දිස්ත‍්‍රික්කයේ, ලාහුගල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පානම හා ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ වනාන්තර, තෙත්බිම් හා කෘෂිකාර්මික බිම් අක්කර 1220 ක් අනවසරයෙන් වෙන් කරගෙන තිබේ. පානම රාගම්වෙල ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 265 ක්, ශාස්ත‍්‍රවෙල ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 115 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර අක්කර 840 ක් වශයෙන් මෙලෙස ඉඩම් වෙන් කිරීම සිදු කර තිබේ. වෙන් කරගෙන ඇති රාගම්වෙල හා ශාස්ත‍්‍රවෙල පිහිටි ඉඩම් ජනතාව ගේ වගාබිම් වේ. අනවසරයෙන් වෙන් කරගෙන ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තරය උල්පස්ස, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල රජයේ කැලෑව ලෙස හඳුන්වයි. මේ ඉඩම් පානම හා පොතුවිල් අතර ප‍්‍රදේශයේ වෙරළබඩ කලාපයේ සිට රට තුළට ව්‍යාප්ත ව තිබේ. උක්ත සමස්ත භූමිය ම නාවික හමුදාවට හා විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට හැර වෙනත් කිසිදු අයකුට ඇතුළු වීම තහනම් කර ඇත. 

රාගම්වෙල ගම්වාසීන් ඉදි කළ බැලූම්කාරාරාම විහාරය පිහිටා ඇත්තේ ද උක්ත වෙන් කළ භූමි ප‍්‍රදේශයේ ය. බෝධීන්වහන්සේ නමක්, බුදු මැදුරක්, බණ ශාලාවක් ඇතුළු ගොඩනැඟිලිවලින් සමන්විත මේ විහාරස්ථානයට ඇතුළු වීම ද තහනම් කර ඇත.

පානම සමුද්‍රගිරි විහාරය පිහිටා ඇත්තේ ද නාවික හමුදාව විසින් වෙන් කරන ලද උක්ත භූමි ප‍්‍රදේශය ඇසුරේ ය. ඉපැරැණි සෙල්ලිපි දෙකක්, කටාරන් සහිත ගල්ලෙන්, ගරා වැටුණු චෛත්‍යයක්, සක්මන් මළුවක් හා ආරාම ගොඩනැඟිලි ඇතුළු පුරාවස්තු බොහොමයක් මේ භූමි ප‍්‍රදේශයේ ව්‍යාප්ත ව ඇත. 
ශාස්ත‍්‍රවෙල විශේෂ කාර්ය බලකා කඳවුර ආශ‍්‍රිත ව පිහිටි මනිනාග පබ්බත විහාරස්ථානයේ ඉපැරැණි බිතුසිතුවම්, ගල්කණු හා නටබුන් විශාල ප‍්‍රමාණයක් දැකගත හැකි අතර ඊට යාබද ව පිහිටි වෙන් කර ඇති භූමියේ පුරාවිද්‍යා ස්මාරක ගණනාවක් දැකගත හැකි ය. 

වෙන් කර ඇති සමස්ත වනාන්තර ප‍්‍රදේශය අලි - ඇතුන් බහුල ව ජීවත් වන ප‍්‍රදේශයකි. මේ වනාන්තර ප‍්‍රදේශය හා සම්බන්ධ වන කුඩුම්බිගල - පානම අභය භූමිය හා කුමන ජාතික වනෝද්‍යානය අතර අලි - ඇත්තු සංක‍්‍රමණය වෙති.

මේ භූමියේ රණවිරු ගම්මානයක්, නාවික හමුදා කඳවුරක් හා හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට සැලැසුම් කර තිබේ. දැනට වනාන්තරය තුළ තැනින් තැන එළි පෙහෙළි කර ඉදිකිරීම් රාශියක් සිදු කර ඇත. මේ ඉදිකිරීම් වෙරළබඩ කලාපය ඇසුරේ ද සිදු කර තිබේ. 

මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඍජු අධීක්ෂණය යටතේ ය. එහෙත් මෙහි ක‍්‍රියාත්මක වන්නේ කුමන ආකාරයක ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳ තොරතුරු සඟවා මේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් සිදු කර තිබේ. 

සෙල් ලිපියක්
වර්තමානයේ පානම ගම්මානයේ පවුල් 1925 ක් ජීවත් වන අතර, මේ ප‍්‍රදේශය ජනාවාස වී ඇත්තේ 1818 වසරේ දී පැවැති වෙල්ලස්ස කැරැල්ල සමයේ දී ය. මේ ගම්මානයේ ජීවත් වන ජනතාව ගේ ප‍්‍රධාන ජීවනෝපායන මාර්ග වන්නේ ධීවර කර්මාන්තය හා කෘෂි කර්මාන්තය යි. ධීවර කර්මාන්තයේ නිරත පිරිස් කලපු ධීවර කර්මාන්තයේ හා මුහුදු ධීවර කර්මාන්තයේ ද නිරත වෙති. වැඩි පිරිසක් කෘෂිකර්මාන්තයේ නියැලෙති. 

මේ හානිකර හා නීති විරෝධී ඉඩම් අත්පත් කරගැනීම නිසා ගැටලූ රැසක් උද්ගත ව තිබේ. රාගම්වෙල හා ශාස්ත‍්‍රවෙල ගම්මානවල ජීවත් වන ජනතාව ගේ ප‍්‍රධාන ජීවනෝපායන මාර්ගයන් ගෙන් එකක් වන කෘෂිකර්මාන්තය කරගෙන යෑමට තිබෙන ඉඩම්, නාවික හමුදාව හා විශේෂ කාර්ය බලකාය විසින් අත්පත් කර ගනු ලැබ තිබීම හේතුවෙන් මේ ප‍්‍රදේශයන්හි ජන දිවිය පවත්වා ගෙන යෑම පවා ප‍්‍රධාන ගැටලූවක් වී ඇත. 

පානම ගම්මානයේ ජනතාවට තම නිදහස් ජන දිවිය පවත්වා ගෙන යෑමට මේ ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් ගැටලූ මතු වී ඇත. විශේෂයෙන් ආගමික සිද්ධස්ථානයන්ට නිදහසේ පිවිසීමට ඇති පහසුකම් පවා මේ තත්ත්වය හේතුවෙන් අහිමි වී ඇත. පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීම හේතුවෙන් තව ම නිසි අධ්‍යයනයකට ලක් ව නොමැති මේ ව්‍යාපෘතින්ට යට වන භූමියේ පුරාවස්තු විනාශ වී යනු ඇත. එමඟින් මේ ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව අධ්‍යයනය කිරීමට ඇති සාක්ෂ්‍ය නොමැති වී යෑම ඉතිහාස අධ්‍යයනයකට ප‍්‍රධාන බාධකයක් විය හැකි ය. 
වෙරළ කලාපයේ පිහිටි තෙත්බිම්, මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගනු ලබන හෙයින් බොහෝ තෙත්බිම් ආශ‍්‍රිත ජීවීන් අති බහුතරයක් වාර්තා වන මේ ප‍්‍රදේශයේ ඒ සතුන් ගේ වාසස්ථාන විනාශ වී යා හැකි ය. එමඟින් එකී ජීවීන් ප‍්‍රාදේශික ව වඳ වී යෑමට ඉඩකඩ ඇත. 

ප‍්‍රධාන අලි ගැවසුම් වනාන්තර ප‍්‍රදේශයක් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනෙන බැවින් අලි - ඇතුන් ගේ වාසස්ථාන විනාශ වීමෙන් පානම ප‍්‍රදේශයේ ජනතාවට ඉදිරියේ දී උග‍්‍ර අලි - මිනිස් ගැටුමකට මේ ව්‍යාපෘතියත් සමඟ ම මුහුණ දීමට සිදු වනු ඇත. එහි දී අලි - ඇතුන් ගෙන් වගාවන්ට සිදුවන බලපෑම් හේතුවෙන් පානම ගම්මානයේ ප‍්‍රධාන ජීවනෝපානයන මාර්ගයක් වන කෘෂිකර්මාන්තය අඩාල වී සමාජීය ගැටලූ බොහොමයක් ද උද්ගත විය හැකි ය. 

පානම ජනතාව ගේ කෘෂිකාර්මික ඉඩම් මේ ව්‍යාපෘතිය සඳහා අත්පත් කරගෙන ඇති බැවින් ඒ ජනතාව ගේ කෘෂිකාර්මික කටයුතු පවත්වා ගෙන යෑම සඳහා වෙනත් විකල්ප ඉඩම් මත යැපීමට උත්සාහ දරන අවස්ථාවන්හි දී ඒ ආශ‍්‍රිත ව පිහිටන අනෙක් රක්ෂිත වනාන්තරයන්හි පැවැත්මට ඉදිරියේ දී බලපෑම් ඇති විය හැකි ය. මෙවන් හානිකර තත්ත්වයන් බොහොමයකට හේතු සාධක වන අයුරින් පානම හා ශාස්ත‍්‍රවෙල ඉඩම් නාවික හමුදාව හා විශේෂ කාර්ය බලකාය විසින් අත්පත් කර ගනු ලැබීම ඉතා ම කනගාටුදායක තත්ත්වයකි. සිවිල් පරිපාලනය ක‍්‍රියාත්මක වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මෙවන් දෑ සිදු නොවිය යුතු ය. 

මේ ඉඩම් වෙන්කිරීම හා සංවර්ධන කටයුතු සිදුකිරීම ක‍්‍රියාත්මක කර ඇත්තේ අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි. 2011 අංක 49 දරන පනතින් සංශෝධිත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව වෙරළ සීමාව තුළ සංවර්ධන කටයුතු සිදු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත අනුමැතිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු ය. එහෙත් මේ නෛතික ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් මේ ව්‍යාපෘති යටතේ වෙරළ කලාපය තුළ සියලූ ඉදිකිරීම් සිදු කර ඇත. 

සංශෝධිත 2009 අංක 65 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය උල්ලංඝනය කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අනවසරින් වෙන් කිරීම, වනාන්තර එළි පෙහෙළි කිරීම, ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පිවිසුම් මාර්ග තැනීම සිදු කර තිබේ. මෙය ඉතා හානිකර තත්ත්වයක් පමණක් නො ව වැරැදි පූර්වාදර්ශ ලබා දීමකි. 

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. මේ නෛතික ප‍්‍රතිපාදනය ද උල්ලංඝනය කරමින් මේ වනාන්තර ඉඩම් එළි පෙහෙළි කිරීම් හා ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම් සිදු කරනු ලැබේ.

සංශෝධිත 1940 අංක 49 දරන පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් පුරාවස්තු සහිත භූමි ප‍්‍රදේශයන්ට බලපෑම් එල්ලවන අයුරින් මේ ව්‍යාපෘතිය යටතේ සියලූ ඉදිකිරීම් සිදු කර තිබේ.
අණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාවේ 12.(3), 14.(1)(උ) සහ (ඌ) වගන්ති උල්ලංඝනය කරමින් ජනතාව ගේ ඉඩම් අත්පත් කර ගැනීම් බලහත්කාරයෙන් නීති විරෝධී ලෙස සිදු කර ඇති අතර, ප‍්‍රදේශයේ ජනතාවට නිදහසේ තම ජීවනෝපායන මාර්ග සිදුකිරීමේ හා තම ආගමික කටයුතුවල නිරත වීමේ මූලික අයිතිය පවා මේ ව්‍යාපෘතියෙන් උල්ලංඝනය කර ඇත. 

මේ තත්ත්වයන් පිටු දැකීමට කඩිනමින් ක‍්‍රියාමාර්ග නොගත හොත් මේ ප‍්‍රදේශයේ ජන දිවියට මෙන් ම ස්වාභාවික පරිසර පද්ධතීන්හි පැවැත්මට දරුණු බලපෑම් එල්ල විය හැකි ය. එපමණක් නො ව කෘෂිකාර්මික බිම් හා වනාන්තර බිම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම හේතුවෙන් ජනතාවට නීතිය කෙරෙහි ඇති විශ්වාසය හා ගරු කිරීම නොමැති වී යනු ඇත. ඒ තත්ත්වය රටේ ඉදිරි පැවැත්මට ඉතා හානිකර ලෙස බලපෑ හැකි ය. එබැවින් බලහත්කාරයෙන් අල්ලාගත් ජනතාව ගේ කෘෂිකාර්මික බිම් හා වන රක්ෂිතය නැවත ස්ථාපිත කිරීමට වගකියයුත්තන් ගේ කඩිනම් අවධානය යොමු වනු ඇතැ යි අපි විශ්වාස කරමු.    




1 comment: